Monday, July 20, 2015

“වයරිං” කරගෙන මඟතොටේ යන්නෙ බලාගෙනයි!


මීට අවුරුදු 20 කට විතර කලින් - ඒ කියන්නෙ සෙලියුලර් ෙෆා්න් ඉහළ පෙළැන්තියේ භාණ්ඩයක් හැටියට තිබුණු කාලෙ සිද්ධියක් මට අද වගේ මතකයි. හයිකාරයන්ගෙ පෙළැන්තියේ නැතත් මගේ ළගත් සෙලියුලර් ෙෆා්න් එකක් තිබුණා. මම සෙලියුලර් ෙෆා්න් එකක් ගත්තෙ ඊට කලින් වෙච්ච ලොකුම විපතක් මට දැන ගන්න හුඟක් පරක්කු වුණු නිසයි. සුපිරි භාණ්ඩයක් හැටියට තිබුණත් මා ළඟටත් එයින් එකක් ආවෙ ඒ විදිහටයි. ඉතින් කතාව කියල ඉමුකො.
මට ආපු කෝල් එකකට කතා කතා කර කර මම කෝච්චියෙන් බැහැලා එනවා. මා ළගට දුවල ආපු කෙනෙක් මගෙන් ඇහුවෙ ‘හෂාන් අවුට් ද?’ කියල. මම ටිකක් අන්දුන් කුන්දුන් වුණත් ක්ෂණයකින් මට සේරම වැටහුණා. ඒ දවස්වල ලංකා නවසීලන්ත ටෙස්ට් මැච් එක. දකින දකින තැන්වල පොකට් රේඩියෝ කනේ ගහගෙන මැච් අහන අය හිටියෙ. මගෙන් හෂාන් අවුට්ද අහපු කෙනා හිතන්න ඇති මමත් පොකට් රේඩියෝ එකක් කනේ තියාගෙන ඉන්නව කියලා. එහෙම හිතා ගෙන වෙන්න ඇති මගෙන් එහෙම ඇහුවේ.
මම ටිකක් හිනාවෙලා. එයාට ෙෆා්න් එක පෙන්නලා ගියා.
ඒ එදා... ඒත් අද තත්ත්වය හුඟක් වෙනස්. අද හැම කෙනෙක් ළඟම මොබයිල් ෙෆා්න් එකක් තියෙනවා. මේ වෙනකොට ඒ මොබයිල් ෙෆා්න් එකත් මොඩ් වෙලා. ඒක ස්මාට් වෙලා. දැන් ඒක තවත් ටිකක් ලොකු වෙලා ටැබ් එකත් ඇවිත්. ටැබ් එකක් අතේ තියා ගත්තහම මුළු ලෝකෙම අතේ තියා ගත්ත වගෙයි. ඉන්ටර්නෙට් එක අත ළගනෙ. ලෝකෙ වෙන ඕනම දෙයක් තත්ත්පර ගානෙන් තමන්ගෙ අතට එනවා. ඒ විතරක්ද ඉස්සර වගේ නෙමෙයි. දැන් තමන්ටත් ඒකට අදහස් එකතු කරන්න පුළුවන්.
අපි මේ කියන්න යන්නේ ඒ කතාව නෙමෙයි.
මේ සෙලියුලර් ෙෆා්න් එක දෙපැත්ත කැපෙන අවියක් කියන එක මේ වෙන කොට බහුවිධ ඇත්ත තත්ත්වයක් වෙලා තියෙන නිසයි. මොකද අපේ තරුණ පරම්පරාවෙන් මේ පෝන් හරියටම පාවිච්චි කරන්න හැකියාව තියෙන්නෙ හරි අඩකට විතරයි කියලයි අපට වාර්තා වෙන්නෙ. ඒක අඩමානෙට කියන කතාවක් එහෙම නෙමෙයි. වගකිව යුතු තැන්වලින්මයි ඒ බව දැන ගත්තෙ. ඇත්ත තත්ත්වයයි ඒ කිව්වෙ.
එහෙමනම් මොකක්ද වෙලා තියෙන්නෙ.
අද බස් එකක කෝච්චියක යන අය දිහා බලන්න. ඒකෙන් තුනෙන් එකක විතර කට්ටියකගෙ කන් දෙකේම වයර් ගහගෙන ෙෆා්න් එක අතේ. එහෙමත් නැත්නම් හෑන්ඩ් බෑග් එකේ එහෙමත් නැත්නම් සාක්කුවේ. මේ අයගේ අවධානය තියෙන්නෙ තමන්ගෙ කනේ තියෙන ෙෆා්න් එක ගැන විතරයි. සමහර වෙලාවට බස් එකෙන් කෝච්චියෙන් බහින තැන විතරක් නෙමෙයි. පාරෙ යන එන ඒවත් මතක නැතිවෙන තත්ත්වයක් තියෙන්නෙ.
කෝච්චියෙ බස් එකේනම් බහින තැන් අමතක වෙන එක විතරනේ දෙයියනේ වෙන්නෙ. ඒ වුණත් ගිය අවුරුද්දෙ විතරක් මේ විදිහට ෙෆා්න් කනේ ගහගෙන රේල් පාරේ ගිහින් 25 දෙනෙකුට විතර ජීවිත අහිමි වුණා.
හැටන් පැත්තෙ උසස් පෙළ තරුණියක් ෙෆා්න් එක කනේ ගහගෙන ගිහින් කෝච්චියෙ හැප්පුණාට පස්සෙ එයාට මිස් කෝල් 100 කට වඩා ඇවිත් තිබුණලු. ඒ එයාගෙ පෙම්වතාගෙන් කියලයි වාර්තා වුණේ. ඒත් වැඩක් තියෙනවද? ජීවිතේ නැතිවුණේ ඒ ෙෆා්න් එක නිසානෙ.
පහුගිය දවසක කොළඹ ඉඳල පොල්ගහවෙලට ගිය කාර්යාල දුම්රියක හිටපු පෙම් යුවළක් දෙන්න එකම ෙෆා්න් එකෙන් සින්දු අහගෙන ගිහින්. මගදි දෙන්නටම හොඳට නින්දත් ගිහින්. ඒ කෝච්චියෙ මීරිගමින් පස්සෙ සීට් ගානටවත් සෙනඟ නැහැ. කෝච්චිය පොල්ගහවෙලට ගිහින් මගීන් බැස්සට පස්සෙ ධාවනාගාරයට ගිහින්. එතන හිටපු සේවකයෙක් දුම්රියේ ජනෙල් කවුළු වහනකොට තමයි දෙන්නට ඇහැරවලා තියෙන්නෙ.
ඒ සේවකයාගේ හොඳකම නිසා එයාල දෙන්න එහෙම ගියාට ඒක බරපතළ වරදක් වෙන්න තිබුණා. එකක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් චෝදනාවක් එල්ල ‍ෙවන්න තිබුණා. හිස් දුම්රිය මැදිරි තුළ විශේෂයෙන් ධාවනාගාරයේ ඇති මැදිරි තුළ මගීන් සිටීම බරපතළ වරදක් ඒක සොර
කම් කිරීමට උත්සාහ කිරීමක් යටතේ ඉදිරිපත් කරන්න තිබුණා. අනෙත් කරුණ නීතියෙන් පොදු වාහනයක් තුළ අයාලේ හැසිරීමට උත්සාහ දැරීමක් කියල චෝදනාවක් එල්ල වෙන්නත් තිබුණා. දෙයියනේ එහෙම දෙයක් වුණානම් දෙන්නටම මොකද වෙන්නෙ. අම්මට තාත්තට යහලු යෙහෙළියන්ට කොහොමද මුහුණ දෙන්නේ.
අනිත් එක පාලු කෝච්චියෙ අවධානයක් නැතිව ගිය දෙන්නට එක එක නොසංඩාල අයගෙන් අඩන්තේට්ටම් වෙන්නත් තිබුණා. දෙන්නටම ජීවිතේ ඕන නැති වෙයි.
ඉස්සර වගේ නෙමෙයි. දැන් ෙෆා්න් එක නිසා ගමනක් බිමනක් යන ගමන්ම විනෝදය ලබා ගන්න පුළුවන්. කැමැති සින්දුවක් අහගන්න පුළුවන්. ගෙදර ගිහින් කැසට් රේඩියෝ අහන්න ඕන නැහැ. ඒත් තමන්ගේ ආරක්ෂාව කියන එක ගැන මුලින් හිතන්න ඕන කියන එක නම් මතක් කරන්නම වෙනවා. අද බොහෝ දෙනාටම අමතක වෙන්නෙම ඒකයි.
මේ විදිහට ෙෆා්න් එකේ වයර් කනේ ගහගෙන සින්දු අහගෙන හිටපු ගැහැනු ළමයෙක් දුම්රිය ස්ථානය ළං වෙද්දි බහින්න ආවා. එයාට ඒ එක්කම කෝල් එකක් ආව මං හිතන්නේ. කෝල් එකට උත්තර දීල ඉවර වුණු ගමන් එයා කෝච්චියෙන් බැස්සා. එයා කෝච්චියෙන් බහින්න ගියාට ඒ වෙනකොටත් කෝච්චිය වේදිකාවේ නවත්තල තිබුණෙ නැහැ. හොඳ වෙලාවට වේදිකාව ඇතුළට නෙමෙයි වේදිකාවෙන් පිටතටයි එයාව විසිවෙලා වැටුණේ. මේ දේවල් වළක්ව ගන්න තිබුණ දේ නේද?
තව දවසක් 120 බස් එකක පිළියන්දල පැත්තෙ ඉදල ආපු අපේ ලොකු මහත්තයෙක් ළඟ වාඩි වෙලා හිටපු තරුණ ගැහැනු ළමයෙක් මෙලෝ සිහියක් නැතිව ෙෆා්න් එකේ සින්දු අහ අහ ඇවිත්. තුම්මුල්ලෙදි කෝල් එකක් ආපු ගමන් කලබල වෙලා ඇහුවලු ‘ අන්කල් මේ කොයි හරියද?‘ කියලා. තුම්මුල්ල කියපුවහම අහල තියෙන්නෙ කොහුවල පහුවුණාද ? කියලා.
මේ විදිහට ෙෆා්න් කනේ ගහගෙන යන අය ගැන ගැට කපන අය හොඳ විමසිල්ලෙන් ඉන්නෙ. එයාලගෙ භාෂාවෙන් කියන්නෙ ‘වයලට්‘ල නැත්නම් ‘වයර්වතී‘ කියලා. වයලට් කියල ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම පොදුවේ කියනවා. ඒ බව අපේ තරුණ පරපුර තාම දන්නෙ නෑ.
හැබැයි දැනගන්නකොට හුඟක් පරක්කු වෙන්න පුළුවන්. ඒක නිසා ඔය ෙෆා්න් සින්දු ඇහිල්ල විනෝද වීම කමක් නැහැ. ඒත් දුම්රියේ බස් රියේ විතරක් නෙමෙයි කහ ඉරේදි පාර මාරු වෙද්දිවත් ඒ ගැන හොඳ සිහි බුද්ධියෙන් හිටි­‍ෙයාත් හොඳයි. නැත්නම් දවසක තමන්වම උස්සගෙන යනකල් නොදැන ඉන්න වෙයි.
අද අලුත්ම මෝස්තරේ වෙලා තියෙන්නෙ එක ෙෆා්න් එකෙන් ඉයර් ෙෆා්න් එකෙන් දෙන්නෙක් රස විඳින එක. අනේ කොච්චර හොඳ දෙයක්ද? සහයෝගය සහෝදරත්වය නෙ පෙන්නුම් කරන්නෙ. ඒත් මේ අයට නොතේරෙන තාක්ෂණයකුත් එතන තියෙනවා. ස්ටීරියෝ විදිහට එහෙමත් නැත්නම් ඒ රසය නියම විදිහට විඳින්න නම් ඉයර් ෆෝන් එකේ වයර් දෙකම තමන්ගෙ කන් දෙකට එන්න ඕන. ඒකත් මේ අලුත් පරපුර දන්නෙ නැහැනෙ.
ඒත් එක්කම අවදානම ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන. විශේෂයෙන්ම හවස 6 න් පස්සෙ යන කෝච්චිවල බස්වල යන වයර්වතී, වයලට්ලට දඩයම් කරන්න කට්ටියක් බලන් ඉන්න බව අමතක කරන්න එපා. එයාල හොඳට දන්නව. අපේ දුර්වල තැන්. ඒවට ඉඩ තියන්න එපා. මොබයිල් ෙෆා්න් එක තව දුරටත් කතා කරන්න පණිවුඩයක් එහා මෙහා කරන්න ගන්න උපකරණයක් විතරක් නෙමෙයි තියල අපි දන්නවා. ඒ වුණත් විනෝදයයි රටයි ලෝකෙයි ගැන දැනුවත් වෙලා බලන කොට තමන් මාසයක් ම දර දිය ඇදල හරි හම්බ කරපු පොකට් එකට විදලා නම් එහෙමත් නැත්නම් බෙල්ලෙ තියෙන චේන් එකට විදලා නම් ඉතින් සේරම වැඩ හමාරයිනේ. ඒක නිසා ෙෆා්න් එකයි විනෝදයයි එක්කම සිහි බුද්ධියත් අනිවාර්යයෙන්ම තියා ගන්න. එතකොට කිසිම ගැටලුවකට මුහුණ දෙන්නේ නැතුව අපේම වැඩ අපිටම කර ගන්න පුළුවන් වෙයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි