Wednesday, March 27, 2013

ඉස්සර මං ගිය පාසල ඇරිලා



බුදුන් දවස ගහට කොලට මහත් ගෞරවයක් දැකි වූ යුගයකි. සිදුහත් කුමරුගේ උපත සිදු වූයේත්, බුදුන් වහන්සේ සම්බුද්ධත්වට පත් වූයේත්, උන්වහන්සේ පිරිනිවනට වැඩම වූයේත්, හරිත වන උයන් තුළ දීය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව අනිමිස ලෝචන පූජාව පවත්වන්නේ ද උන්වහන්සේට පිහිට වූ බෝ රුකටය. එසේ නම් මේ තුරු ලතා වෘක්ෂ මිහිතලයටම ආරක්ෂාව සපයන ඒවාම වේ. බුදුන් වහන්සේ   එ දවස දම් දෙසීම සඳහා වනාන්තර, වන ලැහැබ්, පිහිට කොට ගත් බවත්, ගංගා,  මහී, අචිරවතී, නර්මදා ආදී නදී තීරයන්හි සංචාරය කරමින් සමවත් සුවෙන් විසූ බව බොහෝ සූත්‍ර  දේශනාවන්හි සඳහන් වේ. එ දවස එසේ වී නම් අද දවසේ අප සහ පරිසරය අතර කොතරම් දුරස් වීමක් සිදුවී ඇත්දැයි අප විසින් ම නුවනින් විමසා බලා දැන ගත යුතුය.

රත්න ශ්‍රී විජේසිංහ කවියාද සොබා දහමට ගහට කොළට මහත් සේ ආදරය කළ කවියෙකි. ඔහුගේ බොහෝ කවි සහ ගීත රචනාවන් නිම වෙන්නේද පරිසරය සහ සොබාදහම ඇසුරින්ම ය.  රත්න ශ්‍රී ගේ “සුබ උදෑසන” පද්‍ය සංග්‍රහයේ “සුබ උදෑසන” කාව්‍යයෙන් මිනිසාගේ අකාරුණික කම් හේතුවෙන් පරිසරයේ  සිදුව ඇති  වෙනස  මෙසේ දකී.
“ඇවිලෙයි ගිනි කබල කඳු අතර ආකහේ
දූවිලි සුළඟ ගිනි පිඹ දුවයි වන පෙතේ
උල්පත් සොය සොයා ළැම සිඳුණු ගං තෙරේ
කළයත් රැගෙන මැළවී හිඳින නංගියේ
පිච්ච මල් මැරී ගිය කෲර සාගතේ
කන බොන දේත් උදුරා ගත්ත සාගතේ
පිපාසව හැඬු රැය නිහඬ වී ගියේ
උදෑසනද මේ නුඹෙ මිහිරී ජීවිතේ..”

රත්න ශ්‍රී සුබ උදෑසන පද්‍යයෙන් කියූ ඒ අදහස පසු කාලයේ කුමාරදාස සපුතන්ත්‍රී විසින් ගිතයකට නැගුවේ ය. සපුතන්ත්‍රී ද පරිසරයට මහත් සේ ආදරය කළ ගීත රචකයෙකි. ඔහු‍ ලියූ  සුනිල් එදිරිසිංහ ගැයූ “ඉස්සර මං ගිය පාසල ඇරිලා” එවැනි සොබාදහම ගැන ගැයුණු තවත් අපූරුව වූ ගීයකි.  
ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා

ගහකොල සෙලැවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුනා
ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
තනුව සහ සංගීතය:
ගැයුම: සුනිල් එදිරිසිංහ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි