Sunday, September 29, 2013

ආදරණීය අම්මා වෙත ලියමි.

ආදරණීය අම්මා වෙත ලියමි.




















අම්මේ මේ ලිපිය ලියන්නේ අපේ තාත්තා ගැන විශේෂ යමක් කීමට ය. ඔහු දැන් හුඟාක් දුර්වල ය. කෙට්ටු ය. ඔහු ඉතා ඉක්මනින් ලෙඩ වේ යැයි බියක් මා තුළ පවතී. තාත්තාගේ වයස අවුරුදු පනහකට කිට්ටු බව නැන්දා මට කියා තිබේ. එහෙත් දැන් ඔහු අවුරුදු හැත්තෑවක මහල්ලකු සේ පෙනී යයි. තාත්තා බොහෝ විට ගෙදර පිල් කණ්ඩියේ හෝ මිදුලේ ගල්වැටිය මත ‍හෝ ඇණබාගෙන කල්පනා කරයි. ඇතැම්විට සුරුට්ටු උරමින් බිමට කෙළ ගසයි. ඔහුගේ දෑස් මලානික ය. ඒවා නිතර ම කඳුළෙන් බර ය. තාත්තාගේ මුහුණෙහි හිනාවක් ඇත්තේ ම නැත.

වැඩිහිටි පිරිමියකුගේ හැඟීම් - දැනීම් තේරුම් ගැනීමට තරම් මේරූ හිතක් මට නැත. එහෙත් අම්මා නැති පාළුව තාත්තාට තදින් දැනී ඇති බව පමණක් මට හැ‍ඟේ.
“පුතේ, උඹ දැන් ලොකු ගෑනු ළමයෙක්!
මේ ගෙදර තනියම ඉන්න එක හරි නෑ
උඹ නැන්දගෙ ගෙදර නැවතියන්!”
එසේ කියූ තාත්තා මගේ ඇඳුම් - කැඩුම් හා පොත්පත් ද සමඟ මා නැන්දාගේ ගෙදරට ඇරලුවේ ය. තාත්තා තට්ට තනියම කෑම හදාගන්නේ කසේදැ'යි විමසූ විට; ඔහු කියා සිටියේ මට ඔය කොයිදේත් එකයි පුතේ කියා ය.

අම්මා රට ගිය ගෙවල්වල ගෑනු දරුවන්ගේ ජීවිත ගැන නොයෙක් කතා අසන්නට ල‍ැබේ. ඇතැම් තාත්තලා කොයිතරම් නරුම ද? මගේ තාත්තා එවැන්නකු නොවීම ගැන ආඩම්බර වෙමි. අම්මා එවන කිසිදු මුදලක් ඔහු අතින් නාස්ති වන්නේ නැත. තාත්තා ඒ මුදල් අඩුවක් නැතිව මා අතට දෙයි.
“මේක තාත්තා තියාගන්න!” යැයි කිසියම් මුදලක් ඔහු අත තැබූවද; තාත්තා ඒවා ප්‍රතික්ෂේප කරන්නේ “ඕවා අම්මා දුක්විඳල ගත්තු සල්ලි පුතේ!” කියමින් ය.

අපේ තාත්තා ඉතා ඉක්මනින් ම මා හැර යනු ඇතැ'යි විශාල බියක් දැන් මා තුළ පවතී. එසේ වුවහොත් මා මේ ලෝකය තුළ තනිවනු ඇත. මට අම්මා නැත. තාත්තා ද නැත.
අම්මේ, ඔබ සිටින සෞදි අරාබිය නම් රට ගැන බොහෝ තොරතුරු මා ළඟ තිබේ. පත්තර කෑල්ලක්, පොතක් පුවතක් දුටු සැණෙන් මම ඒවා එකතු කොට සටහන් පොතක තබා ගතිමි. අදටත් එය එ‍ෙස්ම සිදුවේ. රියාද්, ජෙඩා, බුරෙයි දා, දම්මාමි, ටාබුක් යන නගර මට කටපාඩම් ය. ජෙහාර් නමින් කන්දක් ඇති බව ද මට මතක ය. අම්බාස් කන්ද දැක තිබේ ද?
අම්මා සෞදි ගිය මුල් දවස්වල එවු මුදලින් තාත්තා මිලට ගත් රූපවාහිනිය තව ම ඇත. ඔහු දැන් එය බලන්නේ නැත. එය මගේ ප්‍රයෝජනය සඳහා නැන්දාගේ නිවසට ‍ගෙනැ'විත් තිබේ. අම්මා රට ගිය මුල් කාලය තුළ තාත්තා සෑම රාත්‍රියකම නිදිවර්ජිත ව කල්පනා කරමින් සිටියේ ය. වසර තුනකට පසු අම්මාගේ ලියුම් පමාවෙන්නට වූ කල තාත්තා බෙහෙවින් කලබල විය. ඔහු නොයෙක් තැන්වලට ගොස් කන්නලව් කළේ ය. පේන ඇසුවේ ය.


පිටරට යන ගැහැනුන් පිළිබඳ නොයෙක් කතා මා අසා තිබේ. ඇතැම් අය විවාහ ජීවිත ගත කරන බව ද දැන ගන්නට තිබේ. ඉන්දියන්කාරයකු සමඟ ජීවත්වෙන ශ්‍රී ලංකාවේ ගැහැනියක් මිනීමැරුමකට හසුවී මරණීය දණ්ඩනයට නියම වූ බව ද මම අසා ඇත්තෙමි. මගේ අම්මා එවැන්නියක නො වන බව මට හොඳට ම විශ්වාස ය. දැනට වසරකට පමණ පෙර ජෙඩා නගරයේ කන්දාර් නම් ගුවන් පාලම යට ශ්‍රී ලාංකික අනාථයන් පිරිසක් සිටින බවට ‍ෙතාරතුරු පුවත්පත්වල පළ විය. අනාථ පිරිස තුන්දහසකට වැඩි බව කියැවිණි. අම්මා ඒ අතර සිටියේ නම් එය අපට සැනසිල්ලෙකි. අනාථයන් කවදා හෝ සිය රටට එන බැවිනි.
අපේ නැන්දා කියනුයේ මගේ අම්මා යළි කිසි දිනෙක ගෙදර නොඑන බව ය. අම්මා ඉන්දියන්කාරයකු සමඟ විවාහ වී ඇතැ'යි සමහරු කියති. උන්දෑ මැරිලා! නැත්නම් හිරකරලා යැයි තවත් අය කියති. මේ ළඟ දී අපේ නැන්දා දුක හිතෙන කතාවක් කීවා මට මතක ය. මා වසර තුනක පමණ කුඩා දැරිවියක සිටිය දී පාචනය වැලඳී මරණාසන්න වූ බව ඈ මට කියා සිටියා ය. අම්මා මා රැගෙන පයින් ම රෝහල වෙත ගිය බවත් ඒ වන විට තාත්තා අත සත යහුනක් නො තිබූ බවත් මට දැනගන්නට ලැබිණි. අම්මා හඬමින් නොකා නොබී මට කිරි දෙමින් මා සමඟ රෝහලේ රැඳී සිටියේලු! එදා අම්මා මා වෙනුවෙන් කැප නො වන්නට අද මා ජීවතුන් අතර නැතැ'යි නැන්දා කියා සිටී.

අම්මේ මා ලොකු ළමයකු බැවින් මගේ සිතිවිලි මෝරා ඇතැ'යි මට සිතේ. නොයෙක් විකාර හැඟීම්වලින් මගේ සිත පිරී ඇත. ඇතැම් හැඟීම් කුතුහලයෙන් යුතු ය. තවත් හැඟීම් කෙනකුට කීමට බැරි තරම් ලැජ්ජාවෙන් යුතු ය. කොහොමටත් මට මේවා තේරුම් ගැනීම අමාරු ය. එහෙත් ඔබට කීමට බැරි දෙයක් මා ළඟ නැත. ඔබ ළඟට වී ඇනබාගෙන ඔබේ කනෙහි තැබිය යුතු රහස් ගොන්නක් ‍ෙපාදි ගැසී තිබේ.

අපේ පන්තියේ ළමයි දවසකට සිය වතාවකට වඩා ‘අම්මා’ යන වචනය කියති. ඔවුන්ගේ මුළු ලෝකය ම රැඳී ඇත්තේ අම්මා මත ය. සමහරු අම්මා ගැන කතාව යළි - යළි කියමින් රස විඳිති. තවත් අය අම්මාට දොස් කියති. එවිට මට කේන්ති යයි. තවත් සමහරු අම්මා ගැන කියමින් හඬති. එහෙත් කිසිවකුට අම්මාගෙන් තොර ජීවිතයක් නැත.
මා දැන් බෙහෙවින් තනි වී ඇති සෙයක් දැනේ. ලබන අවුරුද්දේ මේ කාලය වන විට විභාගයට වාඩි විය යුතු ය.

මම පාඩම් වැඩ අතපසු නො කර දිගට ම කරගෙන යමි. මට අධිෂ්ඨානයක් තිබේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෛද්‍ය විද්‍යාලයය, යන කඩඉම් පසු කරගෙන යෑමේ ශක්තියක් හා ඥානයක් මට තිබේ. එය විශ්වාසවන්ත ය. ශක්තිමත් ය. නො වෙනස් වන සුලු ය.
පුතේ පාඩම් කරපන් යැයි මට ධෛර්යය දෙන්න ට කෙනකු නැත. මා නිදිවරාගෙන ගණන් හදන විට තනියට ළඟින් සිටින්නට කෙනකු නැත. තේ ටිකක් දෙන්නට කෙනකු නැත. විස්කෝතුවක් දී නැවත ගණන් හදපන් යැයි උපදෙස් දෙන්නට කෙනකු නැත. කාලය, වයස හා ජීවිතය ඔහේ ගෙවී යයි.

ආං... අම්මේ තවත් දෙයක් මට කල්පනා වේ. සමහරුන් කියන ලෙස අම්මා වෙනත් විවාහයක් කරගෙන ඇත් ද? නංගිලා - මල්ලිලා සිටිත් ද? ලැජ්ජා විය යුතු නැත.
බයක් සිතිය යුතු නැත. සැබෑ ජිවිතයට මුහුණ දීම සාර්ථක ම ක්‍රමය යැයි මට සිතේ. අම්මා කුමන වෙනස් වීමකට ලක් ව සිටිය ද ඒ මගේ ම අම්මා ය. මම ඔබ පිළිගැනීම ට සූදානමින් සිටිමි. අම්මේ අපි ජීවිතයට මුහුණ දෙමු.
අපේ තාත්තා ගැන බලවත් ශෝකයක් තිබේ. ඔහු අහිංසක ය. ඔබ වෙනුවෙන් බොහෝ දේ කැප කර ඇති තාත්තා අවසන් කාලය ගෙවමින් සිටිතැ'යි මට හැ‍ඟේ. ඔහු දැන් කිසිවකු සමඟ කතාබහක් නැත.

බොහෝ විට වේල් දෙක - තුන නොකා නොබී ඉන්නා බව මට දැනී ගොස් තිබේ. තාත්තා යළි ප්‍රකෘතියට ගත නො හැකි තරමට ම නාස්ති වී සිටී. තාත්තා හා ඔබ කලකට පෙර පෙම්වතුන් සේ කල් යැවූ බවක් මා අසා තිබේ. ඒ ප්‍රේමය දැන් පෑලදොරින් පලා ගොස් තිබේ. අම්මා රට ගියේ ඇයි? දුප්පත්කම නිසා ද? තෘෂ්ණා ව නිසා ද? නැතහොත් මෝස්තරයකට ද? මේ සියල්ලට වඩා බලවත් ප්‍රශ්නය වන්නේ වසර ගණනාවකින් තොරතුරක් නැතිවීම ය.
කිසිවකට පිළිතුරක් නැත. පිළිතුරක් ලැබෙන හැටියක් ද පෙනෙන්නට නැත.
මා දැන් ලස්සන වී ඇතැ'යි සමහරු කියති. අම්මගෙ කපාපු පළුව, හිනාවත් ඒ වගේ, ගමනත් ඒ වගේ, අනේ මන්දා යැයි නැන්දා කියයි. මම කන්නාඩියෙන් මුහුණ බලාගෙන සිනාසෙමි. අම්මාගේ පින්බර හිනාවේ සලකුණක් එහි ගැබ් ව තිබේ.
අම්මා නැවත පැමිණිය යුතු ය. වැඩි කල් නොගොස් පැමිණිය යුතු ය. ඔබ එන විට මා දොස්තර කෙනකු වී සිටින්නට පුළුවන.

තෙරුවන් සරණයි!
චූටි දුව

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි