දරුවාගේ දත් ගලවන්නට පෙර මේ ලිපිය කියවන්න
මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම ඕනෑම අයකුගේ නිරෝගී දිවියට අත්‍යවශ්‍ය සාධකයකි. සෑම වසරකම සැප්තැම්බර් මස 17 වැනි දින “ජාතික මුඛ සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එබැවිනි.
මහරගම පිහිටි ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනය අප රටේ මුඛ සෞඛ්‍ය සුරැකීමට අංශ කීපයකින්ම උපකාරී වන ආයතනයකි.
මෙම ආයතනය ආරම්භ කිරීමට පියවර ගත්තේ සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය තුමාය. මෙම ආයතනය ආරම්භ කිරීම පිළිබඳ කතාවද ඉතා අපූර්වවූවකි.
සර් ජෝන් කොතලාවල මහතා අප රටේ සිටි කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකි. කොතලාවල අග්‍රාමාත්‍යතුමාගේ කාලයේ කොළඹ ක්‍රමය ක්‍රියාත්මක විය. එහිදී කොළඹ ක්‍රමය යටතේ මිත්‍ර රටවල් හා සාකච්ඡාවකට නවසීලන්තයට යාමට කොතලාවල අග්‍රාමාත්‍යතුමාට සිදුවිය.එම සාකච්ඡාව පැවැත්වුණේ එවකට නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ ය. සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ඊට යාබද කොටසක සුදු ඇඳුමින් සැරසුණු සුන්දර යුවතියන් පිරිසක් එහේ මෙහේ ගමන් කරන ආකාරය කොතලාවල අගමැතිතුමාට දැකගත හැකි විය. ඔවුන් කවුදැයි කොතලාවල අගමැතිතුමා නවසීලන්ත අගමැතිතුමාගෙන් විමසා සිටියේ ය. නවසීලන්ත අගමැතිතුමාගේ පිළිතුර වූයේ ඒ යුවතියන් පුහුණුවන දන්ත චිකිත්සකවරියන් බව ය. ඔවුන්ගේ පුහුණුවට ලබාදී තිබුණේ නවසීලන්ත අගමැතිතුමාගේ නිල නිවසේ ම කොටසකි.
දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ දන්තාබාධ විශාල ගැටලුවක් විය. එය හැඳින ගත් නවසීලන්ත රජය විසින් ඊළඟ පරම්පරාවේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී. ඒ; කුඩා දරුවන් අතර ඇති දන්ත ගැටලු විසඳීමෙනි.
ඒ සඳහා දන්ත චිකිත්සකවරියෝ යොදා ගනු ලැබූහ. මේ සඳහා යොදා ගන්නේ තරුණියන් පමණි. තරුණයන්ට ඒ සඳහා අවස්ථාව නොලැබිණි. මෙහිදී තරුණියන්වම තෝරාගත්තේ ඔවුන් තුළ මවු ගුණය තිබෙන නිසා ය. ඔවුන් දරුවන්ට ඉතා සමීප නිසා ය. මේ සියලු තොරතුරු නවසීලන්ත අග්‍රාමාත්‍යතුමාගෙන් සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යතුමා දැනගත්තේ ය.
කොතලාවල අග්‍රාමාත්‍යතුමා පෙරළා ලංකාවට පැමිණි පසුව ලංකාවේ දරුවන් අතර ද දන්ත ගැටලු රාශියක් ම ඇති බව එතුමාට ප්‍රත්‍යක්ෂ විය. එවිට එතුමාට නවසීලන්ත අග්‍රාමාත්‍යතුමාගේ වැඩපිළිවෙළ සිහියට ආවේ ය. අනතුරුව ලංකාව තුළ ද දරුවන්ගේ දන්ත සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා දන්ත චිකිත්සකවරියන් පුහුණු කිරීමට කොතලාවල අග්‍රාමාත්‍යතුමා පියවර ගත්තේ ය.
පළමුව කොළඹ ක්‍රමයේ බලධාරීන් සමඟ සාකච්ඡාකර ඒ සඳහා අවශ්‍ය සහයෝගය නවසීලන්ත රජයෙන් ඉල්ලා සිටියේ ය. මෙම ආයතනය ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීම කොතලාවල අගමැතිතුමාට තරමක අසීරු කාර්යයක් විය.
මහරගම පිහිටි තම පෞද්ගලික නිවස ඒ සඳහා ලබාදීමට අවසානයේ දී කොතලාවල අගමැතිතුමා තීරණය කළේ ය. එම නිවස හැඳින්වූයේ wessendon නමිනි. මෙම නිවසත් රත්මලානේ කඳවල පිහිටි එතුමාට අයත් කඳවල වලව්වත් සමාන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිර්මාණය කර ඇති නිවාසයන් ය.
1955 දී කොතලාවල අග්‍රාමාත්‍යතුමාගේ මහරගම wessendon නිවස දන්ත චිකිත්සකවරියන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය බවට පත් විය. දන්ත චිකිත්සකවරියන් ලෙස පුහුණුවට බඳවා ගත් මුල් ම කණ්ඩායම් දෙක පුහුණුව සඳහා නවසීලන්තයට පිටත් කර හරින ලදී. ඒ සඳහා වන වියදම අධික නිසා wessendon නිවසේ දී තුන්වන කණ්ඩායමේ සිට පුහුණුව ආරම්භ කරන ලදී. ආයතනය සඳහා අවශ්‍ය සියලුම උපකරණ ගෙන්වන ලද්දේ නවසීලන්තයෙනි. උපකරණ පමණක් නොව දන්ත වෛද්‍ය විශේෂඥයෝ කීපදෙනෙක් ද නවසීලන්තයෙන් කැඳවා ගෙන එනු ලැබූහ. සර් ජෝන් කොතලාවල අගමැතිතුමාගේ මහරගම පිහිටි පෞද්ගලික wessendon නිවස ජාතික මුඛ සෞඛ්‍ය ආයතනය වූයේ එලෙස ය.
ආරම්භක යුගයේ සෑම දිස්ත්‍රික්කයකින් ම එක් තරුණිය බැගින් වාර්ෂිකව පුහුණුවීම සඳහා බඳවා ගනු ලැබීය. මේ වනවිට මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
මෙම ආයතනයෙන් පුහුණුව ලබන දන්ත චිකිත්සකවරියෝ ලංකාව පුරා දන්ත සායනවල දන්ත චිකිත්සකවරියන් ලෙස සේවයට යොදවනු ලබති.
මුල් යුගයේ දී මෙම ආයතනයෙන් වැඩි අවධානයක් යොමු කළේ වයස අවුරුදු 12 ට පසු කුඩා දරුවන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව ය. කලක් ගතවන විට දන්ත චිකිත්සකවරියන් පමණක් නොව දන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ශල්‍යාගාර කම්කරු සේවකයාගේ පටන් දන්ත වෛද්‍යවරුන් දක්වා සියලු ම දෙනා පුහුණු කිරීමේ ආයතනයක් ලෙස මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය පරිවර්තනය විය. දැන් පුහුණු කිරීම්වලට අමතරව දන්ත ගැටලු ඇති රෝගීන්ගේ බොහෝ අවශ්‍යතා ඉටුකරදීමට මෙම ආයතනය ක්‍රියා කරයි. මේ වනවිට මෙම ආයතනයෙන් වැඩිහිටියන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව ද සොයා බැලේ.
මේ වනවිට ආයතනයේ විශේෂඥ දන්ත වෛද්‍යවරු හත් දෙනෙක් සේවය කරති. ඔවුහු එම ස්ථානයට පැමිණෙන දරුවන්ගේ මෙන් ම වැඩිහිටියන්ගේ ද දන්ත රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාදෙති. ඊට අමතරව මෙහි සිටින විශේෂඥ වෛද්‍යවරු එම ආයතනයට එන පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ දන්ත වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන වෛද්‍යවරුන්ගේ පුහුණු කිරීමේ කටයුතු වලට ද දායකවෙති.
මේ වන විට මෙම ආයතනය තුළ දන්ත වෛද්‍යවරු 70 ක් පමණ සේවය කරන අතර සමස්ත කාර්ය මණ්ඩලය 250 ක් පමණ වේ. පසුකලෙක මෙම ආයතනය මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනය ලෙස නම් කෙරිණි.
ලංකාවේ තිබෙන ප්‍රධානතම දන්ත වෛද්‍ය පර්යේෂණ අංශය පිහිටා තිබෙන්නේ මෙතැනය. මෙම ආයතනයේ මැදිහත් වීමෙන් වසර 4 කට හෝ 5 කට වරක් ජාතික මුඛ සෞඛ්‍ය පර්යේෂණයක් පැවැත්වේ. එම පර්යේෂණය මෙහෙයවන්නේ මෙම ආයතනයේ පර්යේෂණ අංශයෙනි.
එසේම සෑම වසරකම සෑම පළාතකම අඩුම තරමින් එක් වතාවක්වත් දන්ත සෞඛ්‍ය පුහුණු සැසියක් සංවිධානය කෙරේ. මේ සඳහා එම පළාතේ සිටින දන්ත සෞඛ්‍ය සායනවල සිටින සියලුම කාර්ය මණ්ඩල සහභාගි කරවා ගැනේ.
රටේ දන්ත සෞඛ්‍ය සුරැකීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෑත දී යොදාගත් තේමාව වන්නේ “චාර්වක දත සුරකිමු” යන්නය. මෙය ඉතා අගනා තේමාවකි. පසුගිය කාලයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ, අප රටේ ජීවත්වන වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ කටේ එක දතක් හෝ නැති බවය. එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ.
මේ වන විට ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 75 දක්වා වර්ධනය වී ඇත. එම පිරිසෙන් භාගයකගේ කටේ එකම දතක් හෝ නැතිවීම ඔවුන්ට විශාල ගැටලුවකි. වයස අවුරුදු 60 දී කටේ දත් නැති වූ විට තවත් අවුරුදු 15 ක් 20 ක් පමණ දත් නැතිව ජීවත්වීම ඉතාම අපහසුය. එය ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත වැටීමට හේතුවකි. සෑම දෙනෙකුම තමන්ගේ චාර්වක දත ආරක්ෂා කර ගැනීමට උනන්දු වූවොත් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යනු ඇත.
අපගේ මුඛයේ පළමුවෙන්ම එන ස්ථිර දත වන්නේ චාර්වක දතයි. වයස අවුරුදු 6 වන විට හක්කේ චාර්වක දත මතු වේ. අපේ ජීවිත කාලය තුළ දී මෙම චාර්වක දත විනාශ වීමට තිබෙන හැකියාව ඉතා වැඩිය. මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයෙන් චාර්වක දත් සුරැකීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ; චාර්වක දත සුරැකීමට ආරක්ෂණයක් යෙදීමෙනි.
“චාර්වක දත සුරකිමු” යන වැඩ පිළිවෙළ ආරම්භ වූයේ මෙම වසර මුලදීය. මෙම වැඩ සටහනින් නිවැරැදි ප්‍රතිඵලයක් ලබාගැනීමට නම් මෙම වැඩපිළිවෙළ නොකඩවා වසර 5 ක්වත් ක්‍රියාත්මක වීම අවශ්‍යය. මෙම වැඩසටහනේ අරමුණ වයස අවුරුදු 80, 100 ගතවී කිසියම් පුද්ගලයකු මිය ගියත්, එවිට අඩුම තරමින් මුඛයේ දත් 20 වත් තිබීමය.
ඉතාම කලාතුරකින් උපතින්ම තල්ලේ හිලක් ඇතිව උපදින දරුවෝ සිටිති. එම දරුවන්ට මවුකිරි උරා බීමටවත් හැකියාව නැත. එම දරුවන් කිරි උරා බොන විට එම කිරි නාසය දිගේ පෙණහල්ලට ගොස් විවිධ ආබාධ ඇති කරයි. එම නිසා මොවුන්ගේ තල්ල ශල්‍යකර්මයක් මඟින් එක්කළ යුතුය. එහෙත් එම දරුවාට කිරි උරා බීමට කෘත්‍රිම තල්ලක් අවශ්‍ය වේ.
මහරගම මෙම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනය මඟින් එම කෘත්‍රිම තල්ල සාදා දීමට කටයුතු කරයි. එසේම පිළිකා නිසා තල්ල ඉවත් කළ පුද්ගලයින්ට ද මෙම ආයතනයෙන් කෘත්‍රිම තල්ල සාදා දෙයි.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින අයකුට මෙම මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයේ සේවය ලබාගත හැකි වුවත්, ඕනෑම පුද්ගලයකු පළමුව යොමුවිය යුත්තේ තම ප්‍රදේශයේ තිබෙන දන්ත වෛද්‍ය සායනය වෙතටය. ලංකාව පුරා සිටින සෑම කෙනෙක්ම මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයට යොමු වූවොත් එය අනවශ්‍ය තදබදයක් ඇතිවීමට හේතුවකි. වඩාත් සුදුසු වන්නේ පළාතේ දන්ත සායනයෙන් ලබාගත නොහැකි සේවාවක් සඳහා පමණක් මහරගම ජාතික දන්ත වෛද්‍ය විද්‍යායතනයට යොමු වීමය
.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි