Sunday, January 26, 2014

සිය වසර සපුරන මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය

සිය වසර සපුරන මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය

1913 මිෂනාරි පාසලක් වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකුගෙන් ආරම්භ කළ මේ විදුහලේ මුල්ම ප්‍රධාන ගුරුතුමා වූයේ හෙන්ද්‍රික් ද සිල්වා සමරසිංහ මහතාය. ඉන් වසරක් ගත වන විට 1914 දී බැරගම විහා‍රයේ නායක හාමුදුරුවන් වහන්සේ නමක් විසින් මෙය බෞද්ධ පාසලක් බවට පත් කර ශ්‍රී දේවානන්ද විද්‍යාලය නමින් පවත්වාගෙන යන ලදී. ඉනික්බිති 1918 වන විට මෙම පාසල වැසී ගොස් නැවතත් 1920 දී රජයට පවරා ගෙන මාකඳුර රජයේ විද්‍යාලය නමින් පවත්වාගෙන ගොස් තිබේ. 1920 වසරේ අවසන් භාගය වන විට මෙහි විදුහල්පති වූයේ බලකාවල හාමු මහතාය යන බව විද්‍යාලීය ඓතිහාසික ලේඛන පිරික්සීමේ දී තොරතුරු හමුවිය.
ඉන් වසර 10ක් ඇවෑමෙන් බෞද්ධ පාසලක් වශයෙන් මෙහි විදුහල්පති පදවිය දැරුවේ අදටත් මාකඳුර අවට ගම්වාසී වැඩිහිටි පරම්පරාව තුළ ආදරයෙන් සිහිපත් කරන, සුදු පැහැති ටුවිඩ් රෙද්දත්, සුදු පාට කබායත් හැඳ පැලඳ ගෙන හිස පිටුපස කුඩා කොණ්ඩයක් බැඳ වේවැල නිතර අතැතිව පාසල් බිමේ සියලුම ස්ථානවල සැරිසරමින් ආදර්ශයෙන් දරුවන්ට හික්මීම, විනය කියා දුන් ගුරුදේව ජී.ඩී.එල්.සිරිවර්ධන මහතාය. අදටත් මට ද එම ගුරු පියාණන්ගේ රූපය මැවී පෙනේ. තවද එතුමාගේ සෙවණැල්ලක් මෙන් සිටි එන්.එච්.ඇල්ජින් සිරිවර්ධන ගුරුමාතාව (ලොකු ස්කෝලේ හාමිනේ) දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව විනය සකස් කිරීම කෙරෙහි මහත් වූ වෙහෙසක් දැරූ බව නූතන වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනෙක් සාක්ෂි දරති.
1957 වසරේ ශ්‍රී ලංකාවේ අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා මාකඳුර මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ දී විදුහලේ අඩක් සාදා තිබූ ගොඩනැඟිල්ල සම්පූර්ණ කරන ලෙස ආයාචනා කරමින් මවිසින් එදා ගායනා කරන ලද විරිඳු පන්තියේ පහත පද දෙක පමණක් අදටත් මගේ මතකයේ රැඳී පවතී.
“ලෝවා මහපාය වගෙයි වැසියන් සැදු ගොඩනැඟිල්ල
සෑහෙන මුදලක් දෙනතුරු මර හඬ දෙයි කණු සියල්ල
එදා අගමැති කොතලාවල මැතිතුමාගේ නි‍යෝගයෙන් පසුව එම පාසල් ගොඩනැඟිල්ල සාදා නිම කරන ලද අතර, එය අදටත් සිසු දරුවන්ට සෙවණ ලබාදෙයි. විද්‍යාලයට එවකට අඩුපාඩුවක්ව පැවැති උසස් පෙළ පන්ති 60 දශකයේ මුල්වකවානුව තුළ ආරම්භ වී අනතුරුව සිසු දරුවන් සමාජ මෙහෙවරට දායාද කරන්නට සමත් වූ බව ප්‍රණාම පූර්වකව මෙහි සටහන් කරමි. ඒ අනුව පළමුවන සරසවි වරම් ලැබූවන් වූයේ විමලා විදාන පතිරණ, කුසුමා විදාන පතිරණ, තිලකා විදානගම, සෝමසීලි ජයසේකර සහ අබේගුණවර්ධන යන සොයුරු සොයුරියන්ය.
1976 වසරේ දී මෙම විදුහලේ ප්‍රාථමික අංශය වෙනත් ස්ථානයකට ගෙන යනු ලැබිණ. 1998 වසරේ දී එවකට අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා විසින් මධ්‍ය මහා විද්‍යාලයක් බවට පරිවර්තනය කරන ලදී.
සියවස් සමරන මාකඳුර මැදි මහ විදුහල් මෑණියන්ගෙන් බිහි වූ දරුවන් අතරට වත්මන් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති සහ හිටපු පළාත් සභා ඇමැති දිවංගත ඩැනී හිත්තැටියගේ මහත්වරු ද දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ භූ‍ගෝලවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩබ්.එන්.විල්සන් මහතා ද තවත් බොහෝ විදුහල්පතිවරු, ගුරු මෑණිවරු / පියවරු ආදී නොයෙක් ක්ෂේත්‍රවල ගෞරවනීයව ජීවත් වන සියලුම ආදි සිසු සිසුවියන් ද සිහිපත් කළ හැක. රජයේ සේවයේ විධායක තනතුරුවලට පාසල් මවගෙන් බිහිවූ දරුවන් අතරට දැනට විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි ජිනදාස විදාන පතිරණ, ඩැනී ආරච්චිගේ, ජයසිරි හල්පගේ (ආහාර කොමසාරිස්), සැමී අබේවික්‍රම (කෘෂිකර්ම අධ්‍යක්ෂ), අරියෙල් ජයසේකර (සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ හිටපු කථිකාචාර්ය), ධීවර අමාත්‍යාංශයේ දැනට ව්‍යාපෘති කළමනාකරු වශයෙන් සේවය කරන ධර්මසිරි ප්‍රතාපසිංහ යන මහත්වරුන් මගේ මතකයට නැඟේ.
එවකට පාසලේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළ අපවත්වී වදාළ අම්බලන්ගොඩ ශෛලථලාරාමවාසී රතනානන්ද හාමුදුරුවන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමි. මෙය සිය වසක් සපුරන මගේ පාසල් මෑණියන්ට මෙන්ම අද එම මවු කුස අකුරු හදාරන හෙට දවසේ සමාජයට අවතීර්ණ වීමට සිටින දරුවන්ට ආදර්ශයක් නොවන්නේද? හොඳම උදාහරණය දැනට එම ආදි සිසුන් විසින් ඇති කරගෙන තිබෙන ‘මිතුරු හවුල’ සමාජීය මෙහෙවරයි.
1986 වසරේ දී මෙම විදුහලේ “මහපොළ” පැවැත්වූ අතර අදටත් දරුවන්ට ක්‍රීඩා කිරීමට හැකි ක්‍රීඩා පිටිය ඉන් ලද පරිත්‍යාගයකි. දරුවන්ගේ කුසලතා අතර ජිම්නාස්ටික්, ශිෂ්‍ය භට සහ සංගීත අංශවලින් සමස්ත ලංකා, කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් බොහෝ ජයග්‍රහණ ලබා ඇත.
අද දක්වා දියුණු වෙමින් ගමට මෙන්ම රටටත් වැඩදායක දරු පරපුරක් බිහි කිරීමට පුරෝගාමී වූ කැපවීමෙන් සේවය කළ විදුහල්පතිවරුන් වන හෙන්ද්‍රික් ද සිල්වා සමරසිංහ, බලකාවල හාමු, ජී.ඩී.එල්.සිරිවර්ධන, සමරනායක, වාහලතන්ත්‍රී, ඈපා, චාල්ස්, උපසේන හිත්තැටියගේ, සෙනරත් අබේවර්ධන, ගුණදාස ජයවර්ධන යන මහත්වරුන් සියවස් සමරන මෙම අවස්ථාවේ දී අදරින් සිහිපත් කරමි.
දැනට අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මහින්දෝදය විද්‍යාගාරයක් ඉදිවෙමින් පවතින අතර, එය 2014 ජනවාරි 28 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත්කිරීමට නියමිතව ඇත.
2014 ජනවාරි 28 දින සිට පෙබරවාරි 01 දින දක්වා අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, හමුදා සංදර්ශන සහිත ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් පැවැත්වීමට නියමිතය.
දැනට විදුහල්පති තනතුර දරමින් ඉතා වටිනා සේවයක් මහත් කැපවීමෙන් හා වෙහෙසීමේ සියවස් සමරු උලෙළේ දී නියමුවා වශයෙන් කටයුතු කරන ජී.විජේනායක මහතා ද, ආදි ශිෂ්‍ය සංගමයේ සියලුම දෙනා ද, විදුහලේ ආදර ගුරු පියවරු සහ මවුවරුන් ද දූ දරුවන් ද අදරින් සිහි කරමි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි