Thursday, December 12, 2013

පාසල් හා ප්‍රජාව සම්බන්ධීකරණය මගින් තොරතුරු තාක්ෂණය ලබාදීමේ වැඩසටහන ඇරඹේ

ict-2013

පාසල් හා ප්‍රජාව සම්බන්ධීකරණය මගින් තොරතුරු තාක්ෂණය ලබාදීමේ වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය ඊයේ (05)  උත්කර්ෂවත් ලෙස හෝමාගම වටරැක කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණ.
දැයේ දරුවන්ට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලු ම වරප්‍රසාද සමාන ලෙස බෙදී යාමට සැලැස්වීමේ මහින්ද චින්තනයේ උදාර ප්‍රතිපත්තිය අනුව යමින් එය අරඹන ලදී. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මගින් ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක25ම ආවරණය වන පරිදි  පාසල් 33ක් සඳහා තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 33ක් පරිත්‍යාග  කරනු ලැබීය.

(Connect aSchool Connect a Community ) ව්‍යාපෘති වැඩසටහනට අනුව  සෑම දිස්ත්‍රික්කයකටම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය  බැගින් විද්‍යාගාර 25කුත්  වතු පාසල් 8ක් සඳහාත් මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාර   ලබාදෙයි, මේ ඔස්සේ පාසල් සිසු දරුවන් 8500ක් සඳහා ප්‍රතිලාභ සැලසේ.

වැඩසටහන රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ සේවා ආයන රැසක් එකට අත්වැල් බැද ගැනීමෙන් සිදුකෙරෙනු ඇත. අහස් ඉහෙන් සයුරු තෙරෙන් එහා ලෝකයක් අපේ දරුවනට තිළිණ කර දීම අරමුණ කර ගනිමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම කටයුතු සම්පාදනය කෙරේ.ict2-2013

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග, එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ආසියා සහ ශාන්තිකර කලාපීය කාර්යාලයේ  කලාපීය අධ්‍යක්ෂ  ආචාර්ය ඉයුන් ජු කිම්, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ආසියා සහ ශාන්තිකර කලාපීය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ උපදේශක සමීර් ෂර්මා, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් ක්‍රියාත්මක කරන   පාසල හා ප්‍රජාව සම්බන්ධීකරණය මගින්  තොරතුරු තාක්ෂණය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ සලසන රටවල් පහ අතුරින් එක් රටක් වශයෙන් ශ්‍රී  ලංකාව තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ සහාය ඇතිව 2011  වසරේදී  ක්‍රිත්මක කළ අකුරැස්ස නියමු ව්‍යාපෘති වැඩසටහන  අවසන් කිරීමෙන් අනතුරුව දිවයින පුරා පාසල් 33ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ict3-2013තොරතුරු තාක්ෂණ උපකරණ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වන මෘදුකාංග සහ උපකරණ මෙම වැඩසටහන යටතේ ලබාදේ.

ict4-2013

රට තුළ යටිතල පහසුකම්වල පවතින සංවර්ධන වෙනස්කම්වලට සමාන ලෙසින් තොරතුරු තාක්ෂණයේ ද විශාල පෙරළියක් සිදු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා පැවසීය. ජනාධිපති ලේකම්වරයා එහිදී තවදුරටත් පවසා සිටියේ 2004 ජනාධිපතිතුමා බලයට පත්වන මුල් අවධිය වන විට රට තුළ තොරතුරු තාක්ෂණ හැකියා මට්ටම 3.9%ක් වැනි අවම මට්ටමක පැවතුන බවත්,ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා පවසා සිටියේ ලංකාවේ තොරතුරු තාක්ෂණය  ගමට රැගෙන යන තුරු එය කවදාවත්ම  දියුණු කළ නොහැකි බවයි. ''මේ රටේ ග්‍රාමීය ජනතාව 70%ක්  සිටිනවා. ගමට තොරතුරු තාක්ෂණය රැගෙන යාමෙන් විශාල පිරිසකගේ තොරතුරු තාක්ෂණ හැකියානවන් වර්ධනය වනවා. එමෙන්ම තොරතුරු තාක්ෂණය ගමෙන් ඈත් කර තබන තාක් කල් කවදාවත්ම ගමේ දරුවෙකුට මෙම විශ්ව ගම්මානයට යාමට නොහැකිය යන ජනාධිපතිතුමන්ගේ ආකල්පය මත මෙම තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ක්‍රියාත්ම වී ඇත. ''ICT2013-233

අද වන විට ගමට තොරතුරු තාක්ෂණය ගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ ආරම්භ කෙරුණ නැණසල මධ්‍යස්ථාන ඉතාමත් දියුණු මට්ටමක පවතී. මෙවර අයවැයෙන් රුපියල් බිලියනයක් වෙන් කෙරුණේ තවත් දිවයිනපුරා නැණසල මධ්‍යස්ථාන දහසක් පමණ සැකසීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. මෙම වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම නැණසල මධ්‍යස්ථාන අවම වශයෙන් තුනක් වත් ආරම්භ කිරීමට ඉදිරියේදී පියවර ගෙන ඇත.


ග‍්‍රාමීය සහ නාගරික ප‍්‍රදේශ අතර තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත‍්‍රයේ පවත්නා පරතරය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වේ. තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය  සමාජීය සහ ආර්ථිකමය සංවර්ධනය කඩිනම් කිරීමෙහිලා පෙර නොවූ විරූ අවස්ථා සපයන  නමුත් වර්තමානයේදී  තොරතුරු සහ සන්නිවේන තාක්‍ෂණය සඳහා  ප‍්‍රවේශවීම අවමවීම සහ ප‍්‍රායෝගික දැනුමේ ඌනතාවය  ප‍්‍රජාව තවදුරටත් අවධානයට ලක් නොවීමට හේතු වී ඇත.

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මෙම පාසල සම්බන්ධීකරණය කරගත්  තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ මධ්‍යස්ථාන ග‍්‍රාමීය දුෂ්කර සහ ඌන සංවර්ධිත ප‍්‍රදේශවල ජීවත්වන කාන්තාවන්, අවධානයට ලක් නොවූ ජනතාව, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වැනි  අවධානයට ලක් නොවූ  සහ පීඩාවට පත් කණ්ඩායම්වල සමාජ සහ ආර්ථික සංවර්ධනය සාක්‍ෂාත් කිරීම සඳහා ඔවුන් සවිබල ගන්වන  ඉතා  වැදගත් සම්බන්ධතාවක් සපයනු ලබන   ප‍්‍රජාව  සම්බන්ධීකරණය කර ගත් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ මධ්‍යස්ථාන බවට පත් කිරීම සහ ව්‍යාප්ත කිරීම මෙම ව්‍යාපෘතියෙන් තවදුරටත් අපේක්‍ෂා කෙරේ.

පාසල් ප‍්‍රජා අධිවේගී අන්තර්ජාල  තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ  මධ්‍යස්ථාන ලෙස සේවය සැපයීම පිණිස   සවිබලගැන්වීම සඳහා සම්බන්ධතාවය ප‍්‍රවර්ධනය කිරීමේදී මතුවන ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳව පූර්ණ අවධානය මෙම වැඩසටහන යටතේ යොමුවේ.

තාක්‍ෂණය අවබෝධ කර ගැනීම සහ ක‍්‍රියාත්මක කිරීමට අදාළ ප‍්‍රතිපත්ති සහ නියාමන පිරිවැය විශ්ලේෂණය ,අඩු පිරිවැය පරිගණක මෙවලම් වැනි අවසාන භාවිතා කරන උපකරණ වලට ප‍්‍රවේශවීමට ගුරුවරුන් සහ දේශීය ප‍්‍රජා සාමාජිකයන් සඳහා මූලික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ පුහුණුව ලබාදීම, ළමයින් සඳහා ආරක්‍ෂිත මාර්ග ගත සහ භෞතික පරිසරයක් සැපයීම, විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් සඳහා සහ සම්බන්ධක තාක්‍ෂණය  සහ ප‍්‍රවේශ විය හැකි පරිසරයක් සැපයීම සහ අධ්‍යාපනය සඳහා සංවර්ධනය  සහ ප‍්‍රවේශය සහිත අන්තර්ගතයන් සැපයීම මෙම වැඩසටන යටතේ ක්‍රියාත්මක වේ.

මෙය සාක්‍ෂාත් කිරීම පිණිස ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය සහ ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පරිගණක, ස්කෑන් යන්ත‍්‍ර, අනෙකුත් අවශ්‍ය දෘඩාංග සහ මෘදුකාංග මෙන්ම පරිගණක මධ්‍යස්ථාන වලට භාණ්ඩ ලබා දීම, විදුලි  පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ඇත.

මෙම ව්‍යාපෘති දිගු කාලීනව  පවත්වාගෙන යාම පිණිස පාසල් වලට පරිගණක විද්‍යාගාරවල නඩත්තු  සහ මෙහෙයුම් කටයුතුවල වගකීම පවරමින්  ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙම පාසල් සමඟ ගිවිසුමකට එළැඹෙනු  ඇත. බලපත‍්‍රලාභී දූරකථන ක‍්‍රියාකාර සමාගම් විසින් දැරිය හැකි සහනදායි මිල ගණන් යටතේ මෙම පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ.

එනූෂා බණ්ඩාර

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි