Saturday, April 13, 2013

සා.පීතර–වෙස්ලි විදුහල් අපරාජිතව පෙරමුණේ

සා.පීතර–වෙස්ලි විදුහල් අපරාජිතව පෙරමුණේ

අන්තර් පාසල් රගර්

සිංගර් කුසලාන අවුරුදු 20න් පහළ අන්තර් පාසල් ලීග් 'ඒ' කොටසේ තරගාවලියේ අපරාජිතව පෙරමුණ ගැනීමට සාන්ත පීතර විදුහල් පිල සමත්ව සිටියි. පසුගිය සතියේ රාජකීය විදුහල් පිල ලකුණු 31-19කින් පරාජය කිරීමත් සමග සහභාගිවූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු 16.5ක් වාර්තා කිරීමට පීතර විදුහල් පිල සමත්විය. සාන්ත ජෝශප් විදුහල ලකුණු 38-24කින් පරාජය කළ වෙස්ලි විදුහල් පිල ද සහභාගි වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු 16.5ක් වාර්තා කරමින් දෙවැනි තැන පසුවෙයි.
තරගාවලියේ තුන්වැනි වටය නිමාවනවිට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට සමත්වී ඇත්තේ ත්‍රිත්ව විදුහල් පිලය.
පසුගිය සතියේ දී කිංග්ස්වුඩ් විදුහල ලකුණු 38-21කින් පරාජය කරමින් ඔවුන් තුන්වැනි තැනට පත්විය. මේ වනවිට තරග 2ක් ජයගෙන සිටින ත්‍රිත්ව විදුහල් පිල ප්‍රසාද ලකුණු 14ක් ලබා සිටියි. තුන්වැනි වටයේ දී ඉසිපතන විදුහල ලකුණු 32-22ක් ලෙස පරාජයට පත්කළ ධර්මරාජ විදුහල් පිල ප්‍රසාද ලකුණු 13ක් ලබා සිවුවැනි ස්ථානයට පත්විය.
ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායමය. ප්‍රසාද ලකුණු 8.5ක් ලබා සිටින විද්‍යා විදුහල් පිල තරගයක් ජයගත් අතර තරග 2ක් පරාජයට පත්විය. ප්‍රසාද ලකුණු 7.5ක් ලැබූ සාන්ත ජෝශප් විදුහල් පිල හයවැනි ස්ථානයේ රැඳී සිටින අතර සාන්ත අන්තෝනි විදුහල් පිල හත්වැනි තැන පසුවෙයි. ප්‍රසාද ලකුණු 7ක් ලබා සිටින රාජකීය විදුහල් පිලට හිමිවී ඇත්තේ අටවැනි ස්ථානයයි. පසුගිය වසරේ ලීග් ශූරයන් වූ ඉසිපතන විදුහල් පිල 9වැනි ස්ථානය දක්වා පහළ වැටීම විශේෂ සිදුවීමකි.
ඔවුන් සහභාගි වූ තරග තුනම පරාජයට පත්විය. ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැන පසුවන්නේ තරග තුනම පරාජයට පත්වූ කිංග්ස්වුඩ් විදුහල් පිලය.
සිංහල අවුරුදු සමය හේතුවෙන් මේ සති අන්තයේ හා ලබන සති අන්තයේ තරග නොපැවැත්වෙන අතර නැවත තරග ආරම්භ වන්නේ ලබන 26වැනිදාය. කිංග්ස්වුඩ් හා ධර්මරාජ විදුහල් අතර තරගය 26වැනිදා පැවැත්වෙන අතර සාන්ත පීතර විදුහල් පිල හා ත්‍රිත්ව විදුහල් පිල අතර තරගය 27වැනිදා පැවැත්වේ. වෙස්ලි විදුහල හා රාජකීය විදුහල් පිල අතර තරගය ද, ඉසිපතන විදුහල හා විද්‍යා විද්‍යාලය අතර තරගය ද, සාන්ත අන්තෝනී, සාන්ත ජෝශප් අතර තරගය ද එදිනම පැවැත්වේ.

.ෆවුස් මොහොමඩ්
http://www.dinamina.lk/2013/04/12/_art.asp?fn=s1304123

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි