Monday, February 13, 2017

අපේ ගුවන්විදුලියට හැරවුම් ලක්ෂයක්













පරිකල්පනය අවදි කිරීමට ගුවන්විදුලියට ඇති හැකියාව වෙනත් කිසිදු මාධ්‍යයකට නොමැත. ගුවන්විදුලිය සැළකෙන්නේ පෞද්ගලිකව ආමන්ත්‍රණය කරන මාධ්‍යයක් වශයෙනි. ග්‍රාහකයෝ හුදකලාව පණිවුඩ ග්‍රහණය කර ගනිති. එම පණිවුඩ තේරුම් ගන්නේ මනසේ ගොඩනගා ගන්නා මනෝ චිත්‍ර අනුවය. එම මනෝ චිත්‍ර ගොඩනගන්නේ ශබ්ද මාධ්‍ය මගිනි. එබැවින් ගුවන්විදුලි භාෂාව භාවිත කිරීමේදී ග්‍රාහක මනසට ආමන්ත්‍රණය කළ යුත්තේ ග්‍රාහක පරිකල්පනය වර්ධනය වන ආකාරයෙනි.
ගුවන්විදුලි භාෂාව යනු මිනිස් හඬ, සංගීතය හා බාහිර ශබ්ද සංකලනයෙන් ගොඩනැගෙන්නකි. ගුවන්විදුලි මාධ්‍ය සරල වූවකි. එහෙත් ග්‍රාහක ආමන්ත්‍රණය සරල වූවක් නොවේ. එය මැනවින් ප්‍රගුණ කළ යුතු කුසලතාවකි.
ඕනෑම අයෙකුට ගුවන්විදුලියෙන් කතා කළ හැකිය. එහෙත් සියල්ලෝ ගුවන්විදුලි මාධ්‍යවේදිහු නොවෙති. එසේ වන්නේ ගුවන්විදුලි ආමන්ත්‍රණ කලාව තේරුම් ගෙන නොමැති බැවිනි. ගුවන්විදුලි කථනය කන්කරච්චලයක් බවට පත් වන්නේ මෙම ආමන්ත්‍රණ විලාසය තේරුම් නොගත් කථකයන් නිසාය.
2017 ලෝක ගුවන්විදුලිය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන යුනෙස්කෝ ආයතනයේ මාධ්‍ය සංවර්ධන පිළිබඳ විශේෂඥ ටින් ෆ‍්‍රැන්සිස් සඳහන් කර ඇත්තේ හරසුන් බවින් ඉවත් වී සියල්ලන් සවන් දෙන ගුවන්විදුලියක් ගොඩනැගීමේ අවශ්‍යතාව හා වැදගත්කම පිළිබඳවය. අප ජීවත් වන අවදියේ සිවිල් සමාජයේ බිඳ වැටීමේ අවදානම ලොව පුරා විද්‍යමානව පවතී.
මාධ්‍ය ඔස්සේ සත්‍ය ඉදිරිපත් කිරීමද ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ජන කණ්ඩායම් ඒකාබද්ධ කරමින් සමාජ පරිවර්තනයක් සඳහා අවශ්‍ය වන ධනාත්මක සංවාද පැවැත්වීමේ අද්විතීය හැකියාව ගුවන්විදුලි මාධ්‍යය සතු බව යුනෙස්කෝ ආයතනය සඳහන් කරයි. අප ලෝක ගුවන්විදුලි දිනය සමරන්නේ මෙවැනි පුළුල් පසුතලයකය. ලොව පුරා මෙම දිනය සැමරෙන 6 වන වර්ෂය අදට යෙදී තිබේ.
ගුවන්විදුලිය ලාභදායී මාධ්‍යයකි. අතිශය ආකර්ෂණීය මාධ්‍යයකි. එසේම සමීප සුහද මාධ්‍යයකි. ලෝ වටා ගුවන්විදුලි මධ්‍යස්ථාන 44000කට වඩා පවතින බව යුනෙස්කෝ ආයතනය සඳහන් කරයි. එම ගණනය කිරීමට වෙබ් ගුවන්විදුලි නාළිකා ඇතුළත් නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල නිවෙස්වල 75%ක් ගුවන්විදුලි යන්ත්‍ර තිබේ.
මෙයින් පැහැදිලි වන්නේ ලොව කවර තැනක වුවද ජනතාව ග්‍රහණය කර ගත හැකි මාධ්‍යයක් බවට ගුවන්විදුලිය පත්ව ඇති බවයි. සාක්ෂරතාව පහළ මට්ටමක පවතින අප්‍රිකානු ලතින් අ‍ෙමරිකානු රටවල සංවර්ධන, අධ්‍යාපනික පණිවිඩ ජනගත කරන වාහකයක් ලෙස ගුවන්විදුලිය හඳුනාගෙන තිබේ. මෙම පසුතලය යටතේ ලෝක ගුවන්විදුලිය මූලික අරමුණ වී ඇත්තේ ගුවන්විදුලිය සතු අද්විතීය ශක්තිය භාවිත කරමින් ලොව සෑම කෙළවරකම සිටින ජනතාව සජීව ලෙස ස්පර්ශ කරමින් ඔවුන් ඒකරාශී කිරීමයි.
ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදීය. යුනෙස්කෝ සංවිධානය මගින් ගුවන්විදුලි සංවිධාන, රාජ්‍ය පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පොදුජන අදහස් විමසුමට ලක්කර තිබේ. මෙම අරමුණ සඳහා 95%ක කැමැත්ත යුනෙස්කෝ සංවිධානයට ලැබිණි. ආසියා පැසිපික්, අරාබි, අප්‍රිකා, කැරිබියානු, උතුරු අ‍ෙමරිකානු අන්තර් ජාතික ගුවන් විදුලි සංගමයේ සහයෝගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියෝය.
බී.බී.සී ආයතනය ඇතුළු ප්‍රමුඛ ගුවන්විදුලි සංවිධානය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාවට ප්‍රසාදය පළ කර තිබිණි. මෙම ආශීර්වාදාත්මක පදනම යටතේ 2011 සැප්තැම්බර් 29 වන දා යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුව මගින් පෙබරවාරි 13 වන දිනය ලෝක ගුවන්විදුලි දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.
පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කර තිබුණේ 1946 පෙබරවාරි මස 13 වන දා වීමය. යුනෙස්කෝ සංවිධානය ස්වකීය යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2011 වර්ෂයේ දී එය පිළිගැනීමට ලක් විය.මේ අනුව 2012 වර්ෂයේ ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ස්වකීය රාජ්‍යවල පැවැත්වූ බව වාර්තා වේ.
තරගකාරී ගුවන්විදුලිය හා පුළුල් ලෝක ජනතාව යන පොදු මාතෘකාව යටතේ 2012 වර්ෂයේ ගුවන් විදුලි වැඩසටහන අප්‍රිකාවේ ග්‍රාමීය අධ්‍යාපනය කෙරහි ප්‍රමුඛතාව දැක්වූ අතර ස්විට්සර්ලන්තය හා යුරෝපා ගුවන්විදුලි සංගමය මගින් අංකිත ගුවන්විදුලි සතියක් පවත්වා තිබේ. පොදු සේවා, වාණිජ මෙන්ම ප්‍රජා ගුවන්විදුලි ආයතන පොදු තේමාව මෙන්ම ස්වකීය ග්‍රාහක ප්‍රජාවට අදාළ අවශ්‍යතා මුල් කර ගනිමින් ලෝක ගුවන්විදුලි දිනය සමරා ඇත. 2013 වර්ෂයේ ලෝක ගුවන්විදුලි සේවා සැමරීම විශේෂත්වය වූයේ නව මාධ්‍ය මගින් ගෙන යනු ලැබූ ප්‍රචාරයයි.
මේ අනුව ලෝකයේ සාකච්ඡාවට භාජනය වූ ප්‍රමුඛ මාතෘකා 10 අතරට ලෝක ගුවන්විදුලි දිනය පත් විය. 2014 වර්ෂයේ ලෝක ගුවන්විදුලි දිනයේ තේමාව වූයේ කාන්තාව බලාත්මක කිරීම හා ස්ත්‍රී පුරුෂ සමානත්වතාවයි. ඉහත තේමාවට අදාළ ප්‍රතිපත්ති හා උපාය මාර්ග බලවත් කිරීම සඳහා ගුවන්විදුලි ආයතන හිමිකරුවන්, විධායක නිලධාරින්, ජනමාධ්‍යවේදීන් මෙන්ම රාජ්‍යයන් මෙහෙයවීම එම වර්ෂයේ ප්‍රමුඛ අරමුණයි. තරුණ කාන්තාවන් ගුවන්විදුලි කුසලතා වර්ධනය කිරීම සඳහා වැඩසටහන් සැලසුම්
කෙරිණි. කාන්තා ගුවන්විදුලි මාධ්‍යවේදිනියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද එම වර්ෂයේ සුවිශේෂී අරමුණවිය.
2015 ලෝක ගුවන්විදුලිය, තාරුණ්‍යය හා ගුවන්විදුලිය යන තේමාව යටතේ සංවිධානය වූවකි.
ගුවන්විදුලිය සඳහා ලොව පුරා තරුණ ජනගහනයේ සහභාගිත්ව ඉහළ නැංවීම මෙහි අරමුණ වේ. තරුණයන් වෙනුවෙන් තරුණයන්ගේ දායකත්වය ඉහළ නැංවීම අපේක්ෂාව විය. 2016 ලෝක ගුවන්විදුලිය හදිසි අවස්ථාව සඳහා ගුවන්විදුලිය යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූවකි. 2017 ලෝක ගුවන්විදුලි දිනයේ තේමාව වන්නේ ඔබය රේඩියෝව යන්නයි. ගුවන්විදුලිය අපට තොරතුරු ලබා දෙමින් අපගේ පරිවර්තනයක් ඇති කරයි.
මෙම පරිවර්තනය ඵලදායී එකක් කර ගැනීම ජාතික වගකීමකි. ගුවන්විදුලිය සමඟ සිටින ඔබ කිසිදා හුදකලා වන්නේ නැත. ඔබට සැමවිටම ගුවන්විදුලිය මිතුරකුව සිටී. 21 වන සියවසට පිවිසීමේ දී ගුවන්විදුලිය ගතිකත්වය හා ශක්තිය වර්ධනය වෙමින් ඇති බව පිළිගත යුත්තකි. එයට හේතුව වන්නේ නව තාක්ෂණය හා නව මාධ්‍ය මගින් ගුවන්විදුලියේ සීමා පුළුල් කොට ග්‍රාහක සමීප මාධ්‍යයක් බවට වර්ධනය වෙමින් තිබීමයි.
මෙවර ශ්‍රී ලංකාවේ ලෝක ගුවන් විදුලි දිනය සැමරුම සැබවින්ම පරිවර්තන ලක්ෂයකි. පුළුල් වැඩපිළිවෙලක ආරම්භයකි. ශ්‍රිලංකා ගුවන්විදුලි සේවාවලට නව ප්‍රමිතියක් හඳුන්වා දීමේ සමාරම්භයකි. ගුවන්විදුලි මාධ්‍යවේදීන්ට පිළිගැනීමක් ලබා දෙන්නකි. ගුවන්විදුලියේ පරිපාලකයන්, නිවේදකයන්, නිෂ්පාදකයන් මෙන්ම නිහඬ මෙහෙවරක් ඉටු කරන තාක්ෂණික සහ ඉංජිනේරුවෝ සිටිති. මේ සියල්ලන් කෙරෙහි අවධානයක් යොමු කිරීම තීරණාත්මක පියවරකි. ආසියාවේ ප්‍රථම ගුවන් විදුලිය ශ්‍රී ලාංකකි අප සතුය . එසේම බ්‍රිතාන්‍යන් විසින් තම භූමියෙන්
පිටත පිහිට වූ ප්‍රථම ගුවන්විදුලියද ලංකා ගුවන්විදුලියයි. ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි මධ්‍යස්ථානය 1983 විවෘත කරනු ලැබුවේ ගිරාදුරුකෝට්ටේය. ලොව ප්‍රථම ළමා ගුවන්විදුලිය එනම් ”විදුල” ළමා ගුවන්විදුලිය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේය. ආදිවාසීන් සඳහා වෙනම ම ගුවන් විදුලියක් දඹානේ රේඩියෝව නමින් පිහිටුවා තිබේ. විවෘත ආර්ථික සමාජ පරිසරය නිසා මෙම ප්‍රජා නාළිකාවෝ අභියෝගයට ලක්ව තිබේ. මෙය කෙරෙහි විසඳුම් ලබා දීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බව ද සඳහන් කළ හැකිය.
අතිශය දුබල ට්‍රාන්ස්මීටරයක් සහිතිව ආසියාවේ ප්‍රථ‍ම ප්‍රජා ගුවන්විදුලිය ගිරාඳුරුකෝට්ටේ ක්‍රියාත්මක වන බව අවධානයට ලක් කළ යුතු කරුණකි. වාණිජත්වය හා දේශපාලන බලපෑම පුළුල් ලෙස ගුවන්විදුලි මාධ්‍ය කෙරෙහි බලපා තිබේ.
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි රාජ්‍ය උපදේශක කමිටුව මගින් අද දින පස්වරු 5.00 ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය අමාත්‍යවරුන්, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල නියෝජිතයන්, කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ලෝක ගුවන්විදුලි දින උත්සවය සංවිධානය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යකරුවන් රාජ්‍ය ඇගයීමකට ලක් කළ ප්‍රථම අවස්ථාව මෙය වීමයි.
1921 ජූලි 21 වන දා එඩ්වඩ් හාපර් ලංකා ගුවන්විදුලි සේවය ආරම්භ කිරීමට මැදිහත් විය. 1922 ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය ආරම්භ වේ. 1924 ජූලි 27 වන දා ශ්‍රීමත් විලියම් හෙනරි මැනිං ආණ්ඩුකාරවරයා ලංකා ඉංජිනේරු සංගමයේ දී සිදු කළ කථාවක් ගුවන්විදුලි තරංග ඔස්සේ ප්‍රචාරය කිරීමට එඩ්වඩ් හාපර් ඇතුළු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ගුව න් විදුලිය නිල වශයෙන් විවෘත වන්නේ 1925 දෙසැම්බර් 16 වන දා ආණ්ඩුකාර ශ්‍රීමත් ක්ලිෆර්ඩ් මහතා අතිනි. මේ වන විට ශ්‍රි ලංකා ගුවන්විදුලිය වසර 93ක් සම්පූර්ණ කර තිබේ.. 1948 දක්වා යටත් විජිත ගුවන්විදුලිය, 1977 දක්වා සංවෘත ආර්ථිකය යටතේ පැවැති ගුවන්විදුලිය, අප සතුය.
දැනට අප අත්විඳින්නේ විවෘත ආර්ථික පරිසරයක පවතින ගුවන්විදුලියකි. ප්‍රාදේශීය, ප්‍රජා ගුවන්විදුලි නාළිකා ගුවන්විදුලි සංස්ථාව සතුව තිබේ. වාණිජ ගුවන්විදුලි නාළිකා සංඛ්‍යාත්මකව වර්ධනය වෙමින් තිබේ.
ස්වාධීනව ජාතික අනන්‍යතාවට ගැලපෙන අයුරින් රන්ගිරි, බෞද්ධයා හා ශ්‍රද්ධා නමින් බෞද්ධ ආගමික ගුවන්විදුලි නාලිකා 3ක් ද අප සතුය. ගුවන්විදුලි රාජ්‍ය උපදේශක කමිටුවේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ මෙම සම්මාන ප්‍රදානය මගින් ගුවන්විදුලියට ව්‍යාකරණයක් ලබා දෙන බවයි. එහි අදහස වන්නේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ නිර්ණායක මගින් ගුවන්විදුලි නාළිකාවන්ට ප්‍රමිතිය පිළිබඳ අවබෝධයක් ඇති කර ගත හැකි බවත් මෙවර රාජ්‍ය සම්මාන ප්‍රදානය සඳහා ගුවන්විදුලි නාළිකා 43ක් ඉල්ලූම් පත් ඉදිරිපත් කර තිබීමද සුබදායක පියවරකි.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මගින් විධිමත්ව කටයුතු සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සියලු ගුවන්විදුලි නාළිකාවන්හි නියෝජිතයෝ අද දින නෙළුම් පොකුණ රංග ශාලාවේ දී එක්වීමද අපූරූ සිදුවීමකි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අද්දැකීම් සහිත පරිණත මාධ්‍යවේදීන්ගේ එක්වීමද විශේෂත්වයකි. ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදීන් වන බර්ටි ගලහිටියාව හා නිව්ටන් ගුණරත්න යන ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සම්භාවනීය සහභාගිත්වය උත්සවය පැවැත්වීම සංකේතවත් කරන්නේ අතීත අත්දැකීම අනාගතයට දායක කිරීමේ වැදගත්කමයි.
ගුවන් විදුලිය ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කර ගැනීමේ හැකියාව අප සතුව තිබේ. ඒ සඳහා විවෘත සංවාදයක අවශ්‍යතාව පවතී. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ගුවන්විදුලි නාළිකා මෙහෙයවන ප්‍රවීණ අත්දැකීම් සහිත පරිපාලකයන් මෙන්ම කුසලතා පූර්ණ තරුණ නිෂ්පාදකයන් නිවේදක නිවේදිකාවන් පිරිසක් සිටින බව ද බලාපොරොත්තු සහගතව ප්‍රකාශ කළ හැකිය. අවශ්‍ය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක ජාතික ප්‍රශ්න විසඳීම සඳහා පෙර ගමන්කරු වීමේ ගුවන්විදුලි මාධ්‍යයට ඇති හැකියාව සහ නිවැරදිව මෙහෙයවීමේ දිශානතිය සියල්ලන් විසින් අවබොධ කර ගැනීමයි.

(අදට යෙදෙන ලෝක ගුවන්විදුලි දිනය සහ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී අද දින පැවැත්වෙන ශ්‍රීලංකාවේ ප්‍රථම රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල නිමිත්තෙනි)
මහාචාර්ය කමල් වලේබොඩ
www.dinamina.lk
සටහන රසික කොටුදුරගේ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි