Monday, December 9, 2013

BMICH ගින්න හා නව නිපැයුම්කරුවෝ

BMICH ගින්න හා නව නිපැයුම්කරුවෝ

ගිනිදලු අහසට නැඟුණි. එක විනාඩි විස්සකින් සියල්ල දා අළුවී ගියේ නොසිතූ ලෙස ය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා‍ පරිශ්‍රයේ සහසක් නිමවුම් කළ නිර්මාණකරුවන්ගේ දහසක් බලාපොරොත්තු වලට කුමක් වුණිද? ඒ ගැන දැක ගන්නට අපි ඔවුන් සොයා ගියෙමු. ඒ ‍වන විටත් තාවකාලික ගොඩනැඟිල්ල මෙන් ම එහි තිබුණ නිර්මාණ සියල්ල දා අළුවී ගොස් තිබුණි. ඒ පැතුම් බිඳී ගිය ද ප්‍රදර්ශනය අතර මැද නොනැවතුණි. උතුර දකුණ නැ‍ඟෙනහිර හා බස්නාහිර පළාත්වලින් දරු දැරියන් බොහෝ පිරිසක් මේ ප්‍රදර්ශනය සඳහා තම නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. කේවල තරගකරුවන් ලෙස ඉදිරිපත් වූවන්ගේ නිර්මාණද ගිනිබත් වී හමාර ය. සමහර ඒවාට පේටන් බලපත්‍ර රැගෙන නොතිබුණ අතර ඒ හිත්වල දහසක් පැතුම් ගුලි ගැසී සැඟවී ගොසිනි. වාසනාව අවාසනාව ඇසිල්ලකින් තීරණය වන්නට ගත වූයේ මොහොතකි. ගින්න පිළිබඳ ‘සිළුමිණ’ ට අදහස් දැක්වූයේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ නව නිපැයුම් කොමිසන් සභාවේ සහකාර අධ්‍යක්ෂිකා දීපිකා කහටපිටිය මහත්මියයි.
“අපි නොසිතූ ආකාරයට මේ ප්‍රදර්ශනය පැවැති එක ශාලාවක් ගිනිබත් වුණා. විශ්ව විද්‍යාලවල මෙන් ම කේවල තරග කරුවන්ගේ නිර්මාණ ද සම්පූර්ණයෙන් ම ගින්නට අසුවුණා. මිහිලක මැදුරේ පැවැති තරග අවස්ථාවන් විතරයි ඉතුරු වුණේ. මේ වෙලාවේ ගොඩක් ළමයි කම්පනයට පත්වුණා. ඇත්තටම නොසිතූ අවස්ථාවක එවැනි දෙයක් සිද්ධ වුණාම හැමෝම අසරණ වෙනවා. ඒත් විද්‍යා හා තාක්ෂණ ඇමැති පාඨලී චම්පික මහතාගෙන් ලැබුණු දිරි ගැන්වීම නිසා දරුවො ගොඩක් දිරිමත් වුණා.”
අපි මේ ප්‍රදර්ශනය සැලසුමකට අනුව හදල තිබුණේ. ඒත් හදිසි ගින්න නිසා සියල්ල වෙනස් වුණා. අපි ගින්නට අසුවුණු නිර්මාණ කරුවන්ට සාධාරණයක් ඉටු කරන්න කටයුතු කරනවා.”
ගින්නෙන් සමහර නිර්මාණ සම්පූර්ණයෙන් ම විනාශයට පත් විය. ඔවුන්ගේ බලාපොරොත්තු ගිලිහ‍ී ගියේ හිතාගන්න බැරි ආකාරයට. සමහරු අවුරුදු ගණනාවක් ඒ නිර්මාණය සම්බන්ධයෙන් වෙහෙසුණු බව ඔවුන්ගේ කතාවලින් තහවුරු විය. මෙය ඔවුන් අපට කියූ කතාවයි.
“මම එම්.එම්.ටී බදුලුවෙල. මොනරාගල බදුලුවෙල තමයි මම ඉන්නේ‍. මේ ප්‍රදර්ශනය සඳහා නිර්මාණ තුනක් ඉදිරිපත් කළා. එකක් සුළං බල විදුලි උත්පාදනය, ගලන ජල විදුලි උත්පාදනය. අනෙක් එක තමයි මුහුදු රළ විදුලි උත්පාදනය. මං සමහර ‍ඒවා අටේ පන්තියේ ඉඳලා අත්හදා බැලුවේ‍.
ඒත් මේ හැම දෙයක් ම ගින්නෙන් එක මොහො‍තකින් විනාශයට පත්වුණා. එක දොරටුවයි එළියට යන්න තිබුණේ. ඇත්තටම නිර්මාණය බේරගන්නවට වඩා මං ජීවිතය බේරගන්න හිතාගෙන පැන ගත්තා. ගින්න එක පාරටම එනකොට මගේ නිර්මාණය ගලව ගලව හිටිය නම් මාත් ගින්නට අහුවෙනවා.
තරිු
ශමිල
සෙව්වන්දි
  අභිමානී දිනුදා
සමහරු තමන්ගේ නිර්මාණවල කෑලි කෑලි අරගෙන දුවනවා මං දැක්කා. අපේ ප්‍රදේශයට තවමත් විදුලිය නැහැ. මේ හැම දුෂ්කරතාවක් ම මධ්‍යයේ තමයි මෙවැනි නිර්මාණ තුනක් කළේ. ජයග්‍රහණය තියා නිර්මාණයවත් අපට ඉතිරි වුණේ නැහැ. හැබැයි අපි මේ කුමන දේකින්වත් හිත සසල කරගන්න හොඳ නෑ. මට ඒක ප්‍රශ්නයක් නොවේ. අභියෝගවලට මුහුණ දීලා මට හොඳට පුරුදුයි.
මේ ගින්න ඔවුන්ගේ නිර්මාණ විතරක් නොවෙයි. බලාපො‍ෙරාත්තුත් රැගෙන ගියේ අකරුණාවන්ත ආකාරයට. මේ පිළිබඳ ජී.ඩී. ඉලේපෙරුම තම අදහස් දැක්වූයේ ය.
“මගේ නිර්මාණයත් තිබුණේ මේ ගිනිගත් ශාලාවේ. හැබැයි මේ ආරංචිය ලද සැනින් ම නිර්මාණයේ කොටසක් අරන් ගියා. හැබැයි සමහර කොටස් ගින්නට අසුවුණා. මං කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක්. මං නිර්මාණය කළේ දෘෂ්‍ය ආබාධිත අයට සහය වන උපකරණයක්.
මට මේ උපකරණය නිර්මාණයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මධුවන්ති හා ආචාර්ය වජිරත් මේ සඳහා විශාල සහායක් වුණා. මගේ නිර්මාණයට වඩා සමහර නිර්මාණවලට විශාල පාඩුවක් වුණා. මේ හැම දේකටම වඩා අපේ බලාපොරොත්තු වටිනවා. ප්‍රදර්ශනය පටන්ගත්ත විතරයි මෙහෙම දෙයක් වුණාම මිනිස්සුන්ගේ මානසික තත්ත්වය කොහොමද කියල හිතාගන්න පුළුවන් නේද?”
කෘෂිකර්ම නිර්මාණයක් ඉදිරිපත් කරමින් මේ ප්‍රදර්ශනයට එක් වුණේ රජ‍රට ප්‍රදේශයේ එන්. විජේරත්න ය. ඔහුට අත්වූයේ ද අනෙක් අයට අත්වුණු ඉරණමයි. මේ පිළිබඳ ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.
සදෙව්
“මං ඉගෙන ගන්නෙ රජරට විශ්වවිද්‍යාලයේ‍. අත්යන්ත්‍රයක් මගින් ඉරිගු බීජ හිටවන දෙයක් තමයි මම නිර්මාණය කළේ. මගේ නිර්මාණය සාර්ථක වුණාම මට ලැබුණෙ ලොකු සතුටක්. මාස 6 ක් පමණ මේ නිර්මාණය වෙනුවෙන් වෙහෙසුණා. ඒත් මේ හදිසි‍යේ ඇතිවුණු තත්ත්වය නිසා මේ සියලු දේවල් විනාශයට පත් වුණා. කොහොම වුණත් අපේ හිත්වල ශක්තිය නැතිවෙලා ‍නැහැ.”
තම නිර්මාණවලට අත්වූ ඉරණම පිළිබඳ ඔවුහු එසේ පවසති. ඒ සඳහා සාධාරණය ඔවුන් බලාසිටින්නේ නොඉසිලිමත්වය. විද්‍යා හා පර්යේෂණ අමාත්‍යාංශය පවසනු‍යේ නිර්මාණ විනාශ වූ සියලු නිර්මාණ කරුවන්ට සාධාරණය ඉටු කර දෙන බවයි. එය ඒ ආකාරයටම ඉටු වන තෙක් ඔවුහු බලා සිටිති.
මේ ප්‍රදර්ශනයේ නිර්මාණ විනාශ වූ අය මෙන් නිර්මාණ ඉතිරි වූ අය ද තම නිර්මාණ ඉදිරිපත් කළේ දහසක් බලාපොරොත්තු ඇතුවය. මේ ගින්න නිසා ඒ බලාපොරොත්තු වියැකි යාමට ඉඩ දිය හැකි ද? මේ ඔවුන් කියූ කතාවයි.
සහසක් නිපැයුම් තරගයට කුරුණෑගල මලියදේව විදුහලෙන් නිර්මාණ ඉදිරිපත් කළ ජේ.පී. එන්. ඊ. කරුණානායක හා බී.ඩබ්ලිවු. ඩී.ඒ. බාල සොයුරිය තම නිර්මාණය ගැන මෙන්ම තම අත්දැකීම් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි‍.
“අපි මේ හදල තියෙන්නේ බෙහෙත් කවර නිෂ්පාදනය කරන යන්ත්‍රයක්. මේ යන්ත්‍රයෙන් ඉක්මනින් ම බෙහෙත් කවර හදන්න පුළුවන.‍ අපිට මේ වගේ නිර්මාණ කරන්න ඉස්කෝලෙන් ලැබෙන දිරිය පිළිබඳ අපි අගේ කරනවා. ඒ වගේ ම අපි ප්‍රද්ර්ශනය පවත්වන අතරතු‍රේ පුදුම අත්දැකීමට මුහුණ දුන්නා. එක විනාඩි කිහිපයකින් මුළු ශාලාවම ගිනිබත් වෙනවා අපි දැක්කා. ඒ වෙලාවේ අපේ හිතට චකිතයක් ඇති වුණා. ඇමැතිතුමා සංවිධායක කමිටුවත් අපිව දිරිමත් කළා.
ගැටලු බාධක ජය ගනිමින් නිර්මාණ කරණයේ යෙදෙන තවත් නිර්මාණ කාරියක් අපට මුණ ගැසිණි. ඇය තමන්ගේ කතාව කියන්නට හදිසි නොවුවා ය. මොරටුව වේල්ස් කුමරියේ අභිමානී දිනුදා තම නිර්මාණය ගැන මෙසේ විස්තර කළා ය.
“ගෑස් ඉවර වෙලාද නැද්ද කියලා කල් ඇතිව දැනගන්න උපකරණයක් තමයි මේ. ඇත්තටම ගෑස් ඉවර වුණාම ඇයි වේලාසන කිව්වෙ නැත්තෙ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මේවා ප්‍රශ්න කරගෙන ආරවුල් ඇති කරගන්න හොඳ නැහැ. ඒ නිසාම තමයි මේ වගේ යන්ත්‍රයක් හැදුවේ.
මේ තියෙන වතුර මට්ටම අනුව ගෑස් අඩු වැඩි වෙනවද කියලා අපට දැනගන්න පුළුවන්. ඒක එතරම් ප්‍රශ්නයක් නොවේ.” බෝමිරිය මහා විද්‍යාලයේ කේ.ජී.එස්.එස්. සෙව්වන්දි නිර්මාණය කළේ පඩිපෙල් ආධාරකයෙකි. ඒ පිළිබඳ ඇය මෙසේ අදහස් පළ කළා ය. “මේ ආධාරකය පඩිපෙලට සවි කරන්න ඕනේ. ඕනම කෙනෙක්ගේ බරක් දරා ගන්න මේ ආධාරකයට පුළුවන්. ආබාධිත කෙනෙකුට වුවත් පාවිච්චි කරන්න පුළුවන්.”
බස් රථ රියදුරන් කරන වැරැදි අඩුපාඩු පිළිබඳව ආනන්ද විද්‍යාලයේ සදෙව් කලුබෝවිල සිසුවාට තිබුණේ විශාල කනගාටුවකි. සදෙව් තම නිර්මාණය ගැන අපට මෙසේ විස්තර කළේ ය.
“බස් රියදුරන් කරන වැරැදි අඩු පාඩු පිළිබඳව මගීන් ඉන්නේ කනගාටුවෙන්. මේ වැරැදි අඩුපාඩු සොයන්න ක්‍රමයක් තිබුණොත් හොඳයි කියන එක මගේ හිතේ තිබුණා. මේ අනුව තමයි මං මේ කළු පෙට්ටිය නිර්මාණය කළේ. මේ වගේ උපකරණයක් බස් රියක සවි කිරීමෙන් බස් රථ රියදුරන්ගේ වැරැදි අඩුපාඩු සොයාගන්න පුළුවන්. ඒ වගේම මේ උපකරණය පිටතින් පෙනීම නිසා බස් රථයට නගිනවාද නැද්ද කියලා හිතා බලන්න පුළුවන්.”
ළඟාවිය නොහැකි ස්ථාන දෙකක දුර මැනීමට නිපදවූ අපූරු උපකරණයක් පිළිබඳව අපට කිව්වේ ආනන්ද විදුහලේ ඩබ්ලිව්.ඒ. තරිඳු වික්‍රමාරච්චි සිසුවයි.
“මං මේ හැදුවේ යන්න බැරි තැනක ප්‍රමාණය මැන ගත හැකි ලේසර් උපකරණයක්. මේ උපකරණය අපට යා නොහැකි තැනක වුවත් නිවැරැදිව දුර මැන ගත හැකි ය.”
වැස්ස වෙලාවට තෙමුණු කුඩයක් වාහනයක අරන් යන්න එතරම් පහසු නැහැ. මේ වෙනුවෙන් උපකරණයක් තිබුණොත් මේ සඳහා උපකරණයක් හදන්න බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ශමිල ප්‍රමෝද්‍ය නව උපකරණයක් හඳුන්වා දුන්නේ ය.
මේ උපකරණය කාර් එකක හරි ඕනෑම වාහනයක සීට් එකකට සවි කරන්න පුළුවන්.
මේ නිර්මාණය කරන්න අපි මේ වගේ උනන්දු කරනවාට රජයට ස්තූති කරනවා. ඒ වගේ ම අභියෝග රැසක් ජය අරගෙන තමයි අපි නිර්මාණ කළේ. එදා ඇති වුණු ගින්න නිසාවත් අපි කවුරුත් පස්සට ගියේ නැහැ. හොඳ දෙයක් කරන කොට අපට එන බාධක නිමක් නෑ. අපි හැමෝම හැම දෙයක්ම ජය ගත්තා.”
මේ නිර්මාණ බොහොමයකින් වැඩිහිටියන්ට ආමන්ත්‍රණය කර තිබුණි.
ඇත්තටම බැහැයි කියල දෙයක් නැත. අපි හැමෝටම පුළුවන් පරිසරයට අනුගත වෙන්න. හැම දේටම බැහැ කියන අයට දරුවන්ගෙ නිර්මාණ හොඳ විසඳුමක්. ඉලක්ක ප්‍රශ්න ආදර්ශ විසඳුම් හැරුණු විට ලෝකයේ දරුවන්ට ප්‍රගුණ කරන්න කොතෙකුත් දේවල් තියෙන බව ඔවුහු තම අත්දැකීම්වලින් පෙන්වූහ.
විවිධ නිර්මාණ අතර සුවිශේෂ දක්ෂතා දක්වන්නෝ සිටියහ. සැබෑ ලෝකයේ සැබෑවෙන් ම මෙවැනි නිර්මාණ අත්දැකිය හැකිනම් කෙතරම් භාග්‍යයක් ද? නිර්මාණ ඉතිරිවූවන් මෙන් ම නිර්මාණ විනාශ වූවන් ද මේ සඳහා එකසේ දක්ෂතාවක් දැක්වූ පුද්ගලයන් ය. එහෙත් ඔවුන්ගේ දක්ෂතා උරගා බලන්නට නිර්මාණ ඉතිරිවූයේ නැත. ඔවුන්ගේ නිර්මාණ නැවත ගොඩනඟන්නට අපේ දිරිය ද අවශ්‍යයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි