අනේ අපේ ළමයි!
නරුම සල්ලාලයන් අතින් ගැහැනු දරුවන් පමණක් නොව; පිරිමි දරුවන් ද අපහරණයට ලක්වේ
අද දිනපතා ම විවිධ ජනමාධ්‍ය ඔස්සේ හිමිදිරියේ ම අසන්නට දකින්නට ලැබෙනුයේ දරුණු ගණයේ අපරාධ ය. එයිනුත් වැඩි ප්‍රමාණයක් ලිංගික අතවරයන්ට, දූෂණයන්ට පත්වීම් පිළිබඳ ප්‍රවෘත්ති ය. එහි ද සුවිශේෂී බවක් දක්නට තිබේ. වර්තමානයේ වැඩි වශයෙන් දූෂණයට අතවරයන්ට ලක්වනුයේ දඟකාර යෞවනියන් නොව හිරිමල් වියේ පෙර පාසල් දරුවන් ය. නැතහොත් වයස අවුරුදු පනහ හැට වූ ආච්චිලා ය. මෙය කොතරම් ම්ලේච්ඡ තත්ත්වයට ඇද වැටී ඇත්දැයි විමසීමේ දී මව සහ දියණිය එකට දූෂණය කර මරා නිවෙස්වලම පුළුස්සා දමන තත්ත්වයක් කරා වර්ධනය වී තිබේ.
විද්වත්හු මේ අපරාධ හා අපචාර සඳහා හේතු කාරක හැටියට විවිධ කරුණු ෙගනහැර පාති. මාධ්‍ය ද මේ සඳහා යම් පිටිවහලක් වන බව පෙනී යයි. විශේෂයෙන් කිසිදු සංවරයක් හා පාලනයක් නැති ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ රූපවාහිනී අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන, ෆේස් බුක් වැනි අංශ බලපෑමක් කර ඇති බව නොරහසකි. රටක පවතින සමාජ ආර්ථික, දේශපාලනික මෙන් ම සංස්කෘතික තත්ත්වයන් මෙයට බලපාන බව ඇතැම් අය පෙන්වා දෙති. එමෙන් ම මෙවැනි බරපතළ අපරාධ සහ විකෘති හැසිරීම් සඳහා බලපානු ලබන තවත් හේතු කාරක ඇති බව අනාවරණය වේ.
16 හා 17 ශතවර්ෂවලදී ලෝකයේ තැනින් තැන සුළු අපරාධ සිදුවූ අතර පසුව ඒවා ප්‍රමාණාත්මකව මෙන් ම කෲරත්වය අතින් ද ඉහළ ගියේය. විවිධ රාජ්‍යයන් මේවා මර්දනය කිරීම සඳහා පවතින නීති හා දඬුවම් වැඩි කරමින් ද නව නීති හා දඬුවම් ඇතිකරමින් ද කටයුතු කරනු ලැබූවත් අපේක්ෂිත ප්‍රතිඵල නො ලැබිණි.
පසුව මනෝ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයින් සහ විවිධ බුද්ධිමතුන් මේ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකරන ලදී. බරපතළ විකෘති සහිත අපරාධයන් සිදු කළ පුද්ගලයන්ගේ ඉතිහාසය සොයා යාමේ දී ඔවුන්ගේ කුඩා කාලයේ සමාජානුයෝජනයේ කොතනක හෝ අඩුවක් , ගැටලුවක් හෝ වැරදීමක් සිදුව ඇති බවත්, එහි ප්‍රතිඵල ලෙසට මෙවැනි විකෘති හා බරපතළ අපරාධ සිදුකරන බවත් පෙනී ගොස් තිබේ. ඒ අනුව දරුවන් හදා වඩා ගැනීමේ දී සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුව ඇති බවත්, එසේ නො කළහොත් දරුවා පසුකලෙක සමාජයට දක්වනු ලබන ප්‍රතිචාරය දරුවාට හෝ සමාජයට හෝ යහපත් නො වන බවත් සොයා ගෙන තිබේ.
දරුවන් හදා වඩා ගැනීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඉපදීමටත් පෙර ගර්භාෂයේ සිටියදීම බව ද මේ වන විට සොයාගෙන තිබේ.
මව හා පියා අතර අඬදබර මෙන්ම මවට ඇතිවන දහසක් ප්‍රශ්න හා ගැටලු හමුවේ ඇති වන ආතතිය ගර්භාෂයේ දරුවාට සෘජුවම බලපාන බව මවුපියන් වැඩි දෙනකු තවම නො දනී. විද්‍යාත්මකව මේ කිසිත් නොදත් අපේ මුතුන් මිත්තෝ ගර්භණී මවට ඉතා සැහැල්ලුවෙන් ජීවත්වීමට පරිසරය සකසා දුන්හ. තම ආගමික ස්ථානයන් කරා යොමු කරමින් කාගෙත් ආදරයට හා ගෞරවයට ලක් කරමින් ඇය කැමති ආහාරපාන ලබාදෙමින් ප්‍රීතිමත්ව සැහැල්ලුවෙන් තැබීමට කටයුතු කළහ.
එපමණක් නො වේ ඉපදුණු දරුවාට මවුපියන්ගේ රණ්ඩුසරුවල්, අඬදබර, හොඳින් දැනේ. මවගේ කිරි දීමේ ඉරියව්වෙන් පවා දරුවා මව සිටින තත්ත්වය හඳුනා ගනී. ඉන්පසුව දුවපැන ඇවිදින කාලයේ දී පවුල තුළින් දරුවාට වන නො සැලකිලි හා වෙනස්කම් හොඳින් හඳුනාගනී. ෙම් සියලු අවදිවලදී දරුවාට හිතකර නො වන යමක් සිදුවුවහොත් ඒ මානසික සංවර්ධනයට පමණක් නො ව මානසික සෞඛ්‍යයට ද එතරම් හිතකර නො වනු ඇත.
එම කාලයේ දී ග්‍රහණය කරගත් දෙයහි ප්‍රතිඵල දරුවා වැඩිහිටියකු වූ පසුව පැහැදිලිව ප්‍රදර්ශනය වේ. සිග්මන් ෆ්‍රොයිඩ් පවසන අන්දමට දරුවකුගේ වයස අවුරුදු 07ක් වන විට මොළයේ වර්ධනය සම්පූර්ණ වී තිබේ. ඒ වන විට උකහා ගන්නා ලද දත්තයන් මත පසුකාලයේ දී සමාජයට ප්‍රතිචාර දක්වන බව ඔහුගේ අදහස ය.
මෙම කාලයේ දී දරුවාට යහපත් දේ අත්විඳින්නට ලැබුණහොත් පසුකාලයේ දී සමාජයට යහපත් ප්‍රතිචාර දක්වන බවත් අයහපත් දේ අත්විඳින්නට ලැබුණහොත් සමාජයට දක්වන ප්‍රතිචාරය ද අයහපත් වන බවත් මෙයින් පැහැදිලි වේ.
අද මවුපියන් බොහෝ විට වරද්දා ගන්නා තවත් ස්ථානයක් වන්නේ පෙර පාසලය. නිසි අවබෝධයක් නැති මාපියෝ හා පෙර පාසල් ගුරුවරියෝ ළමයාට අකුරු ඉලක්කම්වලට ද එහා යමින් තම මවු භාෂාවට අමතරව ඉංග්‍රීසි - සිංහල හෝ දෙමළ භාෂාව ද උගැන්වීමට උත්සාහ දරති. දරුවාට මේ සියල්ල දරාගැනීමට නොහැකිවී ජීවිත කාලයට ම අධ්‍යාපනය එපාවී, වෙනත් මානසික ගැටලු ඇතිවීමටත් එය බලපාන බව ඔවුහු නොදනිති.
දරුවන් යහපත් ලෙස සාර්ථක ලෙස හදා වඩා ගැනීමේ, සමාජානුයෝජනය කරගැනීමේ කරුණු සාකච්ඡා කිරීමේ විෂය ධාරාව “ළමා රැකවරණය” ලෙසට හඳුන්වා දිය හැකි ය. මේ විවිධාකාර වූ කටයුතුවලින් දරුවාගේ මානසික සෞඛ්‍ය පිරිහීමට පත්වන අතර ම බරපතළ මානසික රෝග පීඩාදියට පත්වීමට ද පුළුවන. මේ බව මවුපියන් දැනගන්නා විට පෙරහර ගොස් හමාර වී තිබේ. එක්කෝ දරුවා පාසල ප්‍රතික්ෂේප කර හමාර ය. නැතහොත් සමවයස් කාණ්ඩයන් සමඟ මත්ද්‍රව්‍ය, මත්කුඩු, අස්වාභාවික ලිංගික දර්ශන නැරඹීම වැනි දෑ අත්හදා බැලීමට පෙලැඹී ඇත.
ලෝක ළමා දිනය සමරන අවස්ථාවේ මල් කැකුළු වන් ළමා පරපුර උගත්, බුද්ධිමත් රටට දැයට වැඩදායක, සමාජයට හිතවත් පිරිසක් ලෙසට හදාවඩා ගැනීම සම්බන්ධව අවධානය යොමු නො කරන්නේ නම් එය බරපතළ අඩුවකි. ළමයින්ට සමාන අවස්ථා සැලසීම හා ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම පමණක් ප්‍රමාණවත් නොවේ.
අද දවසේ අපරාධයක් සිදු කරන සියලු දෙනා එයට පෙර ළමුන් ලෙසට සිටි පිරිසක් බව අප අමතක කළ යුතු නො වේ.
හික්කඩුවේ ජී.විමලසිරි
සභාපති - ලංකා ළමාරක්ෂක
සේවා නිලධාරීන්ගේ සංගමය
1 comments:
මේ ලිපියේ අඩංගු කරුණු ඉතාමත් වටිනවා.ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කලාට
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි