Thursday, January 9, 2014

වෘත්තිකයන්ට-අධ්‍යාපනඥයන්ට-සිසුන්ට සෙත සලසන ජාතික අධ්‍යාපන ආයතනය

වෘත්තිකයන්ට-අධ්‍යාපනඥයන්ට-සිසුන්ට සෙත සලසන ජාතික අධ්‍යාපන ආයතනය


ස්පාඤ්ඤයේ විශාලතම රාජ්‍ය පර්යේෂණ අංශයට අයත් පර්යේෂණ කණ්ඩායමක් මඟින් ලෝක විශ්ව විද්‍යාල පිළිබඳ කරන ලද තත්ත්ව සමීක්ෂණය අනුව, එනම් “Webometrics Ranking of World Universities” පිළිබඳ තොරතුරු හෙළි කරන අන්දමට, ලංකාවේ විශ්ව විද්‍යාල අතර ඉහළම ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයට හිමි වේ. එම තත්ත්වයන්ට අනුව ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර අට වන ස්ථානය ජාතික අධ්‍යාපන ආයතනයට හිමි වීම ප්‍රශංසාත්මකය.
අනුපිළිවෙළින් විවෘත විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), නැගෙනහිර විශ්ව විද්‍යාලය හා රජරට යන විශ්ව විද්‍යාල ආදිය අබිබවා ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරියෙන් සිටින බවwww.webometrics.info යන වෙබ් අඩවිය දක්වා ඇත.
ජාතික අධ්‍යාපන ආයතනය දැනට පිහිටා ඇති අංක 21, හයිලෙවල් පාර, මහරගම යන ස්ථානයට ගෙන ආවේ පසුකාලීනව ය. එහි සෞන්දර්ය අංශය පාදුක්කට නුදුරු ව මීපේ පිහිටුවන ලදි. ඒ වන විට අධ්‍යාපන ආයතනයක් ලෙස භාවිතයට ප්‍රමාණවත් ගොඩනැඟිලි නොවීම ගැටලුකාරී තත්ත්වයක් විය.
එම දැවෙන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් වර්තමානයේ මහරගම පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ආයතනය, ජපාන රජයේ ආධාර සහිත ව ගොඩනැඟුණු අතර ජපාන “කුමී” ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කෙරුණි.
ජාතික අධ්‍යාපන ආයතනය බහුවිධ වූත්, ගතික වූත් සමාජයක, ගුණාත්මක අධ්‍යාපනයකට නායකත්වය සපයන විශිෂ්ටත්වයේ මූලස්ථානය බවට පත් වීම ‘පිළිබඳ දැක්ම’ සහිත ව ක්‍රියා කරයි. සියල්ලන්ට ම ගුණාත්මක අධ්‍යාපනයක් සපයා දීමේ මෙහෙවරට ජාතික අධ්‍යාපන ආයතනය උර දී කැප වී ක්‍රියා කරයි. එම මෙහෙවර බල ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් සහ අදාළ කටයුතු පිළිබඳ ව අමාත්‍යවරයාට උපදෙස් දීමේ සුවිශේෂ වරප්‍රසාදය ද ජාතික අධ්‍යාපන ආයතනය සතුය.
අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් කරගෙන යාම සහ රජයට හා වෙනත් අනුමත සංවිධානවලට අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ සේවා ලබා දීමට ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියා කළ යුතු ව ඇත. ඒ අනුව සමාන අරමුණු ඇති වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණය වීම සිදු වේ.
එයට අතිරේක ව අධ්‍යාපනික කාර්යය සඳහා කාර්මික ඥානය අනුවර්තනය කිරීම ද ඇතුළු ව අධ්‍යාපන පද්ධතියේ නවීකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම හා ප්‍රවර්ධනය සඳහා ද ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියා කරයි. එය අධ්‍යාපන පද්ධතියේ කාර්ය සාධනය, අරමුණ, ව්‍යුහ, විෂය ප්‍රමාණය සහ විධි ක්‍රම පිළිබඳ සහ අධ්‍යාපනයේ සමාජමය, ආර්ථික සහ වෙනත් අංශ පිළිබඳ කටයුතු ප්‍රවර්ධනය කරන්නකි. වි
විධ විශේෂිත වූ අධ්‍යාපන විෂයන්හි ලා පශ්චාත් උපාධි අධ්‍යයන පහසුකම් හා ප්‍රවර්ධනය ඇතුළු ව විවිධ කාර්යයන් රැසක් ඉටු කිරීමට අවශ්‍ය අධ්‍යාපන කළමනාකරුවන්ගේ මෙන් ම ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු අධ්‍යාපනඥයන්ගේ ධාරිතා සංවර්ධනය, පාසල් විෂය මාලා සැලසුම් කිරීම, පර්යේෂණ මෙහෙයවීම පිළිබඳ ප්‍රතිපත්තින් හා සේවා සැපයීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියා කරයි.
විෂය මාලා සංවර්ධනය කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනය මේ වන විට ලෝකයේ අනිකුත් දියුණු රටවල් හා සමානව ම වැඩි දියුණු වන අධ්‍යාපන රටාවට ගැළපෙන පරිදි ස්වාධීන ව තමාට ම අධ්‍යයන කටයුතු කර ගෙන යාමට පහසුකම් සලසන පන්ති රහිත, ගුරුවරයකු නොමැති ව වුවද දෙනු ලබන උපදෙස් අනුගමනය කරමින් ඉගෙනීමේ කටයුතු පියවරෙන් පියවර කරගෙන යාම සඳහා අවශ්‍ය LMS ක්‍රමය භාවිත කරමින්(Learning Management System) අන්තර්ජාලය ඔස්සේ පාඩම් විසිරුවා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ දරු දැරියන් අතර පරිගණක භාවිතය ජනප්‍රිය කරවීම සඳහා අවශ්‍ය සිංහල පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ කටයුතු නව ලෝක තාක්ෂණයට ගැළපෙන පරිදි ලබා දීම පිණිස අදාළ පියවර ද, විෂයමාලා සංවර්ධනය හා මව් භාෂාවෙන්, තොරතුරු තාක්ෂණික විෂය දැනුම ලබා දීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීය. එහි ප්‍රතිඵලයක් ලෙස 1994 දී පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබඳ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක් ව ක්‍රියාත්මක කළේය.
මෙමඟින් සම්පත් මධ්‍යස්ථාන සියයක් දක්වා වැඩිදියුණු කළ අතර ලංකාවේ දූ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව දියුණු වීමට මේවා අතිශයින් ම බලපෑ බව සඳහන් කිරීමට පුළුවන. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසාන කළ සිසුන් ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන්ගේ කාලය ප්‍රයෝජනවත් පරිදි යොමු කර වීමට මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඉවහල් වූ බව ජාතික අධ්‍යාපන ආයතනය සිහි කරන්නේ සාඩම්බරයෙනි. මේ වන විට විෂයානුබද්ධ ව මාධ්‍ය තුනෙන් ම එනම්, සිංහල දෙමළ හා ඉංග්‍රීසි වලින් අධ්‍යාපන මෘදුකාංග සාදා පාසල් පද්ධතියට (Educational Software) නිකුත් කර ඇත.
ගුරුවරයාගේ කාර්යභාරය සංවර්ධනයත්, විෂයමාලා නවීකරණය හා සතුටුදායක වර්ධනයත් සඳහා නව උපක්‍රම මෙම ගුරු අධ්‍යාපන ඒකකය මඟින් හඳුන්වා දී ඇත. එසේ ම මූලික වශයෙන් පාඨමාලා හයක් මෙම ඒකකය යටතේ ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාතික අධ්‍යාපන ආයතනය ලැබු කීර්තිමත් ප්‍රගතිය හා පුළුල් අනන්‍යතාවයත්, පිළිගැනීමත් අද වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් ද ඇගැයීමට ලක් කරමින් ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරනු ලබන අධ්‍යාපන ශාස්ත්‍රවේදී (B.Ed.) අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධිය (M.Ed.) ඇතුළු උපාධි පාඨමාලා සඳහා නිකුත් කරනු ලබන සහතිකය අනෙකුත් විශ්ව විද්‍යාල මඟින් ප්‍රදානය කරනු ලබන උපාධි සහතිකය හා සමාන ව පිළිගැනීමට තීරණය කර ඇත. එමෙන්ම ජනතාවගේ වටිනාකම් සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන්, දේශන, සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ජාතික අධ්‍යාපන ආයතනය මඟින් වැඩි දියුණු කර ඇත.
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපක්‍රම භාවිතයෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමට මේ වන විට පාසල් මට්ටමින් අධ්‍යයන පහසුකම් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ලබා දී ඇත. එය ඉගැනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය පාසල්වල ශක්තිමත් කිරීමට ඉවහල් වේ.
අධ්‍යාපන ප්‍රශ්න පිළිබඳ විමර්ශන කෙරෙන වැඩසටහන් ද රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය ආශ්‍රිත ව සංවිධානය කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනය කාර්මික සහ තාක්ෂණික උපාංග වලින් ද නවීන හා දෘශ්‍ය පටිගත කිරීමේ පහසුකම්වලින් ද මැදිරි වලින් ද, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පුස්තකාල සහ සංස්කරණ පහසුකම්වලින් ද සමන්විත වේ. එය ශ්‍රී ලංකා රූපවාහිනි හා ගුවන්විදුලි ආයතනය සතු සම්පත්වලට නොදෙවෙනි වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය සහ‍යෝගීතාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධන වැඩපිළිවෙළක් මෑත දී ක්‍රියාත්මක කළේ ය.
මෙම ආයතනයෙන් ක්‍රියාත්මක වන පාඨමාලා පිළිබඳ විස්තර 0117601601 හෝ 0717601890 මඟින් දැනගත හැකිය.
එමඟින් ප්‍රාථමික අධ්‍යාපනය මෙන් ම ප්‍රාථමික අධ්‍යාපනයේ නියුතු ගුරුවරුන්ට තම වෘත්තිය තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු සැලසුම් කෙරිණ.
මේ සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් රජයෙන් වෙන් කෙරුණු අතර, මෙම වැඩසටහනට සමගාමී ව ප්‍රාථමික අධ්‍යාපනයේ ධාරිතා සංවර්ධනය සඳහා DVD 500 සකස් කර ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යුත් ප්‍රචාරණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිංහල හා දෙමළ මාධ්‍ය වලින් කලාපීය වශයෙන් බෙදා හැරීමට ක්‍රියා කරයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ පුස්තකාලය අධ්‍යාපනඥයන්ට හා වෘත්තිකයන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. දක්ෂ මානව සම්පත් දායකයන් ලෙස ක්‍රියා කිරීමට හා ජාතික අධ්‍යාපන ආයතනය ලේඛකයන්ට සිය පොත් ප්‍රකාශනය සඳහා ද පහසුකම් සලසන අතර 1988 දී ප්‍රථම වරට ප්‍රකාශන කටයුතු ක්‍රියාත්මක කළේය. මෙරට අධ්‍යාපනයේ ඓතිහාසික තොරතුරු අඩංගු කෞතුකාගාරය ද අධ්‍යාපන ආයතනයේ ප්‍රෞඪත්වය ප්‍රකාශ කරයි.
එසේ ම නේවාසිකාගාර පහසුකම්, ප්‍රේක්ෂකාගාර, දේශන ශාලා, ආපන ශාලා, බැංකුව, තැපැල් කාර්යාලය, පොත් සාප්පුව, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය, විද්‍යාගාර හා මුද්‍රණාලය ආයතනය සතු සම්පත් වේ. මෙයට අමතර ව සපයා ඇති වෛද්‍ය පහසුකම්, ගමනාගමන පහසුකම්, ආරක්ෂක හා පිරිසිදු කිරීමේ සේවාවන් ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්ම පිළිබිඹු කරන බව පැහැදිලි ය. මේ සියලු පහසුකම් අධ්‍යාපනයට කැපවී ක්‍රියා කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට පිටිවහල් වේ. සංවර්ධනය හා නායකත්වය බල ගැන්වීමට හා ගෝලීය අභියෝගයන් අබිබවා යෑමට උපකාරී වී ඇත.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි