Monday, December 28, 2015

පේටන්ට් අයිතිය ගැන කියැවෙන අරුම පුදුම කථා


නිර්මාණකරුවකුගේ හිමිකම් ආරක්ෂා කර දෙන පේටන්ට් බලපත්‍රය පිළිබඳ නොදෙන්නකු නොමැති තරම්ය. පේටන්ට් බලපත්‍රයක් යනු නව නිපැයුමකට එහි නිපැයුම් තාක්ෂණය පිළිබඳ අයිතිවාසිකම් නිශ්චිත කාලයකට පවරමින් රටක රජයක් විසින් ලබා දෙන බලපත්‍රයකි. ලෝකයේ සෑම රටකම පාහේ නව නිර්මාණ වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පිරිනැමෙන අතර ලෝක බුද්ධිමය දේපළ සංවිධානය මේ හා සම්බන්ධ අන්තර්ජාතික නීති හඳුන්වා දී තිබේ.
නව නිර්මාණ තුළින් ලෝකය ජයගත් විශිෂ්ටයන් හේතුවෙන් ලෝකයේ වෙසෙන බිලයන ගණනක ජනතාවගේ ජීවිත වඩාත් සුවපහසු වී ඇති අතර එවැනි ඇතැම් නිර්මාණ නොවන්නට ඇතැම් කාර්යයන් ඉටු කර ගැනීම අපට අද සිහිනයක් වන්නට ඉඩ තිබිණි. එසේම නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා මෙන්ම ඔවුන්ගේ පේටන්ට් බලපත්‍ර හා බැඳුණු අරුම පුදුම කථා ලෝකයේ සෑම රටකින්ම පාහේ අසන්නට ලැබේ. එවැනි කථා කිහිපයකි මේ.
ලොව ප්‍රමුඛ පෙළේ විදුලි මෝටර් රථ නිපදවන්නකු වන අමෙරිකාවේ ටෙස්ලා මෝටර් රථ සමාගම තමන් සතු පේටන්ට් අයිතීන් 2014 වසරේ දී මහජන අයිතියට පත් කළේය. ඒ විදුලි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙනි. යහපත් චේතනාවකින් යුක්තව විදුලි මෝටර් රථ නිපදවීම සඳහා ටෙස්ලා තාක්ෂණය යොදා ගන්නා කිසිවකුට එරෙහිව බුද්ධිමය දේපළ නීතිය යටතේ කටයුතු කිරීමට ඉදිරිපත් නොවන බවත් ටෙස්ලා සමාගම සිය පේටන්ට් අයිතිය මුදාහරිමින් නිවේදනය කළේය.
ලේසර් තාක්ෂණය ලොවට හඳුන්වා දුන් ගෝර්ඩ්න් ගුඩ් එහි නිර්මාණ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදයේ පේටන්ට් කාර්යාලය සහ ලේසර් නිෂ්පාදකයන් සමඟ වසර 38ක් සටන් කළේය. ගුඩ් විසින් 1957 වසරේ දී ලේසර් තාක්ෂණය සොයා ගනු ලැබුව ද 1960 වසරේ දී එහි අයිතිය වෙනත් පුද්ගලයන් දෙදෙනකුට පිරිනමා තිබිණි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කළ සටනකින් අනතුරුව අවසානයේ දී ලේසර් තාක්ෂණය සහ සබැඳි තාක්ෂණය උදෙසා පේටන්ට් අයිතිය ගෝර්ඩ්න් ගුඩ් හට පිරිනැමිණි.
අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ද පේටන්ට් බලපත්‍ර හිමියකු බව කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එහෙත් 1849 මැයි 22 වැනි දා ලින්කන් හට පේටන්ට් හිමිකමක් ලැබුණේය. ලින්කන් හට අංක 6469 දරන පේටන්ට් බලපත්‍රය හිමිව ඇත්තේ ගංගාවන්හි වැලි කඳු බාධක තරණය කළ හැකි යාත්‍රාවක් නිර්මාණය කිරීම වෙනුවෙනි. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය දරමින් සිටිය දී පේටන්ට් බලපත්‍රයක් හිමි වූ එකම අමෙරිකානු ජනාධිපතිවරයා ද ලින්කන් වේ.
රථ වාහනවල ගමන් කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලොව පුරා භාවිත කෙරෙන තුන් පොළකින් ඈඳුණු ආසන බඳ පටි (ඉඥචබ ඕඥතබ) හි නිර්මාපකයා වන්නේ වොල්වෝ සමාගමේ ඉන්ජිනේරුවකු ලෙස සේවය කළ නීල් බොහ්ලින්ය. වඩාත් වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථ නිපදවීම කෙරෙහි මෝටර් රථ සමාගම් අවධානය යොමු කිරීමත් සමඟ වේගයත් සමඟ ඇති විය හැකි අනතුරු අවම කර ගත හැකි අවධානය යොමු කළ පිරිස අතර නීල් බොහ්ලින්ට ද ප්‍රමුඛස්ථානයක් ලැබුණේය.
ඒ අනුව ඔහු කළ පර්යේෂණ ඇසුරින් නිපද වූ මෙම ආසන බඳ පටිය 1885- 1985 සියවස තුළ මානව සංහතියට වැඩිම සේවාවක් කළ නව නිර්මාණ අට අතරට ඇතුළත් විය. ආසන බඳ පටිය පිළිබඳ පේටන්ට් අයිතිය වොල්වෝ සමාගම විසින් අතහරින ලද්දේ අනෙකුත් මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලටත් එම නිර්මාණය යොදා ගැනීමට ඉඩ සලසමිනි. එය මනුෂ්‍ය සංහතියේ යහපත උදෙසා ගත් අති මානුෂික පියවරක් විය. මෙම ආසන බඳ පටිය මිලියන ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට ඉවහල් වී තිබේ.

http://www.silumina.lk/2015/12/27/_art.asp?fn=nv1512274

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි