Sunday, April 10, 2016

ජනකෙළි හා ඇදහිලි


අපේ පැරැණියන් කළ කී බොහෝ දේ හැඳින්වීමට ‘ජන’ යනුවෙන් අමුතුවෙන් පදයක් එක් වන්නේ කෙසේ ද? පැරැණියන් කියූ කවි, ජනකවි විය. කතා ජනකතා විය. නැටුම් ජන නැටුම් විය. සමස්තයක් වශයෙන් කලාව ම ජන කලාවක් විය. සාමාන්‍ය කලාවේ හා ජන කලාවේ බෙදුම් රේඛාව පිළිබඳව නිශ්චිත මිනුම් දඬු නැත.
සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟ විවිධ ජනකෙළි කරළියට එන බවක් අතීත ජන සමාජයේ දක්නට ලැබුණි. වර්තමානය වන විට බොහෝ දුරට කරළියට පැමිණෙන්නේ ජන කෙළිවලටත් ව ඩා ජනකෙළි පිළිබඳ කතිකාවන්, විමර්ශනයන් හා පර්යේෂණයන් ය. කෙසේ නමුත් ජනකෙළි යනු මොනවාද යන්න මූලිකව ම විසඳාගත යුතුව ඇත.
අපේ පැරැණියන් කළ කී බොහෝ දේ හැඳින්වීමට ‘ජන’ යනුවෙන් අමුතුවෙන් පදයක් එක් වන්නේ කෙසේ ද? පැරැණියන් කියූ කවි, ජනකවි විය. කතා ජනකතා විය. නැටුම් ජන නැටුම් විය. සමස්තයක් වශයෙන් කලාව ම ජන කලාවක් විය. සාමාන්‍ය කලාවේ හා ජන කලාවේ බෙදුම් රේඛාව පිළිබඳව නිශ්චිත මිනුම් දඬු නැත. “ජන” යන්න මේ කලාවන්ට හෝ ක්‍රියාකාරකම්වලට ආදේශ වන්නේ විදේශික මිනුම් ඇස්වලිනි.
විශේෂයෙන් ඉංග්‍රිසි ජාතිකයෝ මේ රට පාලනය කිරීමේදී සිය පරිපාලන පහසුව උදෙසා මෙරට මිනිසුන්ගේ ජීවන රටා අධ්‍යයනය කරන්නට වූහ. ‘ජන’ යන්නේ ගැටලුව කුමක් ද? අපගේ ඥාන පද්ධතියට ඔවුන් “ජන” යන්න යොදන්නේ ඉංග්‍රිසි භාෂාවේ ‘Folk’ යන අරුතිනි. ඔවුන් Folk යන්නෙන් අදහස් කළේ වැඩවසම් සමාජයේ නොදියුණු මිනිසුන් අතර තිබූ කවි, කතා, නැටුම් වැනි නොදියුණු සරල සිල්ලර දේ ය. ඔවුන්ගේ නොවන සියලු දේ ‘ජන’ යන ලේබලයට යටත් විය. චක්ගුඩු ජන ක්‍රීඩාවක් වන්නේත් කබඩි ක්‍රීඩාවක් වන්නේත් එසේ ය. චෙස් ක්‍රීඩා වනවිට දාම් ජන ක්‍රීඩාවක් වන්නේත් එසේ ය. දැන් ‘ජන’ නමින් බෙදා වෙන් කළ බෙදුම් රේඛාව පැහැදිලි ය. මේ ලිපියෙන් ජන කෙළි පිළිබඳ සාකච්ඡා කෙරෙන බැවින් ඒ පිළිබඳව දීර්ඝ ලෙස විස්තර නො කරමි.
මෙහි සාකච්ඡා කෙරෙන ‘කෙළි’ යනු වර්තමානයේ භාවිත ක්‍රීඩා යන්නෙහි අර්ථය සමාන දැඩි විමසිය යුතු ය. අප ‘ජන ක්‍රීඩා’ යනුවෙන් හඳුන්වන බොහෝ දේ පැරැණියන් හඳුන්වා ඇත්තේ ‘කෙළි’ යන නාමයෙන්, අංකෙළිය, පොල් කෙළිය, මේවර කෙළිය, ඔලිඳ කෙළිය. පංච කෙළිය, ලී කෙළිය ඊට උදාහරණ ය. සැබැවින් ම මේවා වර්තමානයේ ක්‍රීඩා වශයෙන් හඳුන්වන ක්‍රිකට්, අත් පන්දු, දැල් පන්දු, බාස්කට් බෝල්, දුර පැනීම, රිටි පැනීම, කඩුලු පැනීම, චෙස්, කැරම් වැනි විවිධ අංශයන් නියෝජනය කරන කිසිදු ක්‍රීඩාවක් සමඟ ගැළපිය නො හැකි බව ප්‍රත්‍යක්ෂය. මේ සියලු කෙළි ක්‍රීඩා මනස හා කය වෙහෙසවා සිදුකර ඥාන සහ බල වර්ධනය කරගන්නා කායික හා මානසික සුවය සාදන ක්‍රියාකාරකම් බව සත්‍යය. ඒ අතින් කෙළි හා ක්‍රීඩා සමාන වේ. එහෙත් ඒ හැර වර්තමානයේ ව්‍යවහාරික ක්‍රීඩා හා අතීත කෙළි අතර වෙනස්කම් රාශියකි. ක්‍රීඩා අතර ‘කෙළි’ සුවිශේෂ වන්නේ ද ඒ නිසා ය.
ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවේ දී මෙන් ජය පරාජය විඳගැනීම කෙළිවලදී එතරම් දුරට දක්නට නැත. ‘කෙළි’ යන්නෙහි භාවිතාර්ථය තුළ ජය පරාජය ඉලක්කගත නැත. සද්ධර්ම රත්නාවලියේ “කෙළගෙන සීගෙන” යන්නෙන් අදහස් කෙළේ “සෙල්ලම් කරගෙන සිනාසීගෙන” යන්නයි. එතැන ‘කෙළි’ යනු ‘සෙල්ලම’ යි. ලෝවැඩ සඟරාවෙහි ‘කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ’ යන්නෙන් ‘කෙළි’ යන්නෙන් අදහස් කරනුයේ ‘විහිළුව’ යන්නයි. විහිළුවක හෝ සෙල්ලමක ජය පරාජය ඉලක්කගත නැත. එහෙත් ජන කෙළිවල ජයග්‍රාහී කණ්ඩායමක් හා පරාජිත කණ්ඩායම් ද ඇත. එහෙත් ඔවුන් ජය විඳගත්තේ පරාජිතයා සමඟ ය. පරාජිතයාට විහිළු කිරීම, හුරේ දැමීම සිදුවූයේ ගැටුම් හෝ මානසික බැඳවැටීම්වලින් ‍‍තොරවූ ලෙස ය. අංකෙළිය වැන්නක උඩුපිල හා යටිපිල ලෙස තරග කරන පිල් දෙකින් ජයග්‍රහණය කරන පිල අනුව ගමට සිදුවන සුභ අශුභ පිළිබඳ විනිශ්චයක් සිදුවේ. ඒ නිසා මේ කෙළිවල ජයග්‍රහණය පෞද්ගලිකත්වයට වඩා පරාර්ථයට කේන්ද්‍රවී ඇත.
එමෙන් ම පරාජය හා ජය විඳ ගැනීම බුදු දහමින් ශික්ෂණය වූවන්ගේ ලක්ෂණ විදහා පාන්නේ ය. ජන කෙළි පිළිබඳ ඉදිරි විග්‍රහයන්ගෙන් ද මේ කරුණු තහවුරු කරගත හැකි වනු ඇත.
ජන කෙළි නිර්මාණය වන්නේ කෘෂිකර්මාන්තය, බුදු දහම, ජන ඇදහිලි හා අභිචාර යන සිව් වැදෑරුම් අංශයන්ගේ පදනම මත ය.
කෘෂි ආර්ථිකය තුළ අස්වනු නෙළා අවසන් ව ගොවි පවුල් ලැබූ කායික හා මානසික විවේකය ජන කෙළි නිර්මාණය වීමට බෙහෙවින් බලපෑවේය. බොහෝ ජන කෙළිවල නිරූපණය වන්නේ ද එකී මානසික හා කායික නිදහසයි. එමෙන් ම ඔවුන්ගේ කෙළි මඬල වන්නේ ද කමත හෝ වෙල් ඉපනැල්ලයි. කුඹුරු හා කමත් අස්වී නිදහස්වීම මෙන් ම ගොවි පවුල් ද කායික හා මානසි වශයෙන් නිදහස් වීම සමඟ සිංහල අවුරුදු උදාව ද මනාව ඒකාබද්ධවී ඇත. ඒ නිසාම කෘෂිකාර්මික පදනම මත ගොඩනැඟුණු ජන කෙළි කරළියට එන්නේ සිංහල අවුරුද්ද සමඟය. එසේ නොමැතිව හින්දූන්ගේ සූර්ය දෙවි වන්දනාව ජනකෙළිවලට පදනම වූ බවක් දක්නට නැත. එහෙත් කෘෂි කර්මාන්තය අත්‍යන්තයෙන් ම නැකැත් ක්‍රමය සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කරගෙන තිබූ බැවිනුත් ස්වභාවධර්මයේ හිරුගේත් සඳුගේත් බලපෑම බීජ රෝපණයට හා දලු, මල්, පල හට ගැනීමට තිබූ ඍජු සම්බන්ධතාව ගොවියා දැන සිටි නිසාත් හිරු හා සඳු දේවත්වයෙන් විඳීමට පුරුදු වූවා මිස හින්දු දේව සංකල්ප මත පිහිටා හිරු සඳු පිදීමක් හෝ සිරිත් සම්ප්‍රදායක් ගොඩ නැඟීමක් සිදුවූ බව දක්නට නොලැබේ.
ඒ නිසා ජන කෙළිවල දක්නට ඇති කවි ගායනාවන්හි එන හිරු දෙවි හා සඳු දෙවි යනු දේශීය සංකල්පය මිස හින්දු සංකල්ප නොවන බව වටහාගත යුතු ය. එය හුදෙක් කෘෂි ආර්ථිකය මත පදනම් වූ භාවිතාවක් මිස ඇදහිල්ලක් ද නොවන්නේ ය. සිංහල ජන ඇදහිල්ල තුළ හිරු දෙවි හෝ සඳු දෙවි වෙනුවෙන් දේවාල ඉදිවී නැත. ඒ නිසා වර්තමානයේ සූර්ය මංගල්ලය යන අරුතින් හඳුන්වන සිංහල අලුත් අවුරුද්ද තුළ සූර්ය ඇදහිල්ලක් දක්නට නොමැති බව ද වටහාගත යුතු ය. එසේ සඳහන් කළ පමණින් ජන කෙළිවලට හින්දු දේව සංකල්පය බලනොපෑවා යයි ද වරදවා වටහා නොගත යුතුය. එවැනි බලපෑම් ද ඉදිරියේ දී විස්තර වනු ඇත.
කෙසේ නමුත් කෘෂි කර්මාන්තය පදනම් කරගත් ජන කෙළිවල ජන ඇදහිලි ද අන්තර්ගතව ඇති බව දක්නට ලැබෙන්නේ ය. උදාහරණයක් ලෙස මේවර කෙළියේ ආකෘතිය හා භාෂා විලාසය අධ්‍යයනය කර බලන විට දක්නට ලැබෙන්නේ ගැමි ගැහැනියක සංහිඳ ඉදිරියේ තමන්ගේ නැති වූ වස්තුවක් ඉල්ලා දෙවියන්ට කරන යාතිකාවක ස්වභාවයයි. එසේත් නැතිනම් තමන්ගේ නිවැරදි බව සපථ කිරීම සඳහා දෙවියන් ඉදිරියේ දිව්රා සිටීමයි. දිව්රා කීම සඳහා අතීත නීතිය තුළ වලංගුභාවයක් තිබූ බව නීති නිඝණ්ඩුව ද සාක්ෂි දරයි.
“නෑනේ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා”
(මේවර කෙළිය)
මෙය කෙළියක් බැවින් අනුන් හා අනුන්ගේ දරුවන් සම්බන්ධ කර දිව්රා සිටීම කෙළිවලට ආවේණික වූ විහිළු ස්වභාවයක් අර්ථය අතින් විද්‍යමාන වුවත් ෙමහි භාෂා ආකෘතිය තුළ තිබෙනුයේ ජන ඇදහිලි ලක්ෂණයන් ය. මෙසේ බොහෝ ජන කෙළිවල ඇති ජන ඇදහිල්ල සූක්ෂ්මව වෙන් වෙන්ව හඳුනා ගැනීමට ඕනෑතරම් සාක්ෂ්‍ය ඇත.
එමෙන් ම මේවා නිර්මාණය කළ සිංහල ගොවියා තම දාර්ශනික පාර්ශ්වය වන බුදු දහම ද අමතක කර නැත. අංකෙළිය, පොල් කෙළිය, ලී කෙළිය වැනි ජනකෙළි ආරම්භ වන්නේ බුද්ධ වන්දනයෙනි. එමෙන් ම බොහෝ කෙළි සමඟ එන ‍කවි ගායනා යාතිකා ආදිය ආරම්භ වන්නේ ‘නමෝ’ යන්නෙනි. ජන සම්ප්‍රදාය අනුව සාතාගිර යකු බුදුන් වැන්දේ “නමෝ” කියා ය.
“සාතාගිර යකු නමෝ කියලා
මුනිඳුගෙ සිරිපා යුග වැන්දා”
මේ මතය මත පිහිටා දෝ බොහෝ කවි ගාථා ආදියේ දී මෙන් ම මන්ත්‍රවල දී ද “නමෝ” යන්නෙන් ආරම්භ වීම යනු බුද්ධ වන්දනය බව පැරැණියෝ කියති. එහෙත් ජන කෙළි මෙකී බුද්ධ වන්දනයෙන් ද ඔබ්බට යමින් එහි ඉගැන්වෙන ශික්ෂණයට ද අනුගත වන බවක් දක්නට ඇත. ජන කෙළිවලදී කිසිවකු කිසිවකුට හොර බොරු වංචා කිරීමක් හෝ වෛරය තරහව ඊර්ෂ්‍යාව ඇති කරගැනීමක් හෝ නොවන ආකාරයට එකී කෙළි නිර්මාණය වී ඇත. වර්තමානයේ ක්‍රීඩා බොහොමයකදී ජය පරාජය විනිශ්චය කරන්නේ විනිසුරුවන් ය. ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්වන විනිසුරුවරයෙක් ද සිටී. ඒ එම ක්‍රීඩාව තුළ එතරම් ම වංචා සිදු කළ හැකි බැවිනි. එහෙත් ජන කෙළි කිසිවක විනිසුරු නැත. ඒ, එය වංචාවෙන් තොර වන බැවිනි. මුලින් සඳහන් කළ පරිදි ජයග්‍රහණය ම අපේක්ෂා නොකරන බැවිනි. එසේ වීමට හේතුව බෞද්ධ චින්තනය මත පදනම් වූ ජනතාවක් මෙකී කෙළි නිර්මාණය කිරීම මිස වෙනත් පැහැදිලි හේතුවක් නැත.
ජන කෙළි තුළ බෞද්ධ චින්තනය පදනම් වුවත් බෞද්ධ චින්තනය විසින් මිථ්‍යාව යයි බැහැර කරන ඇතැම් අභිචාර ලක්ෂණ ද ජන කෙළි තුළ දක්නට ඇත. විශේෂයෙන් මේ අභිචාරයන් සියල්ල සමඟ නැවතත් කෘෂිකර්මාන්තය බද්ධ වන්නේ ය. එනම් කෘෂිකාර්මික සශ්‍රීකත්වය පදනම් කරගත් අභිචාර ලක්ෂණ මේ ජන කෙළි තුළ කැපී පෙනෙන්නේ ය.
අභිචාර විධි අධ්‍යයනයේදී විශේෂයෙන් හමු වන අනුකරණය, අනුරූපණය හා සංකේත භාවිතය යන ලක්ෂණ ජන කෙළි තුළ දක්නට ලැබෙන්නේ ය.
අනුකරණ අභිචාර විධික්‍රමය ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරයේ සිට පැවත එන්නකි. දඩයම් යුගයේ මානවයා දඩයම අනුකරණයෙන් දඩයම් ලැබීම සිදුවෙතැයි විශ්වාස කළේය. මේ උදාහරණය සරලව විග්‍රහ කරන්නෙකුට එය අනුකරණය නොව පෙර පුහුණුව යයි විග්‍රහ කිරීමට ද පුළුවන. එහෙත් මේ ලිපිය තවදුරටත් දීර්ඝ වන බැවින් එය එසේ නොවන හේතු ඉදිරිපත් නොකර එය එසේ නොවන බවට සාධක ඇති බව සටහන් කරමි.
අංකෙළියේ පුරාවෘත්තය හින්දු දේව කතාවකට සම්බන්ධය. පත්තිනි හා පාළඟ සපුමල් කැඩීමට ගොස් පටලවා ගත් කෙකි දෙක ගලවා දීමට රාමගේ දරුවන්ට හැකිවිය. එහිදී ඔවුන්ට පත්තිනිගේ ආශිර්වාදය ලැබුණි. මේ කතාවේ කෙකි පටලැවිල්ල ලිහා දීම අනුකරණය කිරීම අංකෙළියේ දී සිදු වේ. එමෙන් ම එළුවන් කෑම වැනි ළමා ක්‍රීඩාවක ද තිබේනනේ අනුකරණ අභිචාර ලක්ෂණයකි.
එමෙන් ම සොකරි නැටීම වැන්නක් ජන නාට්‍යයක්, ශාන්තිකර්මයක් යන අදහසින් ගන්නා සේම කෘෂි ආර්ථික ක්‍රමය තුළ කමතේ සිදු වූ ජන කෙළියක් ලෙස ද අර්ථ දැක්විය හැකි ය. සොකරි නැටීම තුළ විවිධ අනුරූපණය දක්නට ලැබේ. ඒ සියල්ල සශ්‍රීකත්ව අපේක්ෂිත අනුරූපණ ය. ජන සමජයේ තිබූ කිලි පිළිබඳ සංකල්පය මත කාන්තාව කමතට පා නොතැබීම නිසා හා වෙනත් විශ්වාසයක් මත මේ අනුරූපණ ද පිරිමින් විසින් ම සිදු කරන ලදි. සම්භෝගය, ගර්භිණීභාවය විශේෂයෙන් සශ්‍රීකත්වය නිරූපණය කරන බැවින් සොකරිය තුළ ඇති එකී ලක්ෂණ අනුරූපණ අභිචාර ලක්ෂණ පෙන්නුම් කරන්නකි.
එමෙන් ම පොරපොල් ගැසීම හෙවත් පොල් කෙළිය තුළ සශ්‍රීකත්වය හෙවත් වර්ෂාව පිළිබඳ සංකේත ඉදිරිපත් කිරීමේ අභිචාර ලක්ෂණ නිරූපණය වේ. දෙපිලට බෙදී පොල් විසි කර ගැනීමත් ඒවා අහ‍සේදී එකට ගැටීමත් බිඳීමත් පොල් කෙළියේ නිරූපිත මූලික සරල සංසිද්ධියකි. මෙහි පොල් එකට ගැටීම හා ඉන් නිකුත්වන ශබ්දය අකුණු හඬත් ‍පොල් බිඳී වතුර වෑස්සීම වර්ෂාවත් සංකේතවත් කරන්නේ ය. මේ සංකේත ඉදිරිපත් කිරීම මඟින් වැහි පල ලැබී ගම සාරවත් වේ යයි ගොවියා තුළ අභිචාරාත්මක සංකල්ප ක්‍රියාත්මක විය. මෙ වැනි සංකේත භාවිත අභිචාර ගල් යුගයේ සිට වර්තමානය දක්වා ම අණවින සූනියම්වලදී ද හමු වන්නේ ය.
කෙසේ නමුත් ජනකෙළි පිරික්සන විට මෙකී පසුබිම් ලක්ෂණ ගණනාවක් හඳුනාගත හැකිවන අතර ඒ මඟින් ඒ ජන සමාජයේ අපේක්ෂිතාර්ථ හා චින්තන රටාව මනාව ඉස්මතු කරගත හැකි වනු ඇත. සුවිශේෂයෙන් ම ජනකෙළි ඇදහිලි සමඟ බද්ධ වූවක් බවත්, එයින් සශ්‍රීකත්වය, රෝග නිවාරණය ආදිය උදා කර ගැනීම සඳහා ගුප්ත පරමාර්ථ තිබූ බවත් ඉන් මෙපිට සමාජීය වශයෙන් කායිකව බලය ද මානසිකව ඥානය ද, කටයුතුවල සූක්ෂ්මාත්මතාව හා නිපුණතාව ද නිරෝගීභාවය ද මනා මානව සම්බන්ධතාවන් පවත්වා ගැනීම ද ආදි බොහෝ අපේක්ෂා සාධනය කර ගැනීමක් සිදු වූ බවත් දක්නට ලැබෙන්නකි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි