බල්ලො බළල්ලු ගැන පුංචි කතාවක්...
අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වයිට් සහ ටෙරී. වයිට් සුදු පාටයි. එයා අලුතෙන් ම අපේ ගෙදර එද්දි නම් සුදු පාටයි. ඒ නිසා තමයි වයිට් කියලා දැම්මේ. ඒත් දැන් එයාගේ හැටි බලනකොට අපිට දාන්න නමකුත් නැහැ. එක දවසක් අපේ ගෙදර අමුත්තෙක් ආවා. එයා අපිත් එක්ක ඉද්දි එයාට පෙන්නන්න වයිට් ට අඬ ගැහුවා. වයිට් අඬ ගහපු ගමන් ම දුවගෙන ආවා. “මේ ඉන්නේ වයිට්” මම කිව්වා. ඒක අහපු අමුත්තාගේ මුහුණ වෙනස් වුණා. ඊට පස්සේ “නමේ හැටියට නම් හොඳ වැඩියි වගේ” කියලා අපි මොනවත් කියන්නත් කලින් ඒ මනුස්සයා අඩියට දෙකට ගෙදරින් එළියට පැනගත්තා. එයා ගියාට පස්සේ මට තේරුණා එයා නොකියා කිව්වේ ‘අපෝ! මෙයාගේ හැටි!!! සුදු පාට මයිලක්වත් පේන්න නෑ” කියලා. තව කෙනෙක් කිව්වා මං හිතුවේ මූගේ නම ඩ(ර්)ටි කියලා. ඒකට නම් ටිකක් විතර ලැජ්ජයි. මොකද මූණට ම කිව්වනේ. ඒත් වයිට්ට නම් ගාණක්වත් නෑ. ටෙරී දුඹුරු පාටයි. ඌ සමහර වෙලාවට සැරයි. ඒත් එයා හැම තිස්සෙම ඉන්නේ පොල් ලෙල්ලක් එක්ක. වෙන එකක් තියා ඌ නිදියන්නෙත් පොල් ලෙල්ලක් ළං කරගෙන. ටෙරී පූසන් පන්නන්නේ නෑ. ඒත් වයිට් නම් පන්නනවා.
මේක තමයි පුදුම වැඩේ! ඔන්න එක දවසක් අපේ ගෙදරට හදිසියේ ම පූසියක් ආවා. එයාගේ ඇඟේ කළු, දුඹුරු, සුදු පාට තිබුණා. ඒ නිසා මම ඌට මික්සි කියලා නම තිබ්බා. පස්සේ තමයි දැනගත්තේ මේ මං ළඟ හිටපු මිස්ටි පූසිගේ දුව කියලා. ඌ දිගට ම අපේ ගෙදර ආවා. තවත් දවසක, මේන් තව එක්කෙනෙක් එනවා. එයා අලු, සුදු, කහ පාටට හුරු දුඹුරු පාටයි. එයාගෙ නම ඩේෂී. ඊට ටික දවසකට පස්සේ අපි එහා ගෙදරට රෑ සාදයකට ගියා. එහේ හිටියා තවත් පූසෙක්. උගේ පාටත් මික්සිගේ පාට වගේමයි. ඒ හිටිය පූසා මික්සිගේ සහෝදරයෙක්. ඒ නිසා මම ඌට බික්සි කියලා නම තිබ්බා.
එදා අපි රූපවාහිනිය නරඹමින් හිටියේ. ඒ අතර අපිට සද්දයක් ඇහුණා. රූපවාහිනී බලල ඉවර වෙලා ජනේල වහන්න ගියා. රස්නය නිසා ඇරලයි තිබුණේ. මම ඒ කාමරයට ගිහින් බලද්දි මේන්! පුංචි පූස් පැටියෙක් අම්මගේ පොත්වලට මැදිවෙලා හොඳට නිදි!! මම ජනේලෙත් නොවහා අම්මා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අම්මා මෙන්න වයිරං පැටියෙක් ඇවිල්ලා!!!” එතකොට අක්කත් තාත්තාත් ආවා. කළුරේ එද්දි අක්කා පැටියා හිටපු මේසෙ “දඩාස්” ගාලා හැපුණා. ඒත් එක්ක ම ඇහැරුණු පැටියා ඉක්මනට ජනේලයෙන් මාරු වුණා. හැබැයි පහුවදා, මේං එනවා!! එයා අපිත් එක්ක යාළුවෙලා හැම තැනම නැග නැග ඉඳලා අන්තිමට තාත්තාගේ ඇඳටත් නැංගා. එයා හොඳට හරිබරි ගැහිලා ලස්සනට ඉඳගත්තා. එතකොට ම තාත්තා ආවා. ඒක දැකලා ඌව උස්සද්දි දැක්කේ හරිම හිරිකිත දෙයක්. ඇත්තම කිව්වොත්... ඌ ඇඳේ චූ දාලා තිබුණා. ඉතින් අම්මට මුළු පොරෝනයම හෝදන්න වුණා. අම්මා ඌට කතා කළේ චූ බබා කියලා. මම ඒක චූබී කියලා හැදුවා.
ටික දවසකින් තවත් පූසියක් ආවා. මම එයාට දැම්මේ රික්සි කියලා. එයත් මික්සිගේ සහෝදරියක්. කවදාවත් පූසෝ එන එක නතර නොවේවි කියලා මට හිතුණා.
ඊළඟ දවසේ වයසක පාට කෝප්පයක් වගේ මූණක් තියෙන පූසෙක්. එයා වයසක නිසා මම ඌට ‘ඔඩී’ කියලා දැම්මා. ඊළඟට ආවේ චූබීගේ අම්මා. ඌට ‘ඩිටී’ කියලා නම දැම්මා. අන්තිමයා ‘බ්ලී'. එයා කළු පාටයි.
එදා ඉරිදා දවසක්. තාත්තා ගෙදර හිටියෙ නැහැ. මේ අතරෙ චුබී පුරුදුවෙලා හිටියා අපේ වයිට් නිතරම චුබීට කුරුමානම් අල්ලනවා. ඒවා වැරදුණා. ඉතින් මෙදා චුබී අව්ව තපින්න එළියට බැස්සා. එහෙම ඉද්දි එකපාරට ම වයිට් පැනලා උගේ බෙල්ලෙන් අල්ලගත්තා. ඌ පුළුවන් විදිහට දැගළුවා බේරෙන්න. ඒත් එක්කම වයිට්, ඌව ළඟම තිබුණ ගලක ගැහුවා. ඒක දැකලා අක්කා කෑ ගැහුවා. ඒත් වයිට් උඩ ගෙදරට ගිහින් ඌව හයියෙන් වැනුවා. ඒ ගෙදර මාමා වයිට්ට ගලකින් ගැහුවා. ඌ චුබීව දාලා දිව්වා. එතන තිබුණ ගරාජ් එකේ කාර් එක යටට ඌ ඇදිලා ගියා. මම කෝටුවක් දාලා ඌව ඇදලා ගත්තා. උගේ කකුල් උළුක්කු වෙලා තිබුණා. ඉන් පස්සෙ මම ඌව දර මඩුවට ම දැම්මා. රෑ වුණහම අම්මා උගේ කකුල් තෙල් ගාලා ඇද්දා දැන් නම් ඌ හොඳට ඉන්නවා. මෙහෙම වෙලා පූසෝ හදන්ඩ බල්ලො එක්ක බෑ තමයි.
විශ්වනී මදාරා විජේරත්න
7 ශ්‍රේණිය,
උසස් බාලිකා විද්‍යාලය,
මහනුවර
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි