Tuesday, August 12, 2014

ඉගිලෙන රෝද ලද දරුවෙක්

ඉගිලෙන රෝද ලද දරුවෙක්

ළමාවිය යනු ජීවිතයේ සුන්දරතම අවධියයි. එහි මතක සටහන් පසු කලෙක ජීවිතයේ සියළු ජයග්‍රහණයන් හා පරාජයන් විඳ ගැනීමේ තීරණාත්මක සලකුණු සටහන් කරන්නකි. බොහෝ වියපත් මිනිසුන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් සොයා බලද්දී ළමා විය විසින් ඔවුනට ලබා නොදුන් බොහෝ කරුණු හෝ සාංකාවන් ඔවුනගේ ජීවිත කාලය පුරා පවතිනු දැකිය හැක්කේය. ලෝක සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැලකෙන ඕසන් වේල්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිටිසන් කේන් චිත්‍රපටය ළමාවියේ සාංකාව පිළිබඳ කදිම විවරණයක යෙදේ. සිටිසන් කේන් එතැනින් එහා සිනමාකරණය පිළිබඳ දෘශ්‍ය පාඩමක් ද මිනිස් ජීවිතයේ ප්‍රබල විවරණයක් ද ගෙන එන බව සැබෑවකි. එයට පාදක වනුයේ විලියම් ෆොස්ටර් කේන් නම් මහා ධනවතාගේ මරණ මංචකයෙහිදී පැවසෙන රෝස කැකුලක් නම් කුඩා වදන ඔස්සේ අනාවරණය කරන ජීවිත විවරණයකි. එහෙත් සිටිසන් කේන් යනු ළමයකුට පහසුවෙන් රස විඳිය හැක්කක් නොවේ. එය ජීවිත අත්දැකිම් හා වයසින් මුහුකුරා ගොස් නරඹද්දී එම අත්දැකීම් සමඟ වරින් වර එහි ඇති මානයන් වෙනස් කරගත යුතු වර්ගයේ චිත්‍රපටයකි.
පසුගිය සතියේ මට හදිසියේ නරඹන්නට ලැබුණු නවතම හින්දි චිත්‍රපටයක් එකී ළමා විය පිළිබඳ කදිම විවරණයක් නැතහොත් කදිම අත්දැකීමක් ගෙන ආවේය. හින්දි චිත්‍රපටයක් වුව එහි අතිශය ජනප්‍රිය ඉන්දියානු තාරකාවෝ නොවූහ. එහෙත් එය ලොව පුරා බෙදා හැරීමේ කටයුත්ත සිදු කරනු ලබනුයේ ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ ආයතනයයි. එය ලෝකයේ ප්‍රධාන චිත්‍රපට ආයතන 10 න් එකක් වන ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ ඉන්දියානු ශාඛාවයි. එමඟින් ලොව පුරා තිළිණ කළ මෙම නවතම චිත්‍රපටය නම් කොට තිබුණේ හවා හවායි යනුවෙනි. හවා හවායි යන වචනය ඇසෙද්දී අප් මතකයට නැඟෙනුයේ මෙයට විසි වසරකට පෙර අතිශය ජනප්‍රිය වූ මිස්ටර් ඉන්දියා චිත්‍රපටයේ එන හවා හවායි ගීතයයි. කෙසේ වෙතත් හවා හවායි චිත්‍රපටයත් ගීතයත් අතර සම්බන්ධයක් නැත. මේ චිත්‍රපටය ඉංගී‍්‍රසියෙන් නම් කොට ඇත්තේ ෆ්ලයින් වීල් යනුවෙනි. ඒ ‘ඉගිලෙන රෝදය’ යන්නය.
මෙම චිත්‍රපටය ඇරැඹෙනුයේ අවුරුදු 10 ක 12 ක පමණ කොලු ගැටයෙකු කුඩා අවන්හලකට රැකියාවකට පැමිණීමත් සමඟය. පියකරු ගැහැනියක වූ ඔහුගේ මව මේ දරුවා බාර දෙනුයේ හිත් වේදනාවත් සමඟය. පාර අයිනේ ඇති කුඩා අවන්හල් ඉන්දියාවේ නවදිල්ලිය, මූම්බායි, කොල්කටා ඇතුළු බොහෝ නගරවල අතිශය ජනප්‍රියය. තරාතිරම නොබලා ඒවායින් තේ බොන්නන් එමටය. අපේ රටේ බොහෝ හෝටලවලද ඇති අශෝක් ග්ලාස් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන වීදුරුවල ගෙන එන මේ තේ ඉතා ප්‍රණීතය.
කුඩා කොලු ගැටයාට තිබෙන්නේ තරමක් අකාරුණික යැයි පෙනෙන තම මුදලාලිගේ විධානයන් මැද යුහුසුළුව පාරිභෝගිකයන්ට තේ වීදුරු ලබා දීමයි. තම දරුවා කෙරෙහි උපන් අනුකම්පාවෙන් අම්මා පුතු ආපසු කැඳවාගෙන යන්නට සැරසුන ද එයට අකැමැති වන දරුවා සිනහමුසු මුහුණින් සිය වගකීම බාර ගනියි. කොලු ගැටයා අර්ජුන් හරිශ්චන්ද් වග්මාරේ නම් වන්නකි. මේ නම ප්‍රතාපවත් එකකි. එතැන් පටන් අප දකිනුයේ මේ කුඩා කොලු පැටියා සිය ඉරණමට එරෙහිව තරග වදින අන්දමය. අවන්හල අසල ඇති ක්‍රීඩාංගණයට රෝලස් ස්කෝටින් ක්‍රීඩාවට (රෝද සහිත පාවහන්) එන දරුවන් රැසකි. මේ ක්‍රීඩාවේ යෙදෙනුයේ ඉතා ධනවත් දරුවන්ය. ඔවුන් පැමිණෙන්නේ සුඛෝපභෝගී වාහනවලිනි. අර්ජුන් මෙන්ම මහ පාරට වැටුණු තවත් දරුවන් සිව් දෙනෙක් මේ සෙල්ලම බලා වින්දනයක් ලබයි. එහෙත් ක්‍රීඩාවේ යෙදෙන්නට නොහැකි වන්නේ එකී පාවහන් යුගල ඉන්දියානු මුදලින් රුපියල් 25000 ක් පමණ වන බැවිනි. එහෙත් ඉලක්කය අතහරින්නට පොඩි එවුන් කැමැති නැත. කුණු ගොඩකින් සොයා ගන්නා පරණ සපත්තු ජෝඩුවක්, ඉවත දමන ලද රෝද කිහිපයක් ද සොයා ගෙන කදිම පාවහන් යුගළක් නිර්මාණය කිරීමට මේ පොඩි ඇත්තන් සමත් වෙති. ක්‍රීඩාවේ පුහුණුකරු පාදයක් කඩා ගත් කොල්ලෙකි. ඔහු අර්ජුන්ගේ ක්‍රීඩා විලාසය දැක ගනියි. මේ චිත්‍රපටය පුරා මා දකින විශේෂත්වය නම් මේ දරුවන්ගේ ඉලක්කයට එරෙහි වන කිසිවකු හෝ නොමැතිවීමයි. සම්ප්‍රදායානුකූලව තැනෙන චිත්‍රපටයක නම් කඩේ මුදලාලිගේ සිට මෝටර් රථයෙන් පැමිණෙන ධනවත් දරුවා දක්වා සියලු දෙනා මේ හාදයාට විරුද්ධ විය යුතුය. එහෙත් අර්ජුන්ට විරුද්ධව කිසිවකු නැත. චිත්‍රපටයේ එන වඩා නාටකීය රිද්මය ඉස්මතු කරනුයේ එකී ගැටීමක් ඇති නොකර ගනිමිනි. ලෝකය යනු වඩා ආදරය කළ යුතු ස්ථානයක් යැයි මේ අපූරු චිත්‍රපටය නොපැකිලව කියා දෙන්නේය. ඉතාම විශිෂ්ට ගනයේ තිර නාටකයක් වන එහි අධ්‍යක්ෂණය සහ තිර රචනය අමෝලේ ගුප්තා ගෙනි. ඔහු අමීර් ඛාන් නිර්මාණය කරන ලද තාරේ සමින් පාර් චිත්‍රපටයේ තිර නාටක රචකයාය. එමෙන්ම එහි සැඟව සිටි නිර්මාණ අධ්‍යක්ෂවරයා ඔහු යැයි ද පැවසේ. මීට පෙර ඔහු නිර්මාණය කරන ලද ස්ටැන්ලි කා දබ්බා නමැති ළමා චිත්‍රපටය ද අතිශය සාර්ථක වූවේය. තාරේ සමින් පාර් චිත්‍රපටය සඳහා අමොල්, ෆිල්ම්ෆෙයාර් ඇතුළු සම්මාන රාශියක් දිනා ගත්තේය. නළුවකු හැටියට ඔහු කාමිණී චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම දුෂ්ඨයා ලෙස නාම යෝජනා දිනා ගත්තේය. එහෙත් ඔහු සිනමාකරුවකු ලෙස නම රඳවා ගත්තේ මේ ළමයින් කේන්ද්‍ර කොටගත් චිත්‍රපට හරහාය. වර්තමානයේ ඉන්දියානු ළමා චිත්‍රපට සංගමයේ සභාපති ධූරය දරන්නේ අමොල්ය.
හවා හවායි චිත්‍රපටයේ අර්ජුන් ලෙස රඟපානුයේ අමොල්ගේ පුතු පරිතෝ ගුප්තාය. ස්ටැන්ලි කා දබ්බා චිත්‍රපටයට ස්ටැන්ලි වූයේ මේ පරිතෝමය. කුඩා පරිතෝ තාත්තාගේ චිත්‍රපටය නම් ජාඩියට රංගනයෙන් ගැලපෙනම මූඩියකි. බොහෝ ළමා චිත්‍රපට අපට දක්නට ලැබෙනුයේ ළමයාට එරෙහි වන ලෝකයක් හා ජය ගැනීමය. එය වූ කලී නොසංසිඳෙන වෛරය ක්‍රෝධය ද සමහර විට හීනමානය ද ඇති කරන්නක් බැව් බොහෝ ළමා චිත්‍රපට බලද්දී මට පෙනෙන්නකි. එමෙන්ම එබඳු තිර රචනයක් ලිවීමත් පහසුය. එහෙත් හවා හවායි කිසි කලෙකත් එම ගණයට දමන්නට හැකියාවක් නැත. එය ජීවිතයට ආදරය කරන හැටි උගන්වයි. කලකට ඉහත ඇසුණු කරුණාරත්න දිවුල්ගනේ ගැයූ රත්න ශ්‍රී විජේසිංහ ලියූ ගීතයක අපූරු පදමාලාව සිහිගන්වන්නට කැමැත්තෙමි.
 
‘ඝන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි’
දරුවනට කතා කියා දීම පහසු කටයුත්තක් නොවේ. දරුවන්ට පොත් ලිවීම ද පහසු සෙල්ලමක් නොවේ. දරුවකු බලා ගැනීම ද පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම දරුවකුට චිත්‍රපට හැදීම ද පහසු කටයුත්තක් නොවේ. මේ නිසාම බොහෝ ළමා චිත්‍රපට නරඹද්දී අතරමඟ නැගිට යාම මා අතින් සිදුවන්නකි. හවා හවායි චිත්‍රපටය දීර්ඝ කාලයකට පසු එකහෙලා නරඹන්නට ලැබුණු අපූරු නිර්මාණයක් වූයේ එහි එන කිසිදු චරිතයක් අප නොදන්නා චරිත ද නොවීමයි. අර්ජුන් ඇතුළු ඔහුගේ මව ද නගරයට පැමිණ ඇත්තේ වෙනත් බොහෝ මිනිසුන්ට සිදුවන ඉරණමට මුහුණපෑමෙන් පසුවය. මේ කිසිවක් ජීවිතය කඩ වැටීමට හෝ උකටලීව සිටින්නට හෝ හේතු වන කාරණා නොවේ. අතීතය විටෙක සිත පාරවන සිදුවීම්වලින් ගහන විය හැකිය. එහෙත් එය සිත සිතා ළතවන්නට කාරණාවක් නොවේ. එසේ ළතැවීම පැරදීමට නැතහොත් ප්‍රමාදයට හේතු විය හැක. අර්ජුන්ගේ චරිතය එහි කූටප්‍රාප්තියේදී මේ බව මනාව ඉස්මතු කරවයි. වසර ගණනාවකට පෙර මා දුටු බිමල් රෝයිගේ ‘දෝ බිගා සමීන්’ චිත්‍රපටයේ ගම අතහැර නගරයට එන්නේත්, අර්ජුන්ගේ පවුල නගරයට එන්නේත් එකම හේතුවකිනි. එහෙත් ඔවුන් ජීවිතයට මුහුණ දෙන්නේ දෙයාකාරයෙනි.
තොග ගණනේ මාසිකව බොලිවුඩ් සිනමාවේ කුණු කන්දල් අපේ ප්‍රේක්ෂකයාට වත්කරන මෙරට ටෙලිවිෂන් නාලිකාවන් හවා හවායි වැනි චිත්‍රපටයක් විකාශය කරවන්නේ නම් එය යහපත්ය. බල්ලෙකුටවත් බලා සිටිය නොහැකි ඇතැම් කබල් නිිර්මාණ සිංහලෙන් දෙබස් කවා පාසැල් කාලයේදී ළමා නිර්මාණ යැයි පෙන්විම මෑත කාලයේ ටෙලිවිෂන් පුරුද්දක් කොට ඇත්තේය. පාසල් නිවාඩු කාලයේ ළමයින් වසඟ කරන්නට පහසුම ක්‍රමය එය යැයි බොහෝ දෙනා සිතනවා විය හැකිය. එහෙත් හවා හවායි වැනි චිත්‍රපටයක් අපේ දරුවනට වැඩිහිටියනට පමණක් නොව සිනමාකරුවන්ට ද යහපත් අත්දැකීමක් වනු ඇත.

http://www.sarasaviya.lk/2014/08/07/?fn=sa14080712

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි