Sunday, April 14, 2013

සාමාන්‍ය පෙළ 5 වැනි තැන ලැබු දුප්පත් සහන් ලක්ෂිතට අලුත් දිවියක්

සාමාන්‍ය පෙළ 5 වැනි තැන ලැබු දුප්පත් සහන් ලක්ෂිතට අලුත් දිවියක්

සමන් දෙවිදුන්ගේ අඩවියේ නිසංසල ගමක පදිංචි සහන් ලක්ෂිත ඇතුළු පවුලේ අයගේ ජීවිත ගලාගෙන ගියේ දුක් කරදර මධ්‍යයේය. සහන්ගේ පියා රෝගීව ඔහුට රැකියාව අහිමිවීම ඔවුන් කබළෙන් ළිපට වැටෙන තරමේ ප්‍රශ්නයක් බවට පත්විය.
සහන්ගේ ආදරණිය මව පස් දෙනකුගෙන් යුත් පවුලේ බර කරට ගත්තාය. ඇයට අරමුණක් තිබුණි. ඒ තම පුතුට හා දියණියන් දෙදෙනාට ඉහළම අධ්‍යාපනයක් ලබාදීමය.
සහන් ලක්ෂිත කුඩා කාලයේ සිටම දුක් වේදනා හැඳින සිටියේය. “පුතේ ඔයා කවදාහරි දවසක උසස් රැකියාවක් කරන්න නම් අපේ දුප්පත් කමෙන් මිදෙන්න නම් ඉහළින්ම ඉගෙන ගන්න ඕනි.” මවත් පියාත් පැවසු කරුණ සහන්ගේ හිත පතුලේ කාවැදි තිබුණේය.
“ඔව්. මට පුළුවන් මම ඉහළින්ම ඉගෙන ගන්නවා” සහන් ලක්ෂිතගේ එකම ඉලක්කය එය විය.
හිසට හරිහැටි වහලයකුත් නිවසට විදුලියත් නැතිවීම සහන්ගේ හිතට මහා බරක් වූයේ නැත. කුප්පි ලාම්පුවේ එළිය ඔහුට ජීවිතයම ආලෝකවත් කිරීමට තරම් ප්‍රමාණවත් විය. උපකාරක පන්ති ගණනාවකට මුදල් වැය කරන්න තරම් ශක්තියක් සහන්ගේ මවට නොතිබුණාය.
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කළ හැටි සහන් සිහිපත් කළ අයුරු.

අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වනුයේ සියලු යස ඉසුරු නොව කැපවීම උනන්දුව හා ඉලක්කයන් බව වටහා ගත් සහන් තම අරමුණ ජය ගත්තේය.
මේ සහන් ලක්ෂිත යනු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන් පස්වැනි ස්ථානය ලද සිසුවායි.
විභාගය සමත්වීමට අන්තර්ජාලයෙන් අතිරේක විෂය කරුණු සොයා ගත් බව සමහරුන් කියද්දි සහන්ට කියන්නට ඇත්තේ මට බලන්න රූපවාහිනියක්වත් නොතිබූ බවයි.
විශ්වීය දැනුම අතැඹුලක් ලෙස උකහා ගැනීමට සන්නිවේදන පහසුකම් ඇති නවීන ලෝකයේ මේ සිසුවා ඒ සියල්ල ජීවිතයට ළඟාකර ගත්තේ පොත පතෙන් හා සමාජ වටපිටාවෙනි.
හිරිමල් යෞවනයේ සිත්සතන් ආක්‍රමණය කරන තොරම්බල් සංස්කෘතියට හසු නොවුණු ඔහුගේ විනෝදාංශය වූයේ පොත් පත් බැලීමය.
රත්නපුර කරවිට පොල්වත්ත නම් ගමේ වතු සමාගමකට අයත් ඉඩම් කැබැල්ලක සහන්ගේ පුංචි නිවෙස පිහිටියේය. ඉඩමක් නැතිකම නිසා ඔවුන් එහි කුඩා නිවසක් තනාගෙන වහලයට ටකරන් කීපයක් සෙවිලි කරගෙන දිවි ගත කළහ. ඉදිරිපස ඉටිරෙදිවලින් ආවරණය කර තිබේ.
හරිහමන් නිවසක් කෑමක් බීමක් නැතිමුත් සහන් එය තම ඉලක්කයට බාධාවක් කර නොගත්තේය.
සහන් ලක්ෂිත ඇතුළු පවුලේ අය, පදිංචි නිවෙස ඉදිරිපිට

දෙලක්ෂ හැත්තෑ දහසක් වූ සිසු සිසුවියන් අතරින් පස්වැනි ස්ථානය ලැබීම සුවිශේෂ දක්ෂතාවකි. ඔහු ඒ හපන්කම පෑවේ රෝස මල් යහනාවක නම් නොවේ.
සහන්ගේ ආදරණිය මව ලලිතා ද සිල්වා මහත්මිය තම දූ දරුවන් හා සැමියා රැක බලා ගන්නේ කරවිට තේ කම්හලේ සේවිකාවක ලෙස ශ්‍රමය වගුරුවමිනි.
මවකගේ ආදරය සෙනෙහස පවුලකට සහන් එළියකි. ලලිතා මහත්මිය අධිෂ්ඨානශීලී මවක් වූවාය. ඇයගේ ජීවිතය දෙස බලා සිටි සහන්ගේ ජීවිතයට ඒ ලක්ෂණ නිරායාසයෙන්ම එක්විය. මේ සහන්ගේ වචනවලින්ම ඔහු කියන කථාවය.
“අපි පාඩම් කරන්නේ කුප්පි ලාම්පුවෙන්. දවසකට ලාම්පු තෙල් කාලක් ගෙදරට ගේනවා. ගෙදර අනෙක් කුප්පි ලාම්පු පත්තු කරන්නෙත් මේ ගෙනෙන තෙල් කාලෙන්මයි. සමහර දිනවලට ලාම්පු තෙල් ඉවර වී කුප්පි ලාම්පුව නිමුණු විට මම නිදා ගන්නවා. ඉඳහිට දවසක ඥාති නිවසකට ගොස් පාඩම් කළ අවස්ථාත් තිබුණා.
අපේ ගෙදරට විදුලිය නැති නිසා රූපවාහිනියක් නැහැ. ගුවන්විදුලියක් තියෙනවා. ගුවන්විදුලියෙන් ප්‍රවෘත්ති අහනවා. නැදෑ ගෙදරකට ගොස් ඉඳහිට රූපවාහිනිය බලනවා. ප්‍රවෘත්ති හා අධ්‍යාපන වැඩ සටහන් පමණයි බැලුවේ. ටෙලි නාට්‍ය ගැන කියන්න මට දැනුමක් නැහැ. ඒවා බලා නැති නිසා.
මම කාලසටහනකට අනුව පාඩම් කළා. 9, 10, 11 වසරවලදී දිගටම පාඩම් කළ නිසා විශේෂයෙන් විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය වුණේ නැහැ.
වර්ෂාව දිනවලදී ටකරන් සෙවිලි කළ වහලයට වැහි බිඳු වැටෙන විට පාඩම් කරන්න අමාරුයි. හිල් වුණු ටකරන් වලින් වැටෙන වැසි ජලයෙන් ගේ ඇතුළත් හොඳටම තෙමෙනවා. ඒත් ඉතිං මොනව කරන්න ද? මම දැඩිවම හිතාගත්තා අපිට දියුණු වෙන්න පුළුවන් වන්නේ හොඳින් ඉගෙන ගත්තොත් පමණයි කියලා. ඒ විශ්වාසයෙන් මම පාඩම් කළා. මට තිබු අභියෝග ජයගන්න නම් දෙමාපියන්ට සොහොයුරියන්ට සලකන්න නම් හොඳින්ම අධ්‍යාපනය ලැබිය යුතුයි කියා මා තදින්ම විශ්වාස කළා.
බටහිර සංගීතය විෂයට 11 වසරේදී ගුරුවරයකු සිටියේ නැහැ. එය මට අභියෝගයක් වුණා. අනෙත් විෂයන් ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
බටහිර සංගීත විෂයට අතරමඟදී උපකාරක පන්ති ගියා. මාසයකට රුපියල් 1250 ක් පන්ති ගාස්තු ගෙවුවේ අමාරුවෙන්. මා විශ්වාස කරනවා බටහිර සංගීතයට ගුරුවරයකු හිටියානම් මම මීට වඩා ස්ථානයක් ලබා ගන්නා බවට.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ඉගෙනුම ලබන සහන් තමාගේ නිවසේ ප්‍රශ්න අඟ හිඟකම් අධ්‍යාපනයට බාධාවක් කරගත්තේ නැත.
මේ ළමයාගේ ගෙදරට විදුලිය නැති බව අපි දැනගෙන හිටියේ නැහැ. සහන්ගේ ගෙදර ප්‍රශ්න තිබෙන බව ඔහු කවදාවත්ම හඟවා තිබුණේ නැහැ. සහන්ගේ ආර්ථික දුෂ්කරතා ගැන මා දැනගත්තේ ඔහු ලංකාවේ පස්වැනියා වූ පසුව බව රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ විදුහල්පති උපාලි මීගස්දෙනිය මහතා කීවේය.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ආචාර්ය මණ්ඩලයත් විදුහල්පතිවරයාත් ලබාදුන් සහයෝගය ගැන සහන් තම කෘතවේදීත්වය පළ කළේය.
සෑම විෂයකටම උපකාරක පන්තිවලින් තොර ලොවක් නැති සිසුන්ට සහන් ආදර්ශයකි. ගණිතය හා විද්‍යාව යන විෂයන්ට ඔහු උපකාරක පන්ති ගිය බව නිහතමානීව කීවේය. අනාගතයේ දී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නංගිලාට මල්ලිලාට මම කියන්නේ පාසලේ අධ්‍යාපනය හරියට කර නිවසේදී පාඩම් කරන්න. එය අරමුණකින් කාලසටහනකට කරන්න. එවිට උසස් ප්‍රතිඵල ලබාගත හැකි බව සහන් කීවේය.
ලලිතා මහත්මිය බාධක දුෂ්කරතා මධ්‍යයේ තම පුතු වෙනුවෙන් සිදුකළ කැපවීම ආදර්ශයකි. දුප්පත්කම ඇයට බාධාවක් නොවුණි. ලලිතා මහත්මිය කළේ එය තම දිවියට දිරියක් පන්නරයක් කරගැනීමය. මේ සමාජයේ සිටින සමහර අම්මලාට ඇය සැබෑ ආදර්ශයකි.
සියල්ල සම්පූර්ණ වන තුරු බලා හිඳින සමහර අම්මාවරුන්ට වඩා මේ ආදරණීය මාතාව මහ පොළව මත දෙපයින් නැගී සිටියාය. දහදිය කඳුළු මතින් ජීවිතය සොයා ගියාය. අද ඇය ඒ ප්‍රතිඵලයේ සතුට අපිරිමිතව භුක්ති විඳින්නිය.
“මාගේ සහන් පුතා වෛද්‍යවරයකු වී රටට සේවයක් කිරීම මාගේ එකම පැතුමයි. මාගේ පුතාට ඒ දෙය කරන්න පුළුවන්.”
සාමාන්‍ය පෙළ විභාගය ලියද්දි පුතා දුක් වින්දා. මම රෑ එළිවෙනතුරු පුතා සමඟ ඇහැරිලා සිටි වෙලාවල් තිබෙනවා.
ගෙදර වහලයට වැස්ස වැටෙන විට ගේ තෙමෙනවා. වර්ෂාව ටකරන්වලට වැටෙන හඬට පාඩම් කරන්න අමාරුයි. පුතා මේ කිසිවකින් සැළුණේ නැහැ.
මාගේ මහත්තයා පුතාට නිතරම කීවේ හොඳින් ඉගෙන ගන්නා ලෙසයි. අපේ ඥාතින් උදවු කළා. මාගේ පුතා ලංකාවෙන් පස්වැනියා වුණත් මට දැනෙන්නේ පළමුවැනියා වුණා වාගේ යැයි ලලිතා මහත්මිය කීවේ සතුටු කඳුළු දෙනෙතින් ගලා යද්දීය.
කුප්පි ලාම්පුවෙන් පාඩම් කර මේ දිරිය සිසුවා ලබාගත් ජයග්‍රහණය ගැන පුවත්පත්වලින් දැනගැනීමෙන් පසු ඇමැති විමල් වීරවංශ මහතා සහන් සහ දෙමාපියන් කොළඹට කැඳවනු ලැබීය. රත්නපුරයෙන් නිවසක් ඉදිකර දීමට ඇමැතිවරයා පොරොන්දු විය.
විදුලිබල නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර මහතා සහන්ගේ නිවෙසට ගොස් ඔහු හමුවිය. එක් දිනයකින් එම නිවසට විදුලි බලය ලබාදීමට ඇමැතිවරයා මූලික විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර මහතා ද සහන්ගේ නිවෙසට ගියේය.
රුපියල් තුන්දහස බැගින් මාසික ශිෂ්‍යත්වයක් තම පෞද්ගලික මුදලින් ලබාදීමට මන්ත්‍රීවරයා කාරුණික වී තිබේ.
සහන් ලක්ෂිත ජීවිතයේ එක් කඩඉමක් සාර්ථකව ජයගෙන තිබේ. උදාවෙන බක්මහේදී ඔහු අවුරුදු කුමරෙකු වෙමින් තම දෙමාපියන්ගේ ඥාතින්ගේ පාසලේ බලාපොරොත්තු ඉටු කළේය. වෛද්‍යවරයකු වී රටට සුවසෙත උදා කිරීමට සිහින මවන මේ දිරිය පුතුගේ අපේක්ෂාවන් ඉටුවේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ජනසෙවණින් නව නිවසක් ලබාදෙන බව ඇමැති විමල් වීරවංශ කියයි

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම පස්වන ස්ථානය හිමිකරගත් රත්නපුර, කරවිට, පලාවෙල පොල්වත්තේ පදිංචි සහන් ලක්ෂිත විජේවන්ත සිසුවාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි “ජනසෙවණ” නිවාස වැඩසටහන යටතේ ඉඩමක් හා නව නිවසක් ලබාදීමට තීරණය කළ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ අනුව අමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ කඩිනමින් රත්නපුර නව නගරය ආසන්නයෙන් ඉඩමක් මෙම සහන් ලක්ෂිත ශිෂ්‍යයාට ලබාදී එම ඉඩමේ නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි. සහන් ලක්ෂිත ශිෂ්‍යයා, ඔහුගේ දෙමව්පියන් හා ඔහු අධ්‍යාපනය හදාරන රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිවරයාද සමඟින් බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේදී ඊයේ (09) දින විමල් වීරවංශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මේ බව දැනුම් දෙන ලදී.
සහන් ලක්ෂිත ශිෂ්‍යයා ජීවත් වන්නේ ඉතා අඩු පහසුකම් නිවසකය. එම අඩු පහසුකම් නිවස ඉදිකර ඇත්තේද අනවසර ඉඩමකය. ඒ අනුව සහන් ලක්ෂිත ශිෂ්‍යයා ඇතුළු පවුල දැඩි අසරණ ජීවිතයක් ගත කළේ ජීවත් වීම සඳහා ස්ථිර නිවසක් ඉදිකරගැනීම සැබැවින්ම සිහිනයක් වූ නිසාය. එම අඩු පහසුකම් නිවස පිහිටා තිබෙන කරවිට, පලාවෙල ග්‍රාමය දුෂ්කර ප්‍රදේශයක් වන අතර රත්නපුරයේ සිට එම ගම්මානයට යෑමට පැය 2 කට අධික කාලයක් ගතවේ. මෙවැනි අභියෝග රැසක් මධ්‍යයේ අධ්‍යාපනය හදාරා මුළු දිවයිනෙන්ම පස්වෙනියා බවට පත්වීම විශේෂත්වයකි. මෙම සහන් ලක්ෂිත ශිෂ්‍යයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ මාධ්‍ය මඟින් තොරතුරු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා එම ශිෂ්‍යයා ඇතුළු පවුලේ සියලුදෙනා අමාත්‍යාංශයට කැඳවා ජනසෙවණ නිවාස වැඩසටහන යටතේ ඉඩමක් ලබාදී එහි අංග සම්පූර්ණ නිවසක් ඉදිකරදීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ සහන් ලක්ෂිත ශිෂ්‍යයා “මට ගරු විමල් වීරවංශ අමාත්‍යතුමා නිවසක් ලබාදෙන්න පොරොන්දු වුණා. ඇත්තටම නව නිවසක් ලැබෙන එක මට විශාල පහසුවක්. මට ලොකුම බාධාව වුණේ කාලය. සාමාන්‍යයෙන් මම දැන් ජීවත්වන නිවසේ ඉඳලා පාසලට යන්න මට පැය තුනක හතරක කාලයක් ගතවෙනවා. ඒ නිසා තමයි මට රාත්‍රී දෙක විතර වෙනකන් පාඩම් කරන්න සිදුවුණේ. ඉතිං මට රත්නපුර නගරය ආසන්නයෙන්ම නිවසක් ලැබුණහම විනාඩි පහළවක වගේ කාලයකින් නිවසට පැමිණෙන්න පුළුවන්. ඒ පැය හතරක පමණ කාලයත් අධ්‍යාපන කටයුතු සඳහා යොදවලා උසස් පෙළ විභාගයේදී මට උසස් ලෙස සමත් වෙන්න පුළුවන්වෙයි කියලා මම හිතනවා. මගේ අනාගත අපේක්ෂාව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා වෛද්‍යවරයෙක් විදිහට ලංකාවට සේවය කිරීමයි.

http://www.silumina.lk/2013/04/14/_art.asp?fn=af1304141

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි