Wednesday, July 17, 2013

නොමිලයේ

පාසල් දරුවන්ට විටමින් නොමිලයේ

පාසල් දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමේ අරමුණෙන් විටමින් වර්ග රැසක් නොමිලයේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
යකඩ පෙති, ෆෝලික් අම්ලය, විටමින් සී යනාදි පෙති වර්ග පාසල් දරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් දරුවන්ගේ හීමොග්ලොබින් ඌනතාව අවම කිරීම සඳහා ‍මේ විටමින් වර්ග අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පෝෂණය හා යෞවනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මිය පැවැසුවාය.
අවුරුද්දේ සති 24 ක් එනම් මාස හයක් එක දිගට දරුවන්ට මේ විටමින් වර්ග ලබාදීමෙන් ඔවුන්ගේ කඩිසර බව, මතක ශක්තිය, පාඩම් වැඩවලට පවතින අවදානය ඉහළ නැංවීමට හැකි වන බව ද ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
සිරුරේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා ඔක්සිජන්වල ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය බවත් නිසියාකාරව ඔක්සිජන් සිරුර තුළ ක්‍රියා කිරීම සඳහා හීමොග්ලොබින් අවශ්‍ය බවත් ඇය පැවැසුවාය. ඖෂධවලින් ලැබෙන විටමින් වර්ගවලට වඩා ආහාරවලින් සිරුරට ලැබෙන විටමින් වර්ග වඩාත් වටින්නේ යැයි ද වෛද්‍ය ලොකුබාලසූරිය මහත්මිය කීය.
ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය යටතේ පාසල්වල ගුරුවරුන්ට මේ විටමින් වර්ග ලබාදීම සිදුකෙරේ. ගුරුවරු මඟින් දරුවන්‍ට මේ විටමින් වර්ග ලබාදීම සිදුකෙරේ. පසුගිය කාලයේ මේ විටමින් වර්ග ලබාදීම සිදු‍කළේ 7 සහ 10 ශ්‍රේණිවල දරුවන්ට පමණක් වුවත් වර්තමානය වන විට පාසල්වල සියලුම දරුවන්ට මේ විටමින් වර්ග ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සන්ධ්‍යා කරුණාරත්න

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි