Sunday, August 10, 2014

ඉදුණු ජම්බු

ඉදුණු ජම්බු

සංජු හරිම දඟකාර ළමයෙක්. එයාට තවම අවුරුදු පහයි. සංජුලගේ ගෙදර තිබුණේ ලස්සන ගම්මානයක. ඒ ගමේ සුන්දරත්වය කොයි කාගෙත් සිත්ගන්න සමත් වුණා. සංජුගේ ගෙදර හිටියේ එයයි අම්මයි අප්පච්චියි විතරයි. සංජුගේ අප්පච්චි හැමදාම උදෙන්ම නැඟිටලා කුඹුරට යනවා. උදෙන් ගිය අප්පච්චි ආපහු ගෙදරට එන්නේ රෑ බෝ වීගෙන එන සමයටයි. ඉතින් ඒ හින්දා ගෙදර ඉන්නේ සංජුයි එයාගේ අම්මයි විතරයි. සංජු තවම ඉස්කෝලේ නොයන නිසා එයාගේ අම්මා එයාට පාඩම් කරන්න හෝඩි පොතකුත් ගෙනවිත් දී තිබුණා. ඒත් එයා නෙමේ ඒක අතකින්වත් අල්ලන්නේ. එයාගේ වැඩේම සෙල්ලම් කරන එක. අල්ලපු ගෙදර චූටි අයියත් සමහර දවස්වලට එයා එක්ක සෙල්ලම් කරන්න එනවා. එයාට නම් සංජු කැමතියි. මොකද චූටිත් එයා වගේම දඟයි නේ.
“පුතේ... මං ඉක්මනට කුඹුරට ගිහින් එන්නම්. එතකල් පුතා දඟ කරන් නැතුව ගෙට වෙලා ඉන්න”
කුඹුරේ වැඩ කරන අප්පච්චිට ඇඹුල අරගෙන යෑමට සූදානම් වූ අම්මා කිවුවා. අම්මා සංජුගේ ඔළුව අතගාගෙන කඩුල්ලෙන් පිටව යන තුරුම සංජු බලන් හිටියේ සංතෝෂයෙන්. ඇයි ඉතින් අම්මා ගියාම එයාගේ දඟ වැඩවලට තහංචි දාන්න කවුරුත්ම නෑනේ. සංජු දුවලා ගියේ ගෙදර එහා පැත්තේ ජම්බු ගහ ගාවට. මේ බක් මාසය නිසා ගස්වල ගෙඩි පිරිලා. රතු පාටට පොකුරු පොකුරු ජම්බු මුළු ගහ පුරාම පිරිලා. ජම්බු ගහේ අත්තක හිටපු ලේනකු රතුම රතු පාට ජම්බු ගෙඩියක් කනවා දැකපු සංජුගේ කටට කෙළ ඉනුවා. සංජුටත් ඉදුණු ජම්බු කන්න ආසාවක් ඇතිවුණා. ඒ වුණාට අම්මා නම් සංජුට ජම්බු කන්න දෙන්නේ නෑ. පොඩි ළමයි ජම්බු කෑවම අසනීප වෙනවා කියලා තමයි සංජු ගේ අම්මා කියන්නේ. ඒ වුණාට සමහර දවස්වලට චූටි අයියා අම්මට හොරෙන් සංජුට ඉදුණු ජම්බු ගෙනැල්ලා දෙනවා. ඒත් අද සතියේ දවසක් නිසා චූටි අයියත් ඉස්කෝලේ ගිහිල්ලා කියලා මතක් වුණු සංජුට දුක හිතුණා. සංජු මොකක්ද කරන්නේ කියලා කල්පනා කළා.
එයාට ඕනෑ වුණේ අම්මා එන්න ඉස්සරවෙලා ජම්බු කන්නයි.
“ජම්බු කන්න නම් ගහට නඟින්නම වෙනවා. චූටි අයියට පුළුවන් නම් මට බැරි ඇයි? කොහොමත් අම්මා එන්න ඉස්සර වෙලා කඩාගන්න ඕන.” කියලා හිතපු සංජු ජම්බු ගහට නඟින්න හිතාගත්තා. අතුපතර බෙදී ගිය කුඩා ගසක් වූ එයට සංජු අඩිය තිබ්බේ බයෙන් බයෙන්. කොහොම හරි ජම්බු තිබුණ අත්තකට නැඟගන්න එයාට පුළුවන් වුණා. ඉදුණු ජම්බු ගෙඩි පොකුරක් දැකපු සංජු එය කඩා ගන්න ඇඟිලි තුඩුවලින් ඉස්සුණා. ඒ එක්කම එයාගේ කකුල ලිස්සලා ගිහින් එයා ගහෙන් බිමට වැටුණා. බිමට වැටෙනකොට ගස මුල තිබුණ ලී පතුරක් ඇනිලා සංජුගේ කකුල තුවාල වුණා. කකුලේ තුවාලෙන් ලේ එන බව දුටු සංජු හොඳටම අඬන්න පටන් ගත්තා.
සංජුගේ හැඬුම් හඬ ගෙදර කඩුල්ල පනිද්දිම එයාගේ අම්මට ඇහුණා. අම්මා ඉක්මන් ගමනින් ජම්බු ගහ යටට ආවා. අම්මා දැකපු සංජු තවත් හයියෙන් අඬන්න පටන් ගත්තා. අඬමින් හිටපු සංජු ගැන අම්මට දුක හිතුණා. සංජුව ගෙදරට එක්ක ගිහින් තුවාලේ පිරිසිදු කරලා එයට බෙහෙත් දැම්මා. සංජුට අම්මා එක්ක කතා කරන්නත් ලැජ්ජයි. ඇයි ඉතින් අම්මා එපා කියපු දෙයක් කරලනේ තුවාල කරගත්තේ. අම්මා කිසිවක් නොකියාම තමන් දිහා බලාගෙන ඉන්න අයුරු සංජු දැක්කා.
“මං මීට පස්සේ අම්මා එපා කියපු මුකුත් කරන්නෑ” සංජු අම්මා දිහා බලාගෙන කිවුවම එයාගේ අම්මා එයාව ආදරෙන් ළඟට ගෙන හිස අතගෑවා.
එස්.එච්.දිල්ශානි
12 ශ්‍රේණිය ‘බී’,
රිපන් බාලිකා විද්‍යාලය,
ගාල්ල.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි