Monday, January 4, 2016

උසස් පෙළ 2015 අතිවිශිෂ්ටයෝ

උසස් පෙළ 2015 විභාගයේ ඊයේ (3) නිකුත් කැරුණු ප්‍රතිඵල අනුව භෞතික විද්‍යා විෂය ධාරාව (ගණිත) යටතේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජේ.ඒ. දසුන් ඕෂධ ජයසිංහ, ජීව විද්‍යා විෂය ධාරාව යටතේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කේ.පී.ජී. තෙපුලි උමේෂා කරුණාවල්ලභ, වාණිජ විද්‍යා විෂය ධාරාව යටතේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ එෆ්.එම්. අකිල් මොහොමඩ්, කලා විෂය ධාරාව යටතේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඒ. ජීවා නයනමාලි, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ එස්.එම්.ඒ.ඩබ්ලිව්. ශානක අනුරාධ සමරකෝන්, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ එම්.ඒ. වාසනා නවෝදනී මාරසිංහ, පොදු/වෙනත් විෂය ධාරාව යටතේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ වී.එම්.බුද්ධික චතුරංග කරුණාරත්න සිසු සිසුවියෝ ප්‍රථම ස්ථාන ලබා ගත්හ.
භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ (ගණිත) දෙවැනි ස්ථානය කුරුණගෑල මලියදේව පිරිමි විද්‍යාලයේ නදීෂාන් ධනංජය කුමාර දිසානායක සහ තෙවැනි ස්ථානය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සචිත් නිල්මන්ත කස්තුරිආරච්චි සිසුහු දිනා ගත්හ.
ජීව විද්‍යා විෂය ධාරාව යටතේ දෙවැනි ස්ථානය පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ ජේ.එම්. මොහොමඩ් මුන්සිෆ් සහ තෙවැනි ස්ථානය කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ යසස්වි වත්සලා සිරිවර්ධන සිසුහු දිනා ගත්හ.
කලා විෂය ධාරාව යටතේ පළමුවැනි ස්ථානය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ නිරාෂා නදීෂානි කුලරත්න සහ තෙවැනි ස්ථානය කොළඹ 7 සී.එම්.එස්. කාන්තා විද්‍යාලයේ ෆාතිමා අමීරා ස්මයිල් සිසුවියෝ දිනා ගත්හ.
වානිජ අංශයේ දෙවැනි ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳනි ඉරංගා දික්පිටිය විතානගේ සහ තෙවැනි ස්ථානය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ රන්දි රමේෂ් සිල්වා සිසු සිසුවියෝ දිනාගත්හ.
ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාවේ දෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාර බුද්ධික පද්මසිරි සහ තෙවැනි ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ බාලසුබ්‍රමනියම් ඥානකීදන් සිසුහු හිමිකර ගත්හ. ජීව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාවේ දෙවැනි ස්ථානය යාපනය ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ කරුනෙයි නායගම් රිවිහරන් සහ තෙවැනි ස්ථානය කෑගල්ල ස්වර්ණජයන්ති මහා විද්‍යාලයේ උපුලි අනුත්තරා කළුආරච්චි සිසු සිසුවියෝ දිනා ගත්හ.
පොදු සහ වෙනත් විෂය ධාරාවන්හි දෙවැනි ස්ථානය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දිලින නිසල්‍ය වික්‍රමසිංහ දෙහිගම සහ තෙවැනි ස්ථානය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ චමත් සඳරු රණසිංහ සිසුහු හිමිකර ගත්හ.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන ඊයේ දිනයේ ම විභාග දෙපාර්තමේන්තුවේ විභාග සහ ප්‍රතිඵල ශාඛාවෙන් විදුහල්පතිවරුන් වෙත නිකුත් කැරුණු බවත්, පිට පළාත්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් වෙතත්, පෞද්ගලික අයැයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් තැපැල් කර යැවීමට පියවර ගත් බවත්, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මස පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම්කරුවෝ දෙලක්ෂ පනස්පන්දහස් එකසිය අනූ එක්දෙනෙක් පෙනී සිටියහ.
උසස්‌ පෙළට අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව ද සමඟ විෂය පථ හයක්‌ යටතේ මෙවර ප්‍රතිඵල නිකුත් නිකුත් කිරීම විශේෂත්වයකි. මෙවර ප්‍රතිඵල සමඟ අදාළ විෂය ධාරාවද සඳහන් කර තිබේ. අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ සිසුහු 14,000 ක්‌ විභාගයට පෙනී සිටියහ.
ප්‍රතිඵල සම්බන්ධ විමසීම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක1911, 011 2 784 208, 011 2 784 537, 011 314 0 314, 011 3 188 350 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා වන අයදුම්පත් පෙබරවාරි 5 වැන දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිතාරා සේනානි

http://dinamina.lk




0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි