Monday, January 11, 2016

2016 ට සංකල්ප පහක්


2016 වසර උදාවෙලා මේ වනවිට දවස් එකොළහයි ගතවෙලා තිබෙන්නේ. ඒත් ඔබ තවමත් මේ වසර සාර්ථක අන්දමින් ගත කරන්නේ කොහොමද කියලා හිතලාවත් නැති වෙන්න පුළුවන්. ඒත් ඔබ තවමත් ප්‍රමාද නෑ.
අපි හැමෝගෙම බලාපොරොත්තුව මේ වසර සුබ කරගන්න එක. ඒකට සමහර අය දෙවියන්ගෙ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තවත් අය වාසනාව මතුවෙනකම් බලාගෙන ඉන්නවා. තවත් අය නොපෙනෙන බලවේග පිළිබඳ දැඩිව විශ්වාස කරනවා. ඒ විදියට තමයි නව වසර සුබ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් නරක ද ඒ සිතිවිල්ල පිළිබඳ වෙනස් විදිහක‍ට හිතලා බැලුවොත්. අපේ රටේ බහුතරය හේතුඵලවාදය විශ්වාස කරන මිනිස්සු. ඒ නිසාම නව වසර සුබ කරගන්න සංකල්ප පහක් පිළිබඳ කියලා දෙන්න අපි හිතුවා.
* තමා පිළිබඳ සමාලෝචනය
යම් කෙනකුට 2016 වසරේදී තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය නම්, ප්‍රථමයෙන්ම කරන්න ඕන තමන් ඉන්න තැන මොකක්ද කියලා හඳුනාගන්න එකයි. නැත්නම් තමන්ගෙ තත්ත්වය මොකක්ද කියලා හඳුනා ගැනීමයි. ඒ කියන්නේ, මගේ ආදායම, මගේ දැනුම, මගේ කුසලතා, මගේ සම්බන්ධතා, වත්කම් ආදිය පිළිබඳ පූර්ව අවබෝධයකට පැමිණීමයි. තමන්ගෙ තියෙන දුබලතා සහ තමන්ට තිබෙන බාධක මොනවාද කියලා හඳුනා ගැනීමත් ඒ වගේම වැදගත්. මට මාසෙට මොන තරම් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්ද? මට මොන තරම් ණය ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම මගේ ආදායම කොපමණද? කියලා සමාලෝචනයක් කර ගැනීම මෙහිදී අතිශයින් ම වැදගත්.
* අරමුණ හඳුනා ගැනීම
තමන් යන්න උත්සාහ කරන තැන, ඒ කියන්නෙ තමන්ගෙ අරමුණ මොකක්ද කියලා හඳුනා ගැනීමත් අතිශයින් ම වැදගත්. ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන හැම කෙනකුටම දැවැන්ත සිහින තිබිය යුතුයි‍. ඒ වගේම ඒක සාර්ථක කරගන්නා අතරතුර ඒ පිළිබඳ කුඩා සිහින සිතෙහි තබා ගැනීමත් වැදගත් . ඒක සරලව මේ විදියට කියන්න පුළුවන්. අපි හිතමු කිසියම් පාඨමාලාවක් හදාරන්න කෙනකුට අදහසක් තියෙනවා කියලා. දවසෙ වැඩ කටයුතු කරන අතරතුරේ තමන් හිතන්න ඕන ඒ වෙනුවෙන් අද දවසෙ තමන්ට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් දවසේ කරන්න පුළුවන් පොඩි දේ හරි කරනවා නම්, අවසානයේදී ඔබ නොසිතන විදියට සාර්ථකව ‍ඒ පියවර සම්පූර්ණ වෙනවා .
* අරමුණු ඉෂ්ට කර ගැනීම
තමන්ගේ වටිනාකම් මොනවාද කියලා හඳුනා ගන්න එකත් අතිශයින් ම වැදගත්. මම මොනවද කරන්නේ? මට මොනවද නැත්තේ? කියලා හඳුනා ගැනීම මෙහිදී අවශ්‍යයි. මම කරන්නේ මොනවද? යන්නෙන් අදහස් ක‍ළේ , අපි හැමෝටම තිබෙන අරමුණු ඉෂ්ට කරගන්නෙ කොහොමද කියන එකයි. තමන්ට දියුණු වෙන්න ඕන නම් වර්තමානයේ දියුණු වෙන්න ඕන තරම් මාර්ග තියෙනවා. සමහරු කුඩු විකුණලා දියුණු වෙනවා. හොරකම් කරලා දියුණු වෙනවා. එවැනි අසම්මත දේවලින් මුදල් ඉපැයීම නොකළයුතු බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ .
* සැලැස්මක් සකසා ගැනීම
අපි ඉහත සඳහන් කළ කාරණා තුන එකතු කරලා සැලැස්මක් හදාගැනීමත් වැදගත්. එහිදී මුල්ම අධිෂ්ඨානය වෙන්න ඕනෙ, තමන් ආරම්භ කළ මේ ක්‍රියාවලිය, අවසන් වන තුරුම ඉතාම සාර්ථකව නිමා කරනවා කියන එකයි. ඒ ගැන අපි මෙහෙම කියමු. යම් කෙනකුට ඕන නම් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුරුදු වෙන්න, ඒ වෙනුවෙන් තමන්ට දවසෙ කරන්න පුළුවන් පොඩි දෙයක් හෝ කිරීම වැදගත්. තමන්ගෙ අරමුණට යන්න ඒ වෙනුවෙන් දවස තුළ ඉටු කරන දේ මෙහිදී බෙහෙවින් ම බලපානවා. තමන්ගෙ අරමුණට යන්න ඒ සැලැස්ම ඉතාමත්ම වැදගත්.
* අරමුණ පිළිබඳ චිත්තරූප මැවීම
මේ සැලැස්ම ඉතා සාර්ථකව හදලා, හොඳ උද්‍යෝගයකින් ඒක ආරම්භ කිරීමත් වැදගත්. තමන්ගෙ අරමුණ හීනයක් වගේ දකින්න ඕනෑ. ඒ පිළිබඳ චිත්ත රූප මවන්න ඕනෑ. මේ කියන උ‍ද්‍යෝගයයි, ඒ පිළිබඳ දකින සිහිනයි අප ඒ අරමුණට පහසුවෙන් අරගෙන යනවා.


උපදෙස්
චන්දන ගුණවර්ධන
මානව සම්පත් සංවර්ධන සහ මනෝ විද්‍යා පුහුණු උපදේශක
සටහන
උමේෂා සිරිවර්ධන

http://www.dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි