Thursday, April 21, 2016

අලුත් වෙමු ද....


මම බස් රථයේ කවුළුව අයිනේ ඉඳගෙන සිටින්නෙමි. ගමනාන්තය දීර්ඝ බැවින් මා ගමන ආරම්භ කළේ හිරු පායා එන්නට සිතන්නටත් පෙර ය. ක්‍රමයෙන් බසය නාගරික ප්‍රදේශය පසු කරයි. රාත්‍රී ගැඹුරු නිහැඬියාව ඇතුළතින් ම සෙමෙන් සෙමෙන් බොහෝ ඉවසිලිවන්ත ව ප්‍රභාතය උදා වෙමින් පැවැතිණි.
ගම්බද ට හුරු නිහැඬියාවෙන් ම වෙල්යාය සහ ඈතින් පිහිටි කඳු වළල්ල අවදි වන්නට පටන් ගත්තේ ය. නිහැඬියාවෙන් ම ඇරඔුණු ප්‍රභාතයේ ආලෝක කිරණ මඳින් මඳ රශ්මිය පතුරන්නට වෙර දරයි. කන්ද උඩින් පායා එන හිරුගේ දසුන මනරම් ය.මුල් ම හිරු කිරණ පහස ලබන්නේ වෙනදා මෙන් ම පැරණිතම හා උස් ම ගස් ය.
ඒ ගස් අතුපතර සැඟවී සිටි කුරුල්ලෝ නිද්‍රාශීලී බවක වගක් හෝ නැතිව උදා ගී ගයනු ඇසේ.මේ නම් මනරම් උදෑසනකි. ප්‍රාණවත්, ජීවමාන, රම්‍ය උදෑසනකි. තවකකුගේ පහසින්, වදනින් කිලිටි නොවූ උදෑසනකි. කෙනකු මේ උදෑසනනෙහි ලස්සනින් මවිත වෙයි. පත්‍ර මත ඇති පිනි බිඳු හිරු කිරණ වැටී දිලිසෙන චමත්කාරය සිත මන්මත් කරයි. ඇත්තෙන් ම මේ උදෑසන පෙර නොවූ විරූ පරිදි නිකැලැල් ය.
මා ගමට පැමිණියේ බොහෝ කලකිනි. අඳුරා ගත නොහැකි තරම් කිසිවක් වෙනස් වී නැත. ඈතින් පෙනෙන උස් අඹ ගසෙහි වෙනදා තරම් ගෙඩි හැදෙන්නේ නැත. එහෙත් මීට කලකට පෙර ඒ අඹ ගසෙහි කොළ පරදමින් මල් හැදෙනුත්, අනතුරුව ගහ පුරා පල හටගන්නා අයුරුත් සුන්දර මතකයක් ව ම සිත තැන්පත් ව තිබේ.
දැන් අඔ ගස සිටින්නේ වයස්ගත වෙමිනි. සෑහෙන කාලයක් තිස්සේ අඹ ගස සීත කාලවලට, දැඩි නියං සමයට පමණක් නොව දැඩි කුණාටු සුළංවලට ද හිරුගේ ගිනියම් දෙනෙතට ද ලක් වෙන්නට ඇත. හිරු ගිනි ගෙන දැවෙන අහසේ පීඩාකාරී බවෙන් හෙම්බත් ව කුඩා සන්දියේ සෙල්ලම් කරනා අප ඒ අඹ ගස මුලට දිව එන්නේ මවගේ ඇකයට ආරක්ෂාව පතා එන දරුවන් පරිද්දෙනි.
හිත් පිත් නැති හිරු අඹ ගසේ සෙවණැල්ල පවා ගස මුලට ම ඇද දමා තිබුණ ද අඹ ගස කිසිදා අප ගිනියම් නොකළේ ය. අඹ ගස මහලු ව ගෙඩි වරා සිටින මෙකල්හි පවා අප ව හිරුගෙන් ආරක්ෂා නොකරන්නේ ද? ම සිත විමසයි. එසේත් නැතිනම් හිරු කිරණින් නැහැවුණු ගස්වලට, මල්වලට, ගෙඩිවලට කාලය පිළිබඳ ව හැඟීමක් නැත් ද?
අපට ජීවත් වීමට පැවැත්මක් අවශ්‍ය නො වේ ද? පැවැත්ම අපේ ජීවිතයේ ම කොටසක් යැයි සිතේ. ජීවත් වීම යනුවෙන් හඳුන්වන්නේ මේ පැවැත්මයි. පැවැත්ම මරණයෙන් අවසන් නොවන්නේ ද; ඔබ මගෙන් ප්‍රශ්න කරනු නියතය.
මරණය අප සැමට පොදු කාරණයකි. මරණයෙන් බොහෝ දේ කෙළවර ද වනු ඇත. එහෙත් ඔබ හෝ මා මිය ගියා යැයි කියා මේ ලොව පැවැත්මට තර්ජනයක් වේ ද? මඳක් සිතන්න, අඛණ්ඩ පැවැත්මට අප කිසිවකුත් බාධාවක් නො වේ.
අඛණ්ඩ පැවැත්ම යනු කුමක්ද? ම සිත විමසයි. මා ඔබට කියූ අඹ ගසට මැරෙන තෙක් ම අඛණ්ඩ පැවැත්මක් තිබෙනු ඇත. ඉන් අනතුරුව ඒ ගස මැරුණා යැයි කියා මේ ලොව පැවැත්මට බාධා වේ ද? හිරු ගෙන් අප ගලවා ගන්නේ ඒ ගස පමණක් ද?
ඔබගේ මගේ අඛණ්ඩ පැවැත්ම කිනම් ආකාරයේ දෙයක් ද? ඒ අපගේ මතකයේ ගබඩා කර ගෙන ඇති දැනුම් සම්භාරය ද? අපේ ජීවිතය ම මතක ගබඩාවකි. ඒ මතක, හැසිරීම් ඔස්සේ අප බොහෝ දේ අපේ ජීවිතවලට ආරෝපණය කර ගන්නෙමු.
අප කරන කියන දෑ, හොඳ ගතිගුණ, දියුණු වීමේ අභිලාෂය ආදී බොහෝ දේ අපි අපේ ජීවිත වලට එක් කරගන්නෙමු. මඳක් සිතන්න; මේ සියල්ලේ ම එකතුවක් නො වේ ද කියා අපේ ජීවිතය. නොකඩවා සිදුවෙන පැවැත්මක් පරිද්දෙන් එය එකින් එකට අමුණන ලද දම්වැලක් සේ ගලා යයි.
මා මේ පවසන අඛණ්ඩ පැවැත්ම අප ජීවිතවලින් පලා ගියහොත් ඉතිරි වන්නේ කුමක්ද? අප නිරන්තරයෙන් බිය ගන්වන ශූන්‍ය බව නො වේ ද? ශූන්‍ය බව යනු කිසිවක් නොමැති බවයි. අප නිරන්ත‍රයෙන් කරන්නේ අතීත සිදුවීම් වලින්, අත්දැකීම් වලින් හා එදිනෙදා උකහා ගන්නා දැනුම් සම්භාරයෙන් අපේ මනස පුරවා ගැනීමකි.
එවිට අපේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ අත්දැකීම් අනුසාරයෙන් යැයි අපි සිතමු. එහෙත් ඒ අත්දැකීම් හා දැනුම ඔබේ මනස කුරුවල් කරන්නේ යැයි මා පැවැසුවහොත්; ඔබ සමහර විට එකඟ නොවනු ඇත.
එහෙත් අලුත් දෙයක් පහළ වීමට නම් පැරණි අතීත දැනුම් සම්භාරය මත ම සිටීම ප්‍රයෝජනවත් නො වේ. අලුත් යනු මීට පෙර කවදාවත් නොතිබුණු දෙයකට යොදන යෙදුමකි. 'අලුත්' බව ඇත්තේ සියලු මතක වලට ඔබ්බෙනි.
අඹ ගස තවමත් නිසල ව ප්‍රභාතයට සිය සිරු‍ර ශක්තිමත් ව ප්‍රදානය කරමින් සිටියේ ය. එය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්‍රියාවකින් තොර ව සිදු වූවකි. එනම් පැවැත්මට කිසිදා තර්ජනයක් නොකර එයට මුහුණ දීම ය.
එහෙත් අලුත් අවුරුද්දක් උදා වී ඇති මේ ඇසිල්ලේ පැවැත්මට මුළුමනින් ම යට වෙනවා ද; නැතිනම් අලුත් වී නව චින්තනයක් අනුව නව මාවතකට පිය මනිනවා ද? ඒ ගැන තීරණය කිරීම ඔබ සතු ය. මා යෝජනා කරන්නේ අලුත් වීමට උත්සාහ දරමු ද කියා ය.

http://www.silumina.lk/2016/04/17/_art.asp?fn=sm16041715

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි