Saturday, April 6, 2013

තිළිණි නිමේෂා දැරිය සමස්ත සිසු දරු පරපුරට ආදර්ශයකි.


උසස් පෙළට නොලියා සරසවි ගිය කෑගල්ලේ තිළිණි

අත් දෙකත් කකුල් දෙකත් අඩපණයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උසස් පෙළ විභාගයට අකුරක්වත් නොලියා වාචිකව පිළිතුරු සැපයූ කෑගල්ල, අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ යූ. ජී. තිළිණි නිමේෂා ජයතිලක ශිෂ්‍යාව සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවාය.
තම අත් දෙකත් කකුල් දෙකත් අඩපණ වී ඇති ඇය මීට පෙර ද සාමාන්‍ය පෙළ විභාගයට ද වාචිකව පිළිතුරු සපයා සමත් වූවාය. ඒ 2009 වර්ෂයේ දී සම්මාන පහක් ද සමඟ විෂයයන් නවයකින් සමත්වීමෙනි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රථම හා එකම විද්‍යාලය වූ කෑගල්ල අඹන්පිටිය විද්‍යාලයට මහත් කීර්තියක් මෙන්ම, දිවයිනේ සමස්ත සිසු පරපුරටම ආදර්ශයක් ගෙන දුන් මෙම දිරිය දියණිය අප හමුවේ මෙසේ කීවාය.
“මම අවුරුදු දෙක හමාරක් විතර මහන්සි වූ කාර්යයේ ප්‍රතිඵල දැන් ලැබී තිබෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා මහාචාර්යවරියක ලෙස මේ රටට සේවයක් කිරීමයි මගේ එකම අධිෂ්ඨානය.
මම සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වුණාම විභාග මධ්‍යස්ථානය අසලම කාමරයකට මාව කැඳවලා මගෙන් ප්‍රශ්නවලට උත්තර ඇහුවා. මම පිළිතුරු දෙන කොට විභාග ශාලාවට ඇහෙනවා කියලා නැවත මාව පුස්තකාලයට රැගෙන ගියා. මම ප්‍රශ්න පත්‍රය කියවලා පිළිතුරු දුන්නා. මට එම විභාගයෙන් සම්මාන පහක් සමඟ විෂයයන් නවයකින් සමත්වීමට එදා පුළුවන් වුණා.
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණාම මට පිළිතුරු දෙන්න කාලය මදිවෙයි කියලා එක ගුරුතුමියක් ප්‍රශ්න කියවූවා. මම නියමිත කාලය තුළ ඒවාට වාචිකව පිළිතුරු දුන්නා. මම විභාගයට ඉදිරිපත් වුණේ බෞද්ධ සංස්කෘතිය, සිංහල හා දේශපාලන විද්‍යාව යන විෂයයන් වලින්.
බෞද්ධ සංස්කෘතිය ඉගැන්වූවේ ටී. රණසිංහ සර්, සිංහල සී. අයි. තුෂාරි මිස් ඉගැන්වූවා. දේශපාලන විද්‍යාව ඉගැන්වූවේ ගෝතමී නෙලුම් කුමාරි ටීචර්. ඉංග්‍රීසි විෂය චන්ද්‍රානි කුමාරිසිංහ ටීචර් ඉගැන්වූවා. මම උසස් පෙළ ඉහළින් සමත් බව දැනගත්තාම ඉතාමත් සතුටු වුණා. ඉක්මනින්ම විශ්ව විද්‍යාලයට යන්න ලැබෙනවානම් තවත් සතුටුයි. මේ දවස්වල ගෙදරට වෙලා පොත් කියවනවා.”
දැනට කෑගල්ල නගරය සමීපයේ තාවකාලිකව පදිංචිව සිටින තිළිණි නිමේෂා උපත ලබා ඇත්තේ රඹුක්කනදීය. 1992 වර්ෂයේ ජුනි මස 25 වැනි දින උපත ලද ඇයගේ මවුපියන් දෙදෙනාම ගුරුවරු වෙති. ගලිගමුව යට්ටෝගොඩ යඨාලතිස්ස විද්‍යාලයේ ගණිත ගුරුවරයකු වන යූ. ජී. ජයතිලක මහතා ඇගේ පියාය.
මව අඹන්පිටිය විශේෂිත දරුවන්ගේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වූ ධම්මිකා සෙනෙවිරත්නය. තිළිණි නිමේෂාගේ එකම මල්ලි කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙයි.
තිළිණි නිමේෂා රඹුක්කන උදම්විට මහා විද්‍යාලයට ඇතුළත් වී එක වසරේ අධ්‍යාපනය ලබන අතරතුර, ඇයගේ ශරීර දුබලතාව සඳහා ප්‍රතිකාර ලබාගැනීම පිණිස දෙමවුපියන් සමඟ කොළඹට පැමිණ ඇත. කොළඹ, ගංගොඩවිල ඩී. ඩී. ජයසිංහ විද්‍යාලයට ඇයව ඇතුළත් කළ දෙමාපියන් නොකඩවා ප්‍රතිකාර කළ ද, ඇය සුව නොවූ බැවින් යළි රඹුක්කන බමුණාඋල්ලේ ඔවුන්ගේ නිවසට පැමිණ තිබේ. ඒ අනුව තිළිණි නිමේෂා නැවත උදම්විට විද්‍යාලයටම ඇතුළත් කර ඇත. කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ විශේෂ ඒකකයට හයවන ශ්‍රේණියේ දී ඇතුළු වන ඇය, එහි වසර දෙකක් අධ්‍යාපනය ලැබුවාය. ඇගේ මව උගන්වන අඹන්පිටිය විශේෂ පාසලට ඉන් අනතුරුව ඇතුළුවන ඇය එහිදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට ද උසස් පෙළ විභාගයට පෙනී සිටියාය.
තම දියණියගේ රෝගී තත්ත්වය පිළිබඳව ඇයගේ මව වන ධම්මිකා සෙනෙවිරත්න මහත්මිය මෙසේ කීවාය.
තිළිණිගේ තොරතුරු විමසන සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා
තිළිණි නිමේෂා මවුපියන් සමඟින්
“දුව ඉපදෙන කොට නියමිත බර සහිත වූ නිරෝගී දරුවකු ලෙස සිටියා. එයාට මාස පහක් පමණ වන විට අනෙත් දරුවන් වගේ පෙරළුණේ, දණ ගෑවේ නැහැ. සාමාන්‍ය දරුවකු මෙන් වාඩිවෙන්නත් උත්සාහ නොකළ නිසා අපි ඇයව වෛද්‍යවරුන්ට පෙන්වූවා.
ස්නායු දුර්වලතාවයක් හේතුවෙන් දුවගේ අත් දෙකේම මැණික් කටුව අසළ සිට දෑතම අක්‍රමවත්ව පිහිටලා තිබෙනවා. අපි අවුරුදු ගණනාවක්ම ප්‍රතිකාර කළත් නිසි සුවයක් ලැබුණේ නැහැ. දුවගේ දෙපා වක්‍රව පිහිටා ඇති නිසා සිටගන්නත්, ඇවිදින්නත් එයාට බැහැ.
දුවගේ මෙම ආබාධිත තත්ත්වය පිළිබඳව කළකිරී ක්‍රියා කිරීම වෙනුවට ඇයගේ ඇති හැකියාවන් වර්ධනය කිරීමට අපි කටයුතු කළා. එයාට පොත්පත් කියවන්න, කථා කරන්න පුළුවන්. අපි කියවන විට එයා හොඳින් අහගෙන ඉන්නවා. සමහර අවස්ථාවලදී එයාත් කියවනවා.
ඒ දේවල් හොඳින් මතක තබාගෙන අහන ප්‍රශ්නවලට එයා පිළිතුරු දෙනවා. දුවට හොඳ ධාරණ ශක්තියක් තිබෙනවා. අපිට අමතක වූ දුරකථන අංක පවා මතක් කර දෙන්නේ ඇයයි.
ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළ විභාගයට හා උසස් පෙළ විභාගයට අකුරක්වත් නොලියා වාචිකව පිළිතුරු දුන්නේ මගේ දුවයි. දරුවාට ඉගැන්වීමේ ආශාව නිසා ඇයට පිළිතුරු දිය හැකි කවර අන්දමේ හෝ ක්‍රමයක් අපි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.
එවකට විභාග කොමසාරිස් ජනරාල්ව සිටි අනුර එදිරිසිංහ මහතා ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ඒ අවස්ථාව දුවට ලබා දුන්නා. ශිෂ්‍යයන්ගේ අපහසුතා වෙනුවෙන් සහන සැලසීමේ මෙවැනි ක්‍රමයක් එතෙක් තිබී නැහැ.
අපි දුවට ප්‍රතිකාර ගන්නේ මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඉඳුනිල් විජේසිරි මහතාගෙන්. එතුමා, දියණිය නිතරම අධ්‍යාපනයට උනන්දු කළා, එයාට ප්‍රතිකාර කරන අතරම.
මම සාමාන්‍ය පුහුණු ගුරුවරියක්. ඊට අමතරව විශේෂ අධ්‍යාපන ගුරු පුහුණුව සති දෙකක් ලබා තිබෙනවා. අපේ පාසලේ දැනට ළමයින් හතළිස් දෙනකු ඉගෙන ගන්නවා. ඒ එහි පළමු වසරේ සිට දහතුන වසර දක්වා පංති තිබෙනවා. මගේ දුව සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ නිසා සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පාසලට පැමිණ ඇයට සුබ පතා අපේ පාසල මහා විද්‍යාලයක් බවට උසස් කළා. ඒ අනුව දුවට එහිම උසස් පෙළ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණා. ඒත් විශේෂ අධ්‍යාපන ගුරු පුහුණුව ලැබු ගුරුවරු කවුරුත් මෙහි නැහැ. ඔවුන් කෙටි කාලීන පුහුණුවක් ලබා තිබුණත් කැපවීමෙන් සේවය කරනවා.
අඹන්පිටිය විශේෂ විද්‍යාලය 1964 වර්ෂයේ දී දිවංගත පී. බී. ජී. කළුගල්ල ඇමැතිතුමා ආරම්භ කළ පාසලක්. ආබාධිත හා මන්ද මානසික දරුවන් වෙනුවෙන් ඇරැඹි මෙය දිවයිනේ එවැනි ප්‍රථම හා එකම පාසලයි. පෞද්ගලික පාසල් නම් කීපයක්ම දැනට තිබෙනවා. බුද්ධිමත් හැකියාවන් තිබෙන දරුවන් විභාගයට යොමු කිරීමටත්, මන්ද මානසික දරුවන් සමාජයට හැඩ ගැන්වීමත් මෙම පාසලෙන් සිදු කෙරෙනවා.”
තිළිණි නිමේෂා දියණියගේ පියා වන යූ. ජී. ජයතිලක මහතා මෙසේ පැවසීය.
“රඹුක්කන, බමුණාඋල්ලේ අපේ ගෙවල් තිබෙනවා. ණය වෙලා ගෙවල් හදලත්, කෑගල්ලේ දැනට පදිංචි වෙලා ඉන්නෙ දුව නිසයි. අපි ඉතුරු කර ගත්තේ දරුවන්ගේ අධ්‍යාපනයයි.
දියණියගේ පාසල් කාලය පුරාම අපි එයා වෙනුවෙන් අධ්‍යාපනයටත්, ප්‍රතිකාරවලටත් මහන්සි වුණා. එයා සිංහල විෂයට ‘බී’ සාමාර්ථයක් ද, බෞද්ධ සංස්කෘතියට ‘සී’ සාමාර්ථයක් ද, දේශපාලන විද්‍යාවට ‘එස්’ සාමාර්ථයක් ද ලබා ගත්තා. අපිට ඒ ගැන ඉතා සතුටුයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලබාදෙන පහසුකම යටතේ ඇය විශ්ව විද්‍යාලයට තෝරා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි, අපිට හැකි උපරීමයෙන් කටයුතු කරනවා.
දුව උසස් පෙළ සමත් බව දැනගත් සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පාසලට පැමිණ දුවගෙන් එයාගේ මතු දියුණුවට අවශ්‍ය මොනවාද කියලා ඇහුවා. දුව කීවේ එයා වගේ කනගාටුදායක ඉරණමකට ලක්වූ දරුවන් වෙනුවෙන් මේ පාසලට අවශ්‍ය අඩුපාඩු සපුරා දෙන්න කියලයි. ප්‍රධාන අමාත්‍යතුමා දුව ගැන ඉතා සතුටු වුණා. පාසලේ අඩුපාඩු සපුරන අතරම දුවට අලුත් රෝද පුටුවක් ද ලබා දුන්නා. අපි ඒ ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා.”
තිළිණි නිමේෂා දැරිය විටෙක සමස්ත සිසු දරු පරපුරට මෙන්ම වැඩිහිටියන්ට ද ආදර්ශයකි. තමා උපතින්ම තුරුලු කරගත් ආබාධිත තත්ත්වයන්ට අභියෝගයක් වෙමින් ඇය දිනෙන් දින, පියවරෙන් පියවර දිවිමඟේ ඉදිරියට ඇදෙන්නේ දිරිය දියණියක ලෙසිනි.
“මගේ ගුරුවරුන්, වෛද්‍යවරුන්, දෙමවුපියන් මට මේ ජයග්‍රහණයන් ලබාගැනීමට විශාල ශක්තියක් වුණා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මට සාමාන්‍ය පරිගණකයකින් වැඩ කරන්න බැරි වුණත් ලැප්ටොප් පරිගණකයකින් වැඩ කළ හැකියි. කවුරුහරි ලැප්ටොප් පරිගණකයක් ලබා දෙනවානම් මගේ අධ්‍යාපන කටයුතුවලට එය පහසුවක්. තිළිණි නිමේෂා අවසාන වශයෙන් කීවාය. ඇයට උදවු කිරීමට 0757638985 අංකය ඇමැතීමට පුළුවන.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි