Sunday, September 29, 2013

පියකරු ළපැටි මුහුණට නොගැළපෙන තරම් පිරිපුන් සිරුරක්!

වයස අවුරුදු අටයි පපුව ලොකුයි ලැජ්ජයි!

දැරියන්ගේ ළමාවිය හොරු අරන්
අර බලන්නකො ඛේමා පන්තියේ හැම ළමයටම වඩා සඳුනි කැපිලා පේනවානේ. හොඳ උස මහතයි. තුනේ පන්තියේ හිටියට අටේ නවයේ පන්තියේ ළමයෙකුගේ වගේ පපුවත් හොඳටම ආරලා නේද?
“ඒක තමයි. එයා හරියට පන්තියේ හැමෝගෙම ලොකු අක්කා ‍වගෙයි”
මේ බාලිකා පාසලක තුන්වන ශ්‍රේණියේ බාලිකාවන් පිරිසක් අතරින් හොඳට උස මහතට හැදුණු කැපී පෙනුණු දැරියක ගැන ඇගේ පන්තියේ ගුරුවරියන් දෙදෙනකු අතර ඇති වුණු කතා බහක්.
තුනේ පන්තියේ ඉගෙනගන්නා සඳුනිගේ වයස අවුරුදු අටයි. ඒත් ඇගේ පෙනුම හොඳින් වැඩුණු යුවතියකගේ වගෙයි. පියකරු ළපැටි මුහුණට නොගැළපෙන තරම් පිරිපුන් සිරුරක්! පන්තියේ අනෙක් ළමයින් හැමෝටම වඩා ඈ උසයි. මහතයි. හරියට අවුරුදු පහළොවක දාසයක යුවතියකගේ තරම් පෙනුමට පියයුරුත් වැඩිලා. සුදු ගවුමවත් තනියම ඇඳගන්න බැරි තරම් පුංචි කෙල්ලගේ යට ඇඳුම් අතරට මහ ගෑනු අඳින තිසරපටයකුත් එකතු වෙලා
මේ පුංචි දැරියගේ ළමා කාලය හොරු අරන් ගිහින්. වයසට වඩා මෝරපු පෙනුම වගේම බරපතළ සිරුරත් ඇගේ ළමා සිත වෙහෙසට පත් කරවලා. ඇගේ වයසේ යෙහෙළියන් තවමත් අම්මාගේ උකුලේ නැළවෙන, සුරතල් වෙන දැරියන්. සඳුනිට විතරක් නෙවෙයි අද අපේ රටේ පුංච් දරු දැරියන් බොහෝ දෙනෙකුට මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදු වෙලා. අධි බර හෙවත් ළමා වියේ ස්ථුලතාවයයි මෙයට හේතුව.
“ළමයකු වුණාම හොඳ පෙනුමට සිරියාවට බෝලෙ වගේ ඉන්න ඕනෑ” කියලා සතුටු වුණු කාලෙ දැන් ගෙවී ගිහින්. බෝල වගේ වටකුරු පිරුණු ඇඟපත සෞඛ්‍ය සම්පන්න බවේ සංකේතයක් විදිහට දැන් කාලෙ සලකන්නේ නෑ. ළමයි තරමට වඩා මහත්වීම හෙවත් උසට සරිලන ප්‍රමාණයට වඩා බර වැඩි වීම අද කාලෙ රෝගයක් විදිහටයි සලකන්නේ.
ළමා වියේ ස්ථුලතාව ප්‍රශ්නයක් වන්නේ ඇයි?
අනාගතයේ මවුවරුන් බවට පත්වන්නට සූදානම් වන දැරියන් ස්ථුලතාවට ‍ෙගාදුරු වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක්.
ළමා වියේ ස්ථුලතාව පුද්ගලයකුගේ අනාගත දිවියේ නිරෝගී භාවයට විශාල ලෙසින් අහිතකර බලපෑම් එල්ල කරනවා. ළමා වියේ ස්ථුලතාව ශරීරයේ සමස්ත පටක පද්ධතියට මෙන්ම ඉන්ද්‍රිය පද්ධතින්ටත් හානි සිදු කරනවා. දියවැඩියාව, කොලොස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය වකුගඩු රෝග අස්ථි වර්ධනය අඩාල වීම, ඔස්ටියෝපො‍රෝසිස් ආතරයිටිස් වගේම ඇතැම් පිළිකා සඳහාත් ස්ථුලතාවය හේතු වන බව ඔබ දන්නවාද?
ස්ථුලතාවයෙන් වැළකීම කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ දරුවකු උපන් දා පටන්මයි. සාමාන්‍ය බරක් සහිතව උපදින දරුවන් මෙන්ම අඩු බර සහිතව උපන් දරුවන්ට පවා මුල් හය මාසය තුළ මවුකිරි පමණක්ම ලබා දීමෙන් ඔවුන් ස්ථුලතාවයට ගොදුරු වීමේ අවදානම අඩුවන බව දැන් සොයාගෙන තිබෙනවා.
අඩු බරැති දරුවකුට පවා මුල් මාස හය තුළ මවුකිරි පමණක්ම ලබා දීමෙනුත් හය මාසයෙන් පසුව‍ පෝෂණ උපදෙස් අනුව අමතර ආහාර සමඟ අවම වශයෙන් වසර දෙකක් සම්පූර්ණ වන තුරු මවුකිරි ලබාදීමෙනුත් දරුවාට ප්‍රමාණවත් තරම් පෝෂණයක් ලැබෙනවා.
ඉපදී පළමු මාස හයේ සිට මාස දහඅට දක්වා මවුකිරි සමඟ සමබර අමතර ආහාර ලබා දීම වැදගත්. දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහනේ උපත් බරට සාපේක්ෂව එම තීරුවේම බර වැඩිවීම ප්‍රමාණවත් බව අලුත්ම වෛද්‍ය මතයයි.
උපතේ සිට පළමු වසර පහ තුළ දරුවකු මහත් වෙන්නේ ශරීරයේ මේද සෛල ප්‍රමාණය වැඩි වීමෙන්. එසේ වැඩිවන මේද සෛල තුළ වැඩිපුර මේද තැන්පත් වීමෙන් එම දරුවන් වැඩි වයසට පත්වීමේ දී තව තවත් තරබාරු වෙනවා. කුඩා කාලයේ පිරුණු සිරුරකින් යුතු දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේ දීත් ඔවුන් ගේ මහත අඩු නොවන්නේ එම මේද සෛල තුළ අධික ලෙස මේදය තැන්පත් වන නිසයි.
එහෙයින් ළදරු වියේ පටන්ම දරුවා කන්නේ බොන්නේ නෑ කියමින් දරුවාට අවශ්‍ය ප්‍රමාණයට වඩා බලෙන් ආහාර කැවීම හෝ අමතර පිටිකිරි හෝ ශක්ති ජනක ආහාර පාන ලබා දීම අවශ්‍ය වන්නේ නෑ.
දරුවා ඉපදී වසරක් යනතුරු ආහාරයට ලුණු හෝ සීනි එකතු නොකළ යුතුයි. එමඟින් දරුවා අනාගතයේ ස්ථුලතාවයට ගොදුරුවීම වළක්වා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් දරුවකුට දිනකට ප්‍රධාන ආහාර වේල් තුනක් සහ සුළු ආහා‍ර වේල් දෙකක් ලබා දීම හොඳටම ප්‍රමාණවත්.
මාස හයෙන් පසුව අමතර ආහාර ලබාදෙන විට කිරි ආහාර වේල් ප්‍රමාණය අඩු කළ යුතුයි.
අමතර ආහාර ලබා දෙන විට පිෂ්ඨය, ප්‍රෝටීන, ඛණිජ ලවන, විටමින්, තෙල් සහ මේද අඩංගු සමබර ආහාර වේලක් ලබා දෙන්න. කෙඳි සහිත ආහාර ධාන්‍ය හා පියලි වර්ග මස් මාළු එළවළු පලතුරු හා පලා වර්ගවලින් දරුවාගේ ආහාර වේල සම්පූර්ණ වන්නේ නම් දරුවාට කිරි අත්‍යවශ්‍ය වන්නේ නෑ.
කිරි ආහාර වන යෝගට්, චීස්, බටර් වැනි ආහාර මඟින් දරුවාගේ පෝෂණයට අවශ්‍ය කැල්සියම් හා විටමින් බී 12 වැනි පෝෂක කොටස් ශරීරයට ලැබෙනවා.
ඒත් අයිස්ක්‍රීම්, චොක්ලට්, පුඩින් වර්ග පැණි බීම, ශක්තිජනක පාන පේස්ට්‍රි සොසේජස් හා කෘත්‍රිම ක්ෂණික ආහාරපාන ලබාදීම ළමා ස්ථුලතාවයට සෘජුවම බලපානවා.
අදින් දශක කිහිපයකට කලින් සාමාන්‍යයෙන් දැරියන්ගේ මුල් යොවුන් විය ලක්ෂණ පහළ වුණේ වයස අවුරුදු 10 - 12 පමණ කාලයේ පටන්. ඒත් දැන් ඇතැම් දැරියක් වයස අවුරුදු 7 - 8 පටන්ම මුල් යොවුන් වියේ ලක්ෂණ පෙන්නුම් කරනවා. එපමණක් නොවෙයි ඇතැම් විට යෞවනෝදයේ අවසන් අදියර වෙන මල්වර වීම හෙවත් ඔසප් චක්‍රයත්් ඇරැඹෙනවා. ඔවුන්ගේ පියයුරු වර්ධනය වෙනවා.
එවැනි ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟම ඔවුන්ගේ මානසික වර්ධනයත් වේගයෙන් සිදු වෙනවා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වීම, තමා පිළිබඳව විශේෂයෙන් උනන්දු වීම, විරුද්ධ ලිංගිකයන් ගේ ආකර්ෂණය තමා වෙත ආකර්ෂණය කරගන්නට වෙහෙසීම වැනි දේත් දරුවාට නොදැනීම සිදු වෙනවා. මේ තත්ත්වය කුඩා දරුවාට හානිකරයි. ඇගේ ඉගෙනීමට බාධා ඇති වීමට වගේම ආත්ම අභිමානයට පහර වැදීමට ද මෙය හේතු වන්නට පුළුවන්.
වයස අවුරුදු අටක නවයක දැරියකට ඔසප් වීම ඇරැඹුණොත් එය ඈට විශාල කරදරයක්. ලිංගිකව සක්‍රිය වන වයසට නො ආවාට ඇගේ කුස තුළ ගැබක් ඇතිවන්නට පුළුවන්. ඇගේ පියකරු පෙනුම ඇයට විශාල අවදානමක් වෙන්නට පුළුවන්.
පුංචි දැරියගේ වයසට නොගැළපෙන තරම් මානසික විප්ලවයකට ගොදුරු වන හෙයින් ඈ නොදැනුවත්වම අමාරුවේ වැටෙන්නට පුළුවන්. නිවසේදී පවා ඇයට නිසි ආරක්ෂාව රැකවරණය නොලැබී යන්නට පුළුවන්.
ළමා වියේ ස්ථුලතාව ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම අභියෝගයක්. අධි බරැති දියණියක අනාගතයේදී පියයුරු පිළිකාවකට හෝ බඩවැල්වල පිළිකාවකට ගොදුරු වීමට ඇති හැකියාව වැඩියි. එමෙන්ම මදසරු බව හෝ වඳ භාවයටත් අධික ස්ථුලතාවය බලපානවා.
කල් ඇතිව මල්වර වන දැරියන් ගේ සිරුර උස යාමේ ක්‍රියාවලිය මල්වර වීමෙන් පසුව බොහෝ විට නතර වෙනවා. එවිට ඇය සම වයසේ දරුවන් අතර උසට මහතට කැපී පෙනුණාට වැඩිහිටි වියට පත්වන විට වයසට ගැළපෙන තරමට වඩා මිටි වන්නට පුළුවන්.
අස්ථි වර්ධනයට අහිතකර ලෙස බලපෑමෙන් දිගු අස්ථිවල වර්ධනය අඩාළ වීමත් අඩු වයසින් උකුල් ඇටය බිඳීම්වලට ලක්වෙන්නටත් හැකියාව තිබෙනවා. වයසට යන්නට කලින්ම ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු වන්නටත් ඉඩ තිබෙනවා. අක්මාවේ ලිපිඩ තැන්පත් වීමෙන් සුව කළ නොහැකි සිරෝසිස් ඇති වෙන්නටත්, පිත්තාශයේ ගල් ඇතිවෙන්නටත් ළමා වියේ ස්ථුලතාවය හේතු වෙනවා.
මහත දරුවන් බොහෝ විට නින්දෙන් ගොරවනවා ඔබ අසා ඇති මෙයට හේතුව අධි බර නිසා මොළය තුළ පීඩනය වැඩි වීමයි. එය සුව නින්දට බාධාවක්. රාත්‍රියට ගෙරවීම පුරුද්දට ගියාම එය හෘදය වස්තුවට අහිතකර ලෙස බලපානවා. එමඟින් හෘදය වස්තුව අනවශ්‍ය ලෙස වෙහෙසට පත්වී කලක් යන විට හෘදය ඉදිමීමෙන් හෘදයාබාධ හෝ හදවත් රෝග ඇති වෙන්නට පුළුවන්.
අධි බරෙන් යුතු දරුවන්ට මානසික ආතතිය ඇති වෙන්නට ඉඩ තිබෙනවා. මානසික ආතතිය නිසා මොළයේ නිපදවෙන ලෙප්ටින් රසායනිකය අඩුවෙන් නිපදවෙනවා. ලෙප්ටින් මඟින් සිදු කරන්නේ අප ගන්නා ආහාර ප්‍රමාණවත් යැයි මනසින් තෘප්තිමත් භාවයට පත් වීමයි.
මොළයේ ලෙප්ටින් නිෂ්පාදනය අඩු වූ විට අප ගන්නා ආහාර ප්‍රමාණයෙන් මනස සෑහීමකට පත් වෙන්නේ නෑ. එවිට අප නොදැනුවත්වම පමණට වඩා ආහාර ගන්නවා. එමඟින් ස්ථුලතාවයට පත් වෙනවා. ස්ථුලතාවය නිසා සුව නින්දක් නොලැබීම මෙන්ම මොළයට සිදුවන බලපෑම නිසා අධික හිස වේදනා ඇතිවෙන්නටත් පුළුවන්.
මේ විදිහට බැලුවාම ස්ථුලතාවය සෞඛ්‍යයට කොයි තරම් තර්ජනයක් ද?
හැම ළමයකුම අඩුම තරමින් දවසකට පැය බාගයක්වත් දිවීම, පැනීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ශාරීරික ක්‍රියාකාරකමක අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕනෑ. පරිගණක ක්‍රීඩා, රූපවාහිනිය නැරැඹීම වැනි එක තැනක වැඩි වෙලාවක් වාඩි වී සිටින කටයුතුවලින් හැකි තරම් ඉවත් වෙන්නට ඕනෑ. අත්‍යවශ්‍ය වෙලාවක හැර කෘත්‍රිම ආහාර පාන හා කඩ කෑමවලින් වළකින්න ඕනෑ.
තරග විභාගවලටම ගත සිත යොමු නොකර ක්‍රීඩා, නැටුම් ගැයුම් හා ව්‍යායාමවල යෙදිලා සිත සතුටින් සැහැල්ලුවෙන් තියාගන්න ඕනෑ. එවිට සුන්දර ළමා වියක් වගේම සුවදායි අනාගතයකුත් ඔබට ලැබෙනවා සිකුරුයි.
 


ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ
ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන්ති පෙරේරා

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි