Sunday, July 14, 2013

" සිරි පැරකුම් "චිත්‍රපටයේ ගීත එකතුව

" සිරි පැරකුම් "චිත්‍රපටයේ ගීත එකතුව












  • සොබා දහමේ අසිරිය සමඟ ළමා වියේ චමත්කාරය, දරුවන් තිදෙනා කුඩා ළමාවියේ සිට මැද ළමාවියට මාරු වීම මෙම ගීතය තුළ සිදුවේ.

ඈත මෑත සුවඳ දී

ඈත මෑත සුවඳ දී සැලී
නේක නේක හැඩ රුවින් මැවී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී
උදෑසනක උදාගිරක අරුණ කිරණ අපී
කඩා හැලෙන දිය දහරක පිපෙන බුබුළ අපී
සදා හරිත තුරු ගොමුවක සලිත ළපලු අපී
යාළු යාළු පොඩි ළමයි අපී
සඳ නැති රැය තිමිර බඳින තරු පිරිවර අපී
දේදුන්නට පාට හදන සමනල තටු අපී
ඇළට දොළට දිය පුරවන පිනි හිරිකඩ අපී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී
සමූහ ගායනයකි.
*******************************************************************

  • මැද ළමා වියේ දරුවන් තිදෙනා යොවුන් වියට පත් වීම. ගැහැනු ළමයි දෙදෙනාගේ මල්වර මංගල්‍යය ඇතුළත් ය.

වසන්ත ගීතය

වසන්තයේ
වසන්තයේ සුගන්ධ මධු වසන්තේ
කුසුම් පිපෙන වසන්තේ
බිඟුන් බමන වසන්තේ
හැඟුම් මවන රැඟුම් රඟන
සුගන්ධ මධු වසන්තේ
උදා ගිරේ ප්‍රභා කැළුම් නැඟි
ගලා හැලේ තුෂාරයෙන් පෙරී
කැලෑ මලක් සුගන්ධ දී සැලී
සිනා හලයි ප්‍රබෝධයෙන් පිපී
සරා සඳක් සොළොස් කලා පිරී
වලා කුළෙන් අහස් ග‍ඟෙන් එබී
විදා නැවුම් යොවුන් ලවන් පෙතී
සිනා හලයි ප්‍රබෝධයෙන් පිපී
ගායනය - විශාරද හර්ෂණ දිසානායක
*******************************************************************

  • වනාන්තරයේ මීහරක් දක්කාගෙන එන කුමාරයා 18 බානක් බැඳ කුඹුර හායි.

වප් මඟුල් ගීතය

කැලේ හැදෙන
කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොළේ ගලන සීතල දිය බීපල්ලා
වෙලේ හීය අහවර කර කාපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
නැම්බඹරේ මහ කුඹුරේ දිය බැන්දා
බින් හීයට දහඅට බානක් බැන්දා
රන් පොළොවේ ලී නඟුලෙන් ඉරි ඇන්දා
අම්බරුවනේ රට රැකුණේ තොපි හින්දා
ගායනය - සමන් ලෙනින්
*******************************************************************

  • මාලිගාවේ සිට ගමට යන කුමාරයා ස්වභාව සෞන්දර්යයෙන් කුල්මත් වීම නිසා ඇතිවන මනෝ භාව සංකේතවත් කරයි.

පිපි කුසුම වඳුලු සිඹිමින්

පිපි කුසුම වඳුලු සිඹිමින්
තුරු සිරස ළපලු අතරින්
එන ළහිරු කිරණ මෙතරම්
සොඳුරු නැත රජ මැදුරු වල නම්
නද සමඟ අනෙක සියොතුන්
දිය පහස සිසිල විඳිමින්
මද පවන හමන දසතින්
සොඳුරු නැත රජ මැදුරු වල නම්
රජ මැදුර සිපිරි ගෙයකි
ගම සොඳුරු තිදස පුරකි
මෙම සුවය නොවිඳි පෙරදී
ලැබුම මගෙ සසර පෙර පිනකි

ගායනය - සුවි මාලියද්ද


*******************************************************************

  • 3 වැනි විජයබාහු රජතුමා සොළී හමුදාවට එරෙහිව කෙරෙන සංග්‍රාමය සංකේතවත් කිරීමකි.

යුද ගීතය

යමව් පෙරටම
යමව් පෙරටම - ගනිව් කඩු දුනු
නසව් පර සතුරන්
අසව් රණ ගොස - නගව් ජය ධජ
තබව් සිව්රඟ සෙන්
නොයව් පසුබැස - රකිව් දෙස බස
අපෙයි හෙළයම තුන්
හඹව් සිව්රඟ සෙන් - නසව් පරසතුරන්
අපෙයි හෙළයම තුන්
සිරි දළදා සමිඳු අපේ
සිරිමා බෝ සෙවණ අපේ
සිරි සමනොළ සිරිස අපේ
සිරිලක සිව් කොනම අපේ
ඇළ දොළ වැව් පොකුණු අපේ
ගොඩ මඩ තුරු වදුලු අපේ
වට සැදි මුතු සයුර අපේ
සිරිලක සිව් කොනම අපේ
ගායනය - රුවනාර දිසානායක ඇතුළු පිරිස

සියලුම ගී පද රචනා - ආචාර්ය සෝමරත්න දිසානායක
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි