Friday, December 27, 2013

අලුත් පොත් ගබඩාවල පාසල් සිසුන්ට පරණ පෙළ පොත්



අලුත් පොත් ගබඩාවල

පාසල් සිසුන්ට පරණ පෙළ පොත්

රජය වාර්ෂිකව පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2700 ක මුදලක් වෙන් කළත්, භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පෙළපොත් ශිෂ්‍යයන්ට ලබා දී ඇති බවට පැමිණිලි රාශියක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
මෙසේ විදුහල් රාශියක ශිෂ්‍යයන්ට ලබාදී ඇති බොහොමයක් පොත් අතර වසර තුනකට වඩා පරිහරණය කළ පෙළ පොත් වන අතර ඇතැම් පොත් කිසිසේත් භාවිතයට ගත නොහැකි පරිදි පිට කවර ද ඇතුළු පිටු ද ඉරී ගිය, ඡායාරූප කපා ඇති හා කුරුටු ගා විනාශ කළ පොත් ය. අලුත් පොත් පාසල් ගබඩා වල, පුස්තකාල වල ගබඩා කර තිබියද‍ී මෙසේ පරණ පොත් ශිෂ්‍යන් අතට පත් කිරීමේ චෝදනාව එල්ල වී ඇත්තේ විදුහල්පති වරුන්ට ය.
මේ පිළිබඳව ‘සිළුමිණ’ කළ විමසීමකදී අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාරණ මහතා පැවැසුවේ වසර තුනකට පෙර මුද්‍රණය කළ පොත් පවා මෙලෙස බෙදාහැරීමට සමහර විදුහල් ක්‍රියාකර ඇති බවත් එසේ පරණ පොත් ළමයින්ට ලබාදීම ඉතා නුසුදුසු ක්‍රියාවක් බවත් ය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙවරත් පෙර සේම පාසල් වලින් අවශ්‍ය සංඛ්‍යා ලේඛන ලබාගෙන අවශ්‍ය තරම් අලුත් පාසල් පෙළ පොත් ලබාදී ඇතත් මෙසේ පරණ ඉරී ගිය පෙළපොත් ශිෂ්‍යයන් අතට පත් කිරීම සම්පූර්ණයෙන් ම වැරැදි ක්‍රියාවක් බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.
මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අස්සනින් යුතුව විශේෂ චක්‍රලේඛයක් සියලුම විදුහල්පතිවරුන්ට යවා ඇති අතර ඒ මඟින්, එවැනි පරණ පොත් ලබාදී ඇති පාසල් වෙතොත් ඒවා නැවත ලබාගෙන පෙළපොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහා ලබාගෙන නැවතත් ශිෂ්‍යයන්ට ලබාදිය යුතු බවත් එමඟින් තරයේ අවවාද කර ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීමටත් මේ අවවාද පිළිනොගන්නා විදුහල්පතිවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි‍.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි