Monday, February 15, 2016

චිරං ජයතු බලගල්ලේ පඬිඳාණ!


ප්‍රඥා පාටවයෙන් උද්දීප්ත වූ විමල් ජී. බලගල්ලේ නම් ඒ මහා පඬිවරයාණන් හෙළ බසටත්, සාහිත්‍ය කලා යනාදියටත් සිදු කළා වූ අනූපමේය අතිවිශිෂ්ට සේවාව අරබයා ස්වාධීන වූ විවේචනාත්මක අබිමන් ග්‍රන්ථයක් ලිවිය යුතු කාලය ද ඉක්ම ගොස් ඇතැයි ඒ මහා ඇදුරාණන් ගුණෝවෘද්ධ ව, ඥානවෘද්ධ ව, වයෝවෘද්ධ ව අනූ දෙවැනි වියට පා තබන ‍මොහොතේ අපට හැඟී යයි.

ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදය සමඟ සෑම ශ්‍රේණියක දී ම ප්‍රථම ස්ථානය දිනාගනිමින් අකුරු සරු කළ ඔහු 1938 දී එකල රජය මඟින් පවත්වනු ලැබූ කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර (ජේ. එස්. සී.) පරීක්ෂණයේ දී ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් දිනා ගත්තේ ය.

1938 වර්ෂයේ දී ගුණසේකර ශිෂ්‍යයා වැඩිදුර අධ්‍යාපනය සඳහා පල්ලෙවෙල වික්‍රමශීලා පිරුවනට නේවාසික ශිෂ්‍යයකු වශයෙන් බැඳුණේ ය. ගුණසේකර ශිෂ්‍යයා සාම්ප්‍රදායික පන්සල් පොත් කියවීමට සමගාමීව ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර (එස්. එස්. සී.) විභාගයට ද සූදානම් වූයේ ය. 

මේ අතර, ප්‍රාචීන භාෂා අධ්‍යයනය සම්පූර්ණ කිරීම සඳහා වංග භාෂාව ද ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාව මත ගුණසේකර ශිෂ්‍යයා 1945 වර්ෂයේ දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරුවනේ උසස් අධ්‍යාපන අංශයට ඇතුළත් වූයේ ය. එකල පරිවේණාධිපති වූ බද්දේගම පියරතන නාහිමි, උන් වහන්සේගෙන් පසු පරිවේණාධිපති වූ ද විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමී වූ ද ගරු වැලිවිටියේ සෝරත නාහිමි, පල්ලන්නරුවේ විමලධම්ම හිමි, ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර හිමි, කලුකොඳයාවේ පඤ්ඤාශේඛර නාහිමි ආදි ගිහි පැවිදි පඬිවරුන්ගෙන් ශාස්ත්‍ර පරායනය කිරීමේ භාග්‍යය ගුණසේකර ශිෂ්‍යයාට එකල ලැබිණි.
වර්ෂ 1949 ගුණසේකර ශිෂ්‍යයා පිරුවන් අධ්‍යාපනය සමාප්ත කළේ දිවයිනේ විශිෂ්ටතම ශිෂ්‍යයා ලෙස සමත් ව ශ්‍යාමරාජ ත්‍යාගය ද හිමි කරගනිමිනි. 

ඉන් අනතුරු ව සමානුයාත වර්ෂයේ දී හෙවත් 1950 වර්ෂයේ දී ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වන ලද පණ්ඩිතෝපාධි පරීක්ෂණයෙන් ප්‍රථමයා ලෙසට උත්තීර්ණ ව ස්වර්ණ මුද්‍රිකාව ද දිනාගැනීම වාර්තාගත වූ සිදුවීමකි. මෙහි සුවිශේෂත්වය වන්නේ එතුමන් විසින් 1949 දී හිමි කරගන්නා ලද ශ්‍යාමරාජ ත්‍යාගය හෝ 1950 දී ස්වීයාකෘත ස්වර්ණ මුද්‍රිකාව හෝ අද වන තුරුත් කිසිදු ශිෂ්‍යයෙකුට හිමි කරගැනීමට නොහැකි වීම ය. එය මෙතෙක් ලංකා ඉතිහාසයේ නොබිඳුණු වාර්තාවකි.


කොළඹ නගරයට පැමිණීමත් සමඟ ඉංග්‍රීසි භාෂා ඥානය ද ප්‍රගුණ කළ ගුණසේකර ශිෂ්‍යයා, 1951 දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ඉන් ද ඉහළින් ම සමත් වූයේ ය. ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මඟින් 1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ යථෝක්ත විභාගයේ ප්‍රතිඵල පිට වීමටත් පෙර ය. අනෙක් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ, උපාධියක් ලබා ඉක්මනින් රැකියාවක් සපයා ගනු පිණිස ය. එහෙත් ගුණසේකර ශිෂ්‍යයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ මෙතෙක් ප්‍රගුණ කළ පෙරදිග භාෂා ඥානය නවීනත්වයෙන් ද යළි ප්‍රගුණ කිරීමට ය.

1956 දී බී.ඒ. (ගෞරව) උපාධියත් ලැබීමත් සමඟ ම ගුණසේකරට විද්‍යෝදය පිරුවනේ ආචාර්ය ධුරයක් ද ලැබිණි. එතැන් සිට ගුණසේකර ශිෂ්‍යයා විමල් ජී. බලගල්ලේ නමින් ප්‍රකට වූයේ ය.
පෙරදිග භාෂා ශාස්ත්‍ර ගවේෂණයේ කේන්ද්‍රස්ථාන දෙකෙන් එක්ක වූ විද්‍යෝදය පිරුවන විශ්වවිද්‍යාලයයක් බවට පත් කරගැනීමේ ව්‍යාපාරය ආරම්භ වූයේ මේ යුගයේ දී ම ය. එකල විද්‍යෝදය පරිවේණාධිපති ධුරය දැරූ වැලිවිටියේ සෝරත නාහිමියන්ට සහාය වෙමින් ක්‍රියා කළ ගුණසේකර මහතා 1959 පෙබරවාරි 19 වැනි දා විද්‍යෝදය විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාවේ සිට එහි විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරී තනතුර ද හෙබවූයේ ය. එමතු ද නොව, සිංහල විෂයය පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත් වූ එතුමා එකී වර්ෂයේ ම මැයි මස, සිංහල අංශයේ ප්‍රධාන ධුරයට ද එම වර්ෂයේ ම ඔක්තෝබර් 01 දින සිංහල විෂයය පිළිබඳ මහාචාර්ය ධුරයට ද අංශ ප්‍රධාන ධුරයට ද පත් කිරීම සුවිශේෂ සිදුවීම් ය. එතැන් සිට සිංහල අංශයට සුදුසු ආචාර්යවරුන් තෝරාපත් කරගැනීමේ වගකීම බලගල්ලේ මහතාට පැවරිණි. මහාචාර්ය ඒ. වී. සුරවීර සහ මහාචාර්ය විනී විතාරණ ආරම්භයේ දී ම එසේ බඳවා ගනු ලැබූ විද්වත්හු වෙති.
කේ. එස්. සිවකුමාරන්, ජීන් අර්සනායගම් සමඟ මහාචාර්ය බලගල්ලේ
ගොඩගේ දිවමන් සම්මාන ලබයිි.
වර්ෂ 1961 ඔක්තෝබර් සිට 1963 දෙසැම්බර් දක්වා යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් මත ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂණයන්හි නියැළී සිටි මහාචාර්යතුමාට ඒ ගමනේ දී ම ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා පර්යේෂණවල නියැළෙමින් පශ්චාත් උපාධියක් ලැබීමට වාසනාව උදා විණි. 1963 දෙසැම්බර් මස පෙරළා දිවයිනට පැමිණි බලගල්ලේ මහාචාර්යතුමා නැවත සිංහල අංශයේ වැඩ භාර ගනිමින්, තමන්ට හිමි සප්ත වාර්ෂික නිවාඩු ඇතුළු කිසිදු නිවාඩුවක් නොගෙන විශ්වවිද්‍යාල සේවයට ම කැප වූයේ ය.
1988 වර්ෂයේ දී මහාචාර්ය බලගල්ලේ මහතා නැවතත් තුන් මසක කෙටි නිවාඩුවක් ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාගාරය ආශ්‍රයෙන් ශබ්ද විචාරාත්මක ගැටලු කිහිපයක් පිළිබඳ පර්යේෂණ කිරීමට ගියේ ය. ඒ ගමනේ දී ම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අප්‍රකට ග්‍රන්ථ පර්යේෂණය ද එතුමාගේ තවත් අරමුණක් වූ සේ ය.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා විශ්වවිද්‍යාල ජිවිතයෙහි තැබූ වාර්තා කිහිපයකි. එතුමා මහාචාර්ය ධුරයට පත්වූයේ වයස අවුරුදු තිස් පහේ දී ය. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු, මහාචාර්ය ධුරයට පත් කරනු ලබන්නේ ඔහු ලබා ඇති උපාධි හා කර ඇති පර්යේෂණ පිළිබඳ එකතු කරගත් ලකුණු සලකා බැලීමෙනි. එහෙත් මහාචාර්ය බලගල්ලේ මහතා එම ධුරයට පත්වූයේ එතුමා ලබා තිබූ උපාධි සහතික දෙස ‍බලා නොව, ලංකාවේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනය හා ඍජුව පර්යේෂණවල අතිශය දීප්තිමත් වූ ද සුදුර්ලභ වූ ද වාර්තා තැබීමෙන් ප්‍රකට කළ පාණ්ඩිත්‍යය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් අවිවාදයෙන් පිළිගනු ලැබූ බැවිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට විශ්වවිද්‍යාලාධිපති වැලිවිටියේ සෝරත ස්වාමින් වහන්සේ ඇතුළු පාලක පක්ෂය ගත් තීරණය අනුව බලගල්ලේ මහතා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සිංහල මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබූ දා සිට එම ධුරය දෙතිස් වසරක් දැරීය.
විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු එම ධුරයේ රැඳී සිටිය දී ම ඒ විශ්වවිද්‍යාලය මඟින් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීම ඉතා ම දුර්ලභ සිද්ධියකි. එබැවින් 1984 දී පැවැති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය රජත ජයන්ති උපාධි ප්‍රදානෝත්සවයේ දී බලගල්ලේ මහතා ආරම්භයේ සිට ම විශ්වවිද්‍යාලයට කළ සේවය අගයමින් ඩී.ලීට් (සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන) උපාධිය ප්‍රදානය කරනු ලැබී ය.
බලගල්ලේ මහාචාර්යතුමා සතු වූ තවත් විශේෂ ලක්ෂණයක් නම් භාෂා සාහිත්‍ය පෝෂණයෙහිලා රචිත ග්‍රන්ථ හා ලිපි ලේඛන සම්භාරය යි. එතුමාගේ කුලුඳුල් ග්‍රන්ථය 1950 දී පළ කළ පංචතන්ත්‍ර අනුවාදය වන අතර, 1958 දී රචිත දෙවැන්න බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු ඇතුළත් පාහියන් දේශාටන වාර්තාව නම් පරිවර්තන ග්‍රන්ථය යි. 1964 දී සිංහල ස්තූපවංස‘‘‘ සංස්කරණය ද (මහාචාර්ය විමල විජේසූරිය සමඟ) පළ කළේ ය. 1995 දී භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය ද 1998 දී සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය යන ශාස්ත්‍රීය ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන ද හිමි වීම තවත් සුවිශේෂ සිදුවීමකි.
1992 දී සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, 1996 දී සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය, 2001 දී මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්: සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය ආදි පොත් සිංහල භාෂාවේ ඉතිහාසය හා ඓතිහාසික වාග්විද්‍යාව සම්බන්ධ විශිෂ්ට පර්යේෂණයෝ වෙති.
සැබැවින් ම මහාචාර්ය බලගල්ලේ මහතා අංග සම්පූර්ණ පඬිරුවනකි. එතුමන්ගේ සේවය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට පමණක් නො ව, අධ්‍යාපන අමාත්‍යාංශයට ද, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ද, පිරිවෙන් ශාඛාවලට ද, අධ්‍යාපන ප්‍රකාශන උපදේශක මණ්ඩලවලට ද, පාරිභාෂික ශබ්දමාලා උපදේශක මණ්ඩලයට ද, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයට ද, ප්‍රාචීන භාෂෝපකාර සමාගමට ද, බුද්ධ ශ්‍රාවක ධම්ම පීඨ විෂයය නිර්දේශ සම්පාදක මණ්ඩලයට ද ආදි වශයෙන් බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට බලගල්ලේ මහාචාර්යතුමාගේ සේවය මහමෙරක් තරම් විය.
බලගල්ලේ මහාචාර්යතුමාගේ ජාතික මෙහෙවරේ තවත් ක්ෂේත්‍රයක් නම් ශබ්දකෝෂකරණයයි. සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයේ සේවයට අමතර ව එතුමා සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූයේ ය. අනෙක් සුවිශේෂ කරුණ නම් වෘද්ධ භාවයට යන විට බොහෝ උගතුන්ට අහිමිව යන පාලි, සිංහල, සංස්කෘත, ප්‍රාකෘත ආදි භාෂා සාහිත්‍යයන්හි ස්මරණ ශක්තිය එසේ ම පැවතීම ය. අදත් ව්‍යාකරණ ගැටලුවක්, භාෂා සාහිත්‍ය ගැටලුවක් මතු වූ කල්හි කිසිදු පැකිළීමකින් තොර ව, පොතපතින් පාඨ පාලි ගාථා, සංස්කෘත ශ්ලෝක ගෙන හැර දක්වමින් ගැටලු විසඳීමේ වෛශාරද්‍යය ප්‍රකට ය. ඒ අතින් සලකා බලන සඳ බලගල්ලේ මහාචාර්යතුමා තවමත් ඥානවෘද්ධ ව භද්‍ර යෞවනස්ථ තාරුණ්‍යයෙන් යුක්ත වූවෙකි. එමතු ද නොව, දැනුම් පිපාසයෙන් තමන් වෙත එන කවරෙකු වුව ද තෘප්තිමත් කිරීමට සැදී පැහැදී සිටීමේ මහඟු දාන වීර ගුණ අතින් එතුමාණෝ සමෝපේත ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි