Wednesday, August 13, 2014

ටීචර්ලා පස් දෙනාගේ ළමා රෝහලේ ඉස්කෝලේ


පුංචිවුන්ගේ බෑඟිරි හඬ ඉස්පිරිතාලෙ දෙවනත් කරන තරම්.
ළතෝනියක් තරමට හද පාරන ඒ වේදනාබර ඇඬුම් හඬ, දරුවො ළඟ ඉන්න අම්මලගෙ විතරක් නෙවෙයි අහන් ඉන්න කාගෙ වුණත් දෑස් කඳුළින් පුරවනවා.
අම්මලත් දරුවොත් එකට හඬන මේ වේදනාබර අත්දැකීම හරියට චක්කරයක් වගෙයි. කට්ටියක් සනීප වෙලා ගෙදර යද්දී ආපහු කට්ටියක් රෝහලට එනවා. හැමදාමත් වාට්ටු පිරෙනවා.
වේදනාවෙන් හඬන දරුවෝ හෙළන ඒ කඳුළු කැට, හැමදාමත් එකතු වෙලා විලක් හැදුණා. පහුගියදාක ඒ කඳුළු විලේ මලුත් පිපුණා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෑගසමින් හඬපු - විඳවපු දරුවෝ, ටිකෙන් ටික සුවපත් වෙද්දී රෝහල් ඇඳ උඩ ඉඳන් ඇඳපු චිත්‍ර, කතන්දර, රචනා, කවි සිතිවිලි ‘කඳුළු සිනා මල්’ නමින් පොතක් වෙලා දොරට වැඩියා. ඒ වෙද්දී සනීප වෙලා ගෙදර ගිහින් හිටපු පොඩිත්තො හුඟ දෙනකුත් එදා රෝහලට ආවේ කඳුළු විලේ පිපුණු ඒ මල් දකින්න.
හැමදේම කළේ වින්ද්‍යා ටීචර්.
ටීචර් කෙනෙක් මොනව ද රෝහලේ කරන්නේ... රෝගි දරුවන්ට අලුත් අත්දැකීමක් අරන් වින්ද්‍යා ටීචර් ඇතුළු තවත් ටීචර්ලා හතරදෙනෙක් ළමා රෝහලට ආවේ පහුගිය අවුරුද්දේ.
ඒ කියන්නෙ ළමා රෝහල ඇතුළෙත් දැන් ඉස්කෝලෙ පැවැත්වෙනවා.
අතපය කඩාගෙන... හදිසි අනතුරුවලට මුහුණ දීලා එහෙමත් නැතිනම් බරපතළ සැත්කම්වලට මුහුණු දුන්නු හෝ මොනයම්ම ලෙඩක් හැදුණ වුණත් සංකීර්ණ තත්ත්වයට පත්වූ දරුවෝ ළමා රෝහලට එන්නේ ලංකාවේ හතර අතින්. එහෙම එන පොඩිත්තෝ සති ගණන් මාස ගණන් ඉස්පිරිතාලෙ ඉන්නකොට ඒ අයට අහිමි වන පාසල් අධ්‍යාපනය ගැන මීට වසර කිහිපයකට එපිට කතිකාවක් ඇති කළේ ළමා රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, හේමමාලි පෙරේරා මහාචාර්ය තුමිය. දරුවො සම්පූර්ණයෙන්ම සුවපත් වනතුරු ඒ අයට අහිමි වන පාසල් අධ්‍යාපනයත් රෝහලේදීම ලබා දෙන්න වැඩ පිළිවෙළක් ඕනෑ... කියන ඒ සටනට දිරි දුන් වෛද්‍ය ලින්ටන් පද්මසිරි, ළමා රෝහලේ අධ්‍යක්ෂතුමා ඒ යෝජනාව ප්‍රායෝගිකයක් වන තුරුම ක්‍රියා කළේ එක සිතින්.
“ළමයෙක් රෝහල් ගත වුණාම ඔවුන්ගේ පාසල් කටයුතුවල යම් පසුබෑමක් ඇති වනවා. සමහර වෙලාවට දරුවන්ට මාස දෙකේ තුනේ රෝහල් ගතවෙලා ඉන්න සිදු වෙනවා. ඈත පළාත්වලින්, ගම්වලින් එහෙම ආ දරුවන්ට රෝහලේදීම ඒ විෂය නිර්දේශය ආවරණය කරගන්න ලැබෙන එක ලොකු සහනයක්. දෙමවුපියන් පවා මේ ගැන නිතර ඉල්ලීම් කළා. මහාචාර්ය තුමියගේත් උදව් ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහාය ඇතිව අවසානයේ අපිට ගුරුතුමිලා හතර දෙනෙක් ලැබුණා.
සමහර වෙලාවට දරුවන්ගෙන් වාට්ටු පිරිලා. පුළුවන් හැටියට වාට්ටුවල එක තැනක් පන්ති කාමරයක් විදියට හදලා දීලා වැඩේ පටන් ගත්තා.
ඇත්තටම මේ වැඩේදී ඒ ගුරුවරු සෑහෙන කැපවීමක් කළා. මේ, ඒ හතර දෙනාගෙම පළමු පත්වීම. ඒ පත්වීම් ඉස්කෝලෙකට නැතිව රෝහලකට ලැබුණු එක ගැන එදා ඒ අය හිත හදා ගන්න ඇති. සමහර ප්‍රවීණයෝ නම් මෙහෙම ඇවිත් උගන්වන්න කැමැති වෙන්නෙ නැහැ. නමුත් මේ ගුරුවරියෝ දරුවන්ට අම්මලා වුණා.
ඒ ‍හතර දෙනා ආවේ එක් අවුරුද්දකට. ඒ අය ගිහින් අලුත් හතර දෙනෙක් එන දවස උදාවුණා. ඒත් එක ගුරුවරියක් කැමැත්තෙන්ම ඊළඟ අවුරුද්දත් ඉන්නම් කිව්වා. ඈ තමයි, මේ ‘කඳුළු සිනා මල්’ පොත ඇගේ මුදල්වලින්ම මුද්‍රණය කළේ. අසනීප ගාණේ ඉන්න දරුවො ඉස්පිරිතාලෙ ඇඳ, මේසයක් කරගෙන, වේදනාවන් මොහොතකට අමතක කරලා කරපු නිර්මාණ ඇත්තටම ‘කඳුළු සිනා මල්'ම තමයි.
දරුවන් එක්ක කරන ගනුදෙනුවෙදි ඒ අය තේරුම් ගන්න, හැසිරීම් අවබෝධ කරගන්න මේ වගේ තැනක වැඩ කරපු ගුරුවරුන්ට ලොකු අත්දැකීමක් ලැබෙනවා. අඩුම තරමේ කාරුණික හදවතක් ඇතිව දරුවො දිහා බලන්නවත් පෙළැඹෙනවා.
අධ්‍යක්ෂ තුමා කියන්නේ හදවතින්මයි. දෙමළ දරුවන් වෙනුවෙන් මෙවර දෙමළ මාධ්‍ය ගුරුවරියක් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහාම ගුරුතුමියක් පැමිණ සිටීමත් අගය කළ යුතු කාරණයක් කියලයි, වෛද්‍ය අධ්‍යක්ෂතුමා තවදුරටත් කියන්නෙ.
වින්ද්‍යා ටීචර් ප්‍රමුඛ මේ කණ්ඩායමේ සෙසු ගුරුතුමීලා වන්නේ මනෝරි, උරේෂා, කලාදේවි සහ ප්‍රියදර්ශනී . හැමෝම වෙනුවෙන් අපි මුලින්ම කතා කළේ වින්ද්‍යා ටීචර්ට.
“අපි හැමෝටම වාට්ටු හතරක් හෝ ඊට වැඩියෙන් තියෙනවා. ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවට අපිත් වාට්ටු ගාණේ යන්න පටන් ගන්නවා. දවල් එකහමාරට අපේ මේ ඉස්කෝලෙත් ඉවරයි.
සමහර දරුවො බලාගෙන ඉන්නවා අපි එනකල්. ගුරු පත්වීම ලැබිලා මෙහාට එනකොට හදවතේ තිබුණේ තිගැස්මක්. අසනීප දරුවන්ට කොහොම ද උගන්වන්නේ... මේ ළමයි අපිව කොහොම පිළිගනීවි ද... කියන ප්‍රශ්න ගොඩක් එක්ක අපි හිටියේ.
ඇත්තටම මෙතැනට එනකල් හිතුවෙ නැහැ ළමා ලෝකයේ මේ තරම් දරුණු බරපතළ දේ සිද්ධ වෙනව කියලා.
අවුරුදු 13 ක එක පුතෙක් හිටියා. ඉස්කෝලෙ ලොකු අයියලා තමයි යාළුවෝ. මේ අය යන හැම නරක තැනකටම මේ දරුවත් ගිහින්. කොටින්ම ගැහැනු ඇසුරට පවා. බාබුල්, මත් ස්ටිකර්, මත්පෙති, බාවා මේ හැමදේම මේ දරුවා බීලා තිබුණා. දරුවා එවලා තිබුණේ උසාවියෙන්. හැබැයි ඒ දරුවට ඒ පාපතර ලෝකය එපා වෙලා තිබුණේ. නමුත් අම්මා තාත්තා දෙන්නම දාලා ගිහින්. හැදුණේ ආච්චි ළඟ.
පරිවාසෙට අරන් යන දා හොඳටම ඇඬුවා. ‘මට බෑ ටීචර් යන්න! අනේ මාව බේරගන්න ටීචර්...’ කිය කියා. මං මොනවා කරන්න ද... පුළුවන් තරම් හිත හැදුවා, ‘ඔයා ගිහින් හොඳ ළමයෙක් වෙලා එන්න පුතේ...’ කියලා. ඇත්තටම ඒ දරුවා මාත් එක්ක හොඳින් අධ්‍යාපන කටයුතු කළා. මෙහෙ එව්වේ මානසික සෞඛ්‍ය නඟා සිටුවන්න සහ ප්‍රතිකාර වෙනුවෙන්.
මානසික ප්‍රශ්න තියෙන පුංචි දරුවො විවිධාකාරයි. ඒ අයට වෙලාවකට තරහා යනවා. හේතුවක් නැතිව හිටි ගමන් අපිට ගහනවා. එයාලා දන්නෙම නැතිව කට දෙපැත්තෙන් කෙළ වැක්කෙරෙනවා. සමහර දරුවන්ගෙ තුවාල බලන්න බැරි තරම්. සමහර ළමයි මුල් දවස්වල අපේ ළඟටවත් ආවෙ නැහැ. මේ කිසිම දරුවෙක් දිහා තරහෙන් බලන්න අපේ හිත් දුන්නෑ.
ජීවිතේ ඉවසන්න ඉගෙන ගන්න ඕනෙ නම් ළමා රෝහලට එන්න කියලා කියන්න හිතෙන තරමට ඒ අය අපිට ඉවසන්න පුරුදු කළා.
ඇත්තටම ගුරු ජීවිතයේ කවදාවත් මේ අත්දැකීම නම් කොහෙන්වත් ලැබෙන්නෙ නැහැ, හිතේ චකිතෙන් මෙතැනට ආවට දවසින් දවස දරුවො කෙරෙහි හදවතේ බැඳීම ඇති වුණා. මෙවැනි දරුවන්ට උගන්වන විශේෂ ක්‍රම‍වේදයක් අපි දැනගෙන හිටියෙ නැහැ. අපිම සොයාගත්තු අපිටම ආවේණික ක්‍රමයක් ටිකෙන් ටික හදා ගත්තා.
මුලින්ම කළේ ඔවුන්ට ළංවෙන එක. ටිකෙන් ටික යාළු වෙද්දි, ‘අන්න ටීචර් එනවා...’ කියලා සතුටින් කියන තරමට දරුවො සමීප වුණා. හිතවත් වුණා.
‘අනේ නර්ස් ඇන්ටි, මේ අතට ‍නම් ඉන්ජෙක්ෂන් ගහන්න එපා. ටීචර් ආවම මට ලියන්න තියෙනවා. අනික් අතට ගහන්න...’
එහෙම කියපු දරුවො අධ්‍යක්ෂ තුමාටත් මුණගැහිලා තිබුණා. සමහර වෙලාවට බෙහෙත් බොන්න අදිමදි කරන දරුවෝ ‘අනේ! මං ටීචර් ආවම බොන්නම්...’ කියලා අඬනවා.
‘අනේ මට ඉන්ජක්ෂන් ගහද්දි ඔයා ළඟ ඉන්න ටීචර්...’ කියලා දරුවෙක් මගේ මූණ දිහා බලාගෙන කියපු දවසෙ මට හුඟක් දුක හිතුණා.
එක දවසක් පුංචි පුටුවල මාත් දරුවො එක්කම වාඩිවෙලා උගන්වද්දි පිටිපස්සෙන් ඇවිත් කවුදෝ පිටට ගහගෙන ගහගෙන ගියා. ඒ දරුවා හරි ආවේගෙන්, ඒත් ‘එන්න පුතේ...’ කිව්වම කීකරුව ළඟට ආවා.
පිළිස්සුම් ඒකකයේ දරුවො සාපේක්ෂව හුඟක් වේදනාකාරි අත්දැකීම් ලබන අය. එක පුතෙකුගෙ පිච්චුණු අත වෙළලා. ඒත් එයා ලියන්න උත්සාහ කරනවා. වේදනාවට ඇස්වල කඳුළුත් ඇවිත්. එයා ලියන එක නවතලා මට කියනවා, ‘ටීචර් යං ගෙදර යං. අපේ ගෙදර යං. අපි එහෙ ගිහින් වැඩ කරමු...’ කියලා.
වෙලාවකට අම්මලාට වඩා දරුවො අපිට සමීප වෙනවා. අපිව විශ්වාස කරනවා. පළමු අවුරුද්ද පුරා මෙහෙම දේවල් වෙද්දි මට මේ රෝහල මගේ ඉස්කෝලෙ වුණා. ආපහු යන දවස උදාවුණත් මට මේ දරුවො දාලා යන්න හිත හදාගන්න බැරිවුණා. මං ඊළඟ අවුරුද්දත් හිටියේ බොහොම කැමැත්තෙන්ම ඉල්ලලා.
දරුවො කරපු නිර්මාණ පොතක් විදියට එළිදැක්වූවේ ඒ අයව සතුටු කරන්න. ඒකෙන් හුඟක් දරුවො මොහොතකට හරි වේදනාව අමතක කළා. ‘කඳුළු සිනා මල්’ පොතට නම් තැබුවෙත් දරුවො කඳුළු අතරින් කළ නිර්මාණ හින්දා.
මං ගොඩක්ම සතුටුවෙන්නෙ, ‘ගිලන් බාර්’ කියන තත්ත්වයෙන් පෙළුණු පුතෙක් දැන් සෑහෙන දුරට සනීපවෙලා මේ පාර ශිෂ්‍යත්වෙ විභාගෙට ලියන්න සූදානම් වෙන එක ගැන. ඇ‍ඳෙන් නැඟිටගන්න බැරි කාලවලදී එයාගෙ ඇඳ ළඟටම ගිහින් පාඩම් වැඩ ඇරඹුවා. එයත් උනන්දුවෙන් වැඩ කළා. ප්‍රතිකාර ලබද්දීම විශේෂ අවසරයකින් එයා මෙදා පාර ශිෂ්‍යත්වෙ ලියනවා. මේ නිවාඩු කාලෙත් පාඩම් වැඩ කරවන්න එයා වෙනුවෙන් මං රෝහලට එනවා...”
මනෝරි, උරේෂා, කලාදේවි සහ ප්‍රියදර්ශනී ගුරුතුමීලටත් හැමදාම මුණගැහෙන, ආදරය දයාව බලාපොරොත්තු වන මේ රෝගි දරුවන්ගේ අත්දැකීම් නම් අනේකවිධයි.
විටෙක හිත පාරන, විටෙක හිත හඬවන ඒ දරුවන්ගේ ජීවිත දිහා ඔවුන් ළෙන්ගතුව බලන එකම පිනක් කියලයි මට නම් හිතෙන්නේ.
ළමා රෝහලේ මානසික ප්‍රතිකාර අංශයට එන දරුවන් ගෙන් වැඩි දෙනෙක් ආතතිය හෙවත් ‘ඩිප්ප්‍රෙෂන්’ තත්ත්වයෙන් පෙළෙනවා කීවොත් සමහර විට ඔබ පුදුම වේවි.
අපි නොදන්නවාට දරුවන්ටත් ප්‍රශ්න තියෙන බව නේද මේ කියන්නෙ...
“ඇත්තටම ළමයි පාඩම් වැඩ මතක හිටින්නෑ... කියනවානම්, හරියට තරහා යනවානම්, නුරුස්සනවානම්, කල්පනාබරිතව ඉන්නවානම් හෝ හැසිරීමේ වෙනදා නැති වෙනසක් තිබෙනවානම් එය නොසලකා ඉන්න එපා කියන පණිවුඩය අම්මලා තාත්තලාට දෙන්නම ඕනේ. එහෙම නොසලකා හිටියොත් අවසානයේ දරුවෝ දිවිනසාගන්න තත්ත්වයට පෙළැඹෙනවා. ඒ, ආතතිය දරාගත නොහැකිව. අම්මගෙයි තාත්තගෙයි රණ්ඩුවලට බයවෙලා කියලා, දෙමවුපියෝ නිහඬව හිත හදාගන්න නම් උත්සාහ කරන්න එපා. වහාම දරුවා ගැන සොයා බලන්න...”
අපි වාට්ටුවෙන් වාට්ටුවට ගිය ගමනෙදි මේ උපදෙස් ටික දුන්නේ මානසික ප්‍රතිකාර අංශයේ වෛද්‍ය මංගලිකා මහත්මිය.
මේ විදිහට වෛද්‍යවරුන්ගෙන් සහ හෙදියන්ගෙන් ලැබෙන සහය වින්ද්‍යා ටීචර් ප්‍රමුඛ මේ හැම ගුරුවරියකටම ලොකු හයියක්.
වමනේ යනතුරු දරුවන්ට ‍ටොකු අන්නවන, සෙරෙප්පු මාල දරුවන්ගේ කරේ එල්ලන, අසැබි දේට පොලඹවා දරුවන් කෝච්චියට පනින තැනට කටයුතු කරන, ගඩා ගෙඩි කඩන්නට ගස් නග්ගවන හා දරුවන්ට අනේකවිධ වධ හිංසා පමුණුවන කුරිරු හිත් ඇති ගුරුවරු අතරේ වින්ද්‍යා ටීචර් ඇතුළු කණ්ඩායමට අපි කුමක් කියන්න ද...
අසනීප දරුවන්ගේ සෙම් සොටු ගෑවෙද්දී... තුවාල ඕජස් ඇ‍ඟේ ඉලෙද්දී... ආතතියෙන් පෙළෙන දරුවන් ඔවුන්ට රිද්දද්දී අම්මලා මෙන් ඉවසන ඔවුන් සැබැවින්ම ‘ගුරු මෑණිවරු’ මයි.
දරුවන්ගේ සිත් සනහන, ඇස් පාදන, ඔවුන්ට දයාවෙන් සලකන ළමා රෝහලේ වින්ද්‍යා ටීචර්ලා වැනි ගුරු පරපුරක් මතු මතුත් බිහි වේවා! යි අපිත් පතන්නේ ඒ නිසාමයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි