Tuesday, April 23, 2013

ජගත් නව නිපැයුම් තරගයෙන් රන්-රීදී පදක්කම් ශ්‍රී ලංකාවට

http://www.silumina.lk/2008/10/19/as0810191.jpg

ජාත්‍යන්තර නව නිර්මාණ කරුවන්ගේ තරගයෙන් රන් සහ රීදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. රටවල් 42 ක නව නිපැයුම් 600 කින් මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට මංජු ගුණවර්ධන මහතා සමත්ව ඇත. 41 වැනි ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ ප්‍රදර්ශනය සහ තරගය අප්‍රේල් 10 වන දා සිට 15 වන දා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණි.

අධ්‍යාපනික උපක්‍රම, වෛද්‍ය, බලශක්ති සංරක‍්ෂණය, යාන්ත්‍රික, කෘෂි කර්මාන්ත ආදි විවිධ ක්ෂේත්‍ර 13 ක් ඔස්සේ මෙවර තරගාවලියේ ඇගයීම් සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේ මංජු ගුණවර්ධන ඉදිරිපත් කළ නව නිර්මාණ 2ක බලශක්ති හා වෛද්‍ය අංශය නියෝජනය කර තිබේ.
නිවෙසේ භාවිත කරන සාමාන්‍ය හෝ CFL විදුලි බල්බය වෙනුවට නැනෝ තාක‍ෂණය භාවිතයෙන් නිර්මාණය කළ විශේෂ CFL විදුලි බල්බය සඳහා රන් පදක්කමක් හිමි විය. එම නිර්මාණයේ විශේෂත්වය වන්නේ බලශක්ති සංරක‍ෂණය පමණක් නොව ආලෝකය පැතිරෙන වාතයේ පවත්නා අහිතකර බැක්ටීරියා, විෂබිජ සහ දුඟන්ධය සම්පූර්ණයෙන් ම තුරන් කිරීමයි. මේ සඳහා කිසිඳු රසායනික ද්‍රව්‍යක් භාවිත කර නොමැතිවීම ද විශේෂත්වයකි.
රෝහල් ආශ්‍රිත අසාදිත තත්ත්වයන් අවම කර ගැනීම සහ වසංගත රෝග පාලනය කර ගත හැකි නව නිර්මාණය වෙනුවෙන් රීදී පදක්කම හිමි වී තිබේ. නැනෝ ෆොටෝකැටැලිසිස් තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති මෙම විශේෂ උපකරණය මඟින් විටින් විට වාතයේ පවතින බැක්ටීරියා සහ විවිධ රෝග කාරක විෂබීජ විනාශ කළ හැකි අතර වායු සමන යන්ත්‍රයට සමාන කුඩා යන්ත්‍රයක් වන මෙය නිෂ්පාදනයට හෝ භාවිතයට ද කිසිඳු රසායනිකයක් යොදා ගෙන නොමැති බව ද ජාත්‍යන්තර සම්මානලාභී මංජු ගුණවර්ධන පවසයි.
මාතර ප්‍රදේශයෙන් බිහි වූ නව නිර්මාණකරුවකු වන හෙතෙම කොළඹ මහනාම සහ රාජකීය විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලබා ඇත. සිය පළමු නව නිර්මාණය වෙනුවෙන් 1990 වසරේ දී කනිෂ්ඨ නව නිපැයුම් සම්මානය හිමි වී ඇත. මේ වන විට ජාත්‍යන්තරයේ රන් පදක්කමට පාත්‍ර වූ නැනෝ තාක‍ෂණික CFL විදුලි බුබුළු ආශ්‍රයෙන් ඉන්දියාවේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින අධික දුඟද තුරන් කිරීමට ඉන්දිය දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ විශේෂ ගිවිසුමකට ද එළඹ තිබේ.
ජාත්‍යන්තර සම්මානලාභී මංජු ගුණවර්ධන මහතා තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් ඇගයීමට ලක් කළේය. එය රටට සම්පතක් සේම බුද්ධිගලනය වළක්වා රටේ ආර්ථීක සංවර්ධනයට ද උපරිම දායකත්වයක් සපයා ගත හැකි බවද ඇමැතිවරයා කීවේය. ඒ සඳහා විශේෂ වැඩසටහනක් සැලසුම් කරන ලෙසට අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදුනි. අමාත්‍යංශ ලේකම් ධාරා විජේතිලක සහ නව නිර්මාණකරුවන්ගේ කොමිසමේ කොමසාරිස් දීපාල් සූරියආරච්චි මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වූහ.

උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙ
http://www.dinamina.lk/2013/04/23/_art.asp?fn=n13042311

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි