Thursday, April 28, 2016

අද විශ්වවිද්‍යාල ළමයි කවි ලියන්නෙත් නැහැ කියවන්නෙත් නැහැ


බුද්ධදාස ගලප්පත්ති
බුද්ධදාස ගලප්පත්ති අද සිටින ජ්‍යෙෂ්ඨතම කවීන් කීප දෙනාගෙන් ප්‍රමුඛයෙකි. ඔහු බිහි වූයේ ඉතාම පෙරළිකාර සමයක් වූ හැත්තෑව දශකයේදීය. බුද්ධිගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘තීර්ථය අසබඩ’ පසුගිය දා එළිදුටුවේය. එය ඔහු ලියූ අට වැනි කවි පොතය. මීට ඉහත ඔහු ‘දොළොස්මහේ පහන’ (මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සමඟ) ‘කැටපත් පවුර’ (1972), ‘පාර වසා ඇත’ (1974) ‘රැජිනක් හැඬුවාය’ (1976) ‘දෙදෙනාම දියණියෝ’ (1983) ‘නිශ්චලයි රාත්‍රිය’ (1992) ‘තුරුලිය අකුරු විය’ (1998) ‘දවස හෙටයි’ (2003) යනාදි වශයෙන් කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇත.
ඔබ නියෝජනය කරන්නේ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන් පතිරණට සමකාලීන වූ හැත්තෑව දශකයේ නව කවිය
ඔව්. ඒ වෙනකොට පේරාදෙණි කවිය ජනතාවගෙන් ඈත්වෙලා. ඔය අතරේ තමයි විමල් දිසානායකගේ, මහගමසේකරගේ ආගමනය සිද්ධ වෙන්නේ.
පේරාදෙණි කවිය මොකද ජනතාවගෙන් ඈත්වුණා යැයි කියන්නෙ?
එකක් එහි ආකෘතිය. ඒ කවි පොදුජන විඥානයෙන් අඩුවුණා. මහාචාර්ය සිරි ගුනසිංහගේ කවි දාර්ශනිකයි. ඒ කවි තේරුම් ගන්න බුද්ධියක් අවශ්‍යයි. හැබැයි අමරසේකරගේ කවි ඊට වඩා වෙනස්. පේරාදෙණි කවි පරපුර ජනතාවගෙන් ඈත්වුණා. ඒ අතර තමයි සේකර, විමල් දිසානායක මතු වුණේ.
මං හිතන්නෙ මෙතැනදි සේකර සුවිශේෂයි.
සේකරගේ කවිවල නවීන අත්දැකීම් තිබුණා. විශේෂයෙන් නාගරික ජීවිතය ගැන. ප්‍රේමය, හුදෙකලාව ගැන ඔහු රසවත් කවි ලිව්වා. ඔහු ජනකවියෙන් නොමඳ ආභාසයක් ලැබු කවියෙක්. පසු පරපුර කෙරෙහි වැඩිම බලපෑමක් කළේ සේකර. විමල් දිසානායක පැරැණි කවි බස සේකරට වඩා අවශ්‍ය තැන්වලදී මැනවින් යොදා ගත්තා. ඔහුගේ විශේෂම ලක්ෂණය වුණේ රූපක භාවිතය. ඒක තමයි ඔහුගේ අනන්‍යතාව. සංකල්ප රූප මැවීමේ අපූර්ව කුසලතාවයක් විමල්ට තිබුණා. ‘උවැසිය’, ‘දියේ ගිලුණු අයියාට’, ‘පිස්සු වැටුණු උදෑසන’ වගේ කවි එයට උදාහරණ.
ඔබටත් වැඩියෙන් බලපෑවේ සේකර ද?
මම ඉස්කෝලේ යන කාලේ කොළඹ කවියට හුඟක් කැමැති වෙලා හිටියා. සිවුපද කවියෙක් හැටියට කුමාරගමගේ කවි අර්ථාන්විතයි. ඒ වගේම තමයි මානවසිංහ. ඔහුගේ භාෂාවේ විචිත්‍රත්වයට, සෞන්දර්ය භාවයට මගෙ විශේෂ කැමැත්තක් තිබුණා. සේකර පසුකාලීනව සියලු කවීන්ට බලපෑ කවියෙක්. මගේ (මහාචාර්ය සුනිල් ආරියරත්න හා ජයලත් මනෝරත්න සමඟ එක්ව) ‘දොළොස්මහේ පහන’ කවි පොතට සේකර ලවා පිටකවරයක් අන්දවන්නට ලැබීම මා සලකන්නේ වාසනාවක් වශයෙන්.
හැත්තෑව දශකයේදී නව කවියේ පිබිදීමක් ඇති වෙනවා.
ඔව්. අලුත් කවීන් බිහිවෙන්න පටන් ගන්නවා. දයාසේන ගුනසිංහ, බර්ටි බී. කුඩාහෙට්ටි, වින්ටර් කුරේ, ධර්මසිරි රාජපක්ෂ, වැනි කවින් ඊට නිදසුන්. කවි කොළ සාහිත්‍යයක් බිහිවෙන්න පටන් ගන්නවා. ‘මාවත’ වගේ වාර සඟරාවල වැඩි ඉඩකඩක් කවියට ලැබෙනවා. කවිය අළලා විචාරවත් ලිපි පළ වෙනවා.
මං හිතන්නේ ඊට සාපේක්ෂව ශ්‍රී ලාංකික දෙමළ කවියෙත් කිසියම් පුනරුදයක් ඇතිවෙනවා.
විශේෂයෙන් වතුකරයේ කවි. පරාක්‍රම කොඩිතුවක්කුගෙන් සිදුවූ ලොකුම මෙහෙවරක් තමයි ඒ කවි සිංහලට නඟා පළ කිරීම.
හැත්තෑව දශකයේ කවීන් නිසඳැස් කවි ලිව්වත් හතරපද කවිය බැහැර කළේ නැහැ. වඩාත් වැදගත් අන්තර්ගතය බවයි ඔවුන්ගේ පිළිගැනීම වුණේ.
තම අත්දැකීම් සිවුපද ආකෘතියෙන් කියන්න බැරි වුණොත් තමයි ඒක කඩාගෙන ගියේ. නාට්‍ය කලාවෙත් ඕකමනේ සිද්ධ වුණේ. ශෛලිගත සම්ප්‍රදායෙන් කියන්න බැරිවෙනකොට ඒක කඩාගෙන තාත්වික රීතියට ගියා. සංවාද නාට්‍යවලට ගියා.
ඔබේ කවිවල අත්දැකීම් ක්ෂේත්‍රය ගැන යමක් කතා කරමු ද?
විවිධ මානුෂික හා සමාජ අත්දැකීම් මම ග්‍රහණය කරගත්තා. වේදිකා නාට්‍ය වේෂ නිරූපණ ශිල්පියෙක් වශයෙන් මට මුළු ලංකාවේම ඇවිදින්න අවස්ථාව ලැබුණා. ඒ නිසා වඩාත් විස්තීර්ණ අත්දැකීම් ලබන්ට මට පුළුවන් වුණා. පන්ති භේදය, සූරාකෑම, තරුණ අසහනය, මිථ්‍යාව ප්‍රශ්න කිරීම වගේ දේවල් මගේ කවිවල අත්දැකීම් ක්ෂේත්‍රය වී තිබෙනවා.
ඒ අනුව ඒ කවි දේශපාලනිකයි?
අපි කවි ලිව්වේ 1971 කැරැල්ල සිදුවූ කාලයේ. රැකියා නැති උපාධිධාරීන් රස්තියාදුකාරයන් සේ හැසිරුණු කාලයේ. ඉතින් ඒ කවි දේශපාලනික වීම සහේතුකයි.
ඔබේ කවිවල කිසියම් දෘශ්‍යමය ස්වරූපයක් මම දකිනවා.
දෘශ්‍ය මාධ්‍යයත් එක්ක මගේ සම්බන්ධතා තිබෙන නිසා ඒක නිරායාසයෙන් එන්න පුළුවන්. මගේ අලුත්ම කවි පොතේ තියෙන ශිෂ්‍ය අරගලයකදී සිසුන්ට පහර දෙන පොලිස්කාරයෙක් ගැන ලියැවුණු කවිය තනිකරම දෘශ්‍යමයි.
මෙය ඔබේ අටවැනි කවි පොත. අවුරුදු හතළිස් පහකටම ඔබ ලියා ඇත්තේ කවි පොත් අටයි.
සම්මාන ගැනීමේ පටු චේතනාවෙන් අවුරුද්දට එක ගානේ කවි පොත් ලියා පළ කරන්න මං ගියේ නැහැ. අපේ රටේ සම්මාන උමතුවක් තියෙනවනේ. මං ඒ රෝගෙන් පෙළෙන්නේ නැහැ. මගේ කවි පොත්වල විරාම කාලය දිගයි. එයින් අදහස් වෙන්නෙ නැහැ මං කවි නොලියන බවක්. මං කවි ලියනවා. ඒත් කවියක් වුණත් නිරන්තර සංස්කරණයට ලක්වෙමින් එය වර්ධනය කරන්න ඕනැ.
සමකාලීන කවිය ගැන ඔබ මොකද හිතන්නේ?
අසූ ගණන්වල රත්න ශ්‍රී ප්‍රමුඛ තරුණ පිරිසක් කවියට එකතු වුණා. දෙදහ වසර මං හිතන්නේ තවත් කඩඉමක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ප්‍රමුඛ තරුණ කවීන් රැසක් බිහිවෙන්න පටන්ගත්තා. ඔවුන් අතර රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන් ලියනගේ, අනුරාධා නිල්මිණි, මාලති ඇම්බ්‍රෝස් යනාදි වශයෙන් කවි කිවිඳියන් රැසක් ඉන්නවා.
මං හිතන්නේ මොවුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාලවලින් පරිබාහිර කවින්?
විශ්වවිද්‍යාල ළමයි කවි ලියන්නෙත් නැහැ. කවි කියවන්නෙත් නැහැ.
නව කවියට හරිහමන් විචාරයක් නැති එක කැපිලා පෙනෙනවා?
විචාර කලාව වැඩුණේ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්. අද එහි බුද්ධි පරිහානියක් තියෙන්නේ. අනික පාසල් මට්ටමේ සිටම කවියට තැනක් නැහැ. ඒ පසුබිමේ කවීන් බිහිවන්නෙත් නැහැ; විචාරකයන් බිහිවන්නෙත් නැහැ. අද රසිකත්වයේ දැවැන්ත පටුවීමක් දක්නට ලැබෙනවා. එහෙම තියෙද්දි හරවත් විචාර කලාවක් බිහි වෙන්න ඉඩක් නැහැනේ.
ඔබ වේදිකා නාට්‍ය වේෂ නිරූපණය කළාට, තීරු ලිපි ලිව්වට, කෙටිකතා ලිව්වට කලා විචාරයේ යෙදුණට ඔබ ඔබව හඳුනාගන්නේ කවියෙක් විදියට ද?
ඔව්. ඕනෑම කලා මාධ්‍යයක ශක්‍යතා හා සීමා තියෙනවනේ. කවියෙන් කියන්න බැරි දෙයක් තමයි මං කෙටිකතාවෙන් කියන්නෙ; නැත්නම් නවකතාවකින් කියන්නේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි