Tuesday, July 14, 2015

‘ස්ප්‍රේ කෝලා'


එච්.ඩී.බී. හේරත්
‘ස්ප්‍රේ කෝලා' අපේ රටේ කොල්ලන් කෙල්ලන් වනසන්නට ආ පැණි බීමක් බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය. පැණි බීම යැයි කීවාට ‍එය කිසියම් මත් බීමක් බවට සැක පහළ වී තිබේ. මේ ස්ප්‍රේ කෝලා පානය කළ ඇතැම් ශිෂ්‍යයන් මත් වී ඇතැයිද තවත් අයෙකු සිහිමද ගතියට පත් වූ බවද පුවත්පත්වල වාර්තා විය. මෙම ස්ප්‍රේ කෝලාවල අඩංගු රසායන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා ඒවායෙහි සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට සහ කාර්මික තාක්ෂණික ආයතනය වෙත යවා ඇතැයිද දැනගන්නට තිබේ.
මෙවැනි අවදානම් ආහාරපාන රට ඇතුළට නිදහසේ පැමිණෙන්නේ කෙසේද? මේ පිළිබඳ නිසි තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ ආහාර උපදේශන කමිටුවේ ලේකම්වරයා හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහත්වරු හමුවුණෙමු.
පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා නැඟූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.
* පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ “ස්ප්‍රේ කෝලා” පැණි බීම වර්ගය කුමක්ද? ඒවා මෙරටට පැමිණියේ කොහෙන්ද?
එය චීනයෙන් ආනයනය කරන ලද කෝලා වර්ගයේ පැණි රස බීමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනස බෝතල්වල අසුරා තිබුණ ද කෙළින් ම මුඛයට ස්ප්‍රේ කරන්නාක් මෙන් විද ගැනීමට සකස් කර තිබීමයි.
* මේ බීම වර්ගය පානය කළ ශිෂ්‍යයන් මත් වූ බවත් ඇතැමකු සිහිමද ගතියට පත්වූ බවත් වාර්තා වුණා. මේ බීමවල කිසියම් මත් ද්‍රව්‍යයක් අඩංගු වෙනවාද?
මෙහි කිසියම් මත්වන සුළු ද්‍රව්‍යයක් අන්තර්ගත වෙනවාදැයි පරීක්ෂා කිරීම සඳහා මෙකී බීම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ අන්තරායකර ඖෂධ අධිකාරියේ රසායනාගාරයට හා කාර්මික තාක්ෂණ ආයතනයට ලබා දී තිබෙනවා.
* එම පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වූයේ කුමක්ද?
තවම එම පරීක්ෂණ වාර්තා අප වෙත ලැබී නෑ. එම ප්‍රතිඵල වාර්තා ලැබුණු පසු තොරතුරු අනාවරණය කරගත හැකියි.
* වරාය හා ගුවන්තොටුපොළ රේගු පරීක්ෂණ කටයුතු තරව තිබියදී මෙවැනි භාණ්ඩ රට තුළට එන්නේ කෙළෙසද?
සාමාන්‍යයෙන් ආහාර කාණ්ඩයක් හෝ ආහාර ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ, වරාය මෙන් ම ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේදී (Rank container Terminal - RTc-) හිදී පරීක්ෂාවට ලක් කෙරෙනවා. මෙම බීම වර්ගය එම දැඩි පරීක්ෂාවන් ගෙන් බේරී රටතුළට පැමිණි ආකාරය සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගු අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.
* ආහාර පාන ආනයනය කිරීමේදී රේගුවෙන් සිදු කෙරෙන පරීක්ෂණ කවරාකාරද?
ආනයනිත ආහාර සඳහා නිසි බලධාරියා ලෙස කටයුතු කරන්නේ ‍රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහු යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද බලයලත් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් රට තුළට ගෙනෙන ආහාර හෝ ආහාර කාණ්ඩයට අයත්යැයි ප්‍රකාශයට පත් කරන ලද සියලුම භාණ්ඩ පරීක්ෂාවට බඳුන් කරනු ලබනවා.
* ඒ කවරාකාරයෙන්ද?
ඒ ඒ ආහාර වර්ග පරීක්ෂණ කළ යුතු ආකාරය හා පරීක්ෂණ සඳහා නිර්ණායක පිළිබඳ උපදෙස් අප විසින් ඔවුනට ලබා දී තිබෙනවා. ඇතැම් ආහාර ද්‍රව්‍යවල සාම්පල අනිවාර්යයෙන් ම පරීක්ෂණ සඳහා යොමු කළ යුතුයි. නිදසුනක් ලෙස මෙරටට ආනයනය කරන සියලුම කිරිපිටි වර්ග ක්ෂුද්‍ර ජීවී පරීක්ෂණ මෙන්ම විකිරණශීලී ද්‍රව්‍ය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගුදැයි සොයා බැලීම සඳහා සාම්පල පරීක්ෂාවට ලක් කරනවා. සියලුම වර්ගයේ මාළු මස් හෝ ටින් කෑම වර්ගත් එලෙස ඍජු පරීක්ෂණ සඳහා යොමු කරනවා.
ඇතැම් ආහාර ද්‍රව්‍ය ආවේක්ෂණ කටයුතු සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.
ඇතැම් ආහාර ද්‍රව්‍ය භෞතික වශයෙන් පරීක්ෂාවට ලක් කෙරෙනවා. නිදසුනක් ලෙස කරවල, හාල් මැස්සන්, අල, ලූණු, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය දෙස බලා ඒවා දුර්වර්ණ වී ඇත්ද? දුගඳ හමනවාද? ගුල්ලන් හෝ වෙනත් කෘමීන් සිටිනවාද? ආදී වශයෙන් පරීක්ෂා කොට මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තහවුරු වුවහොත් ඒ භාණ්ඩ සියල්ල ආපසු හරවා යවනවා. නැත්නම් විනාශ කරනවා.
* මේ පරීක්ෂණවලට අමතරව වෙනත් කරුණක් පරීක්ෂාවට ලක් කෙරෙනවාද?
ඕනෑම භාණ්ඩයක් අපනයනය කිරීමට පෙර ඒ භාණ්ඩ නිෂ්පාදනය කළ රටවල ආහාර හා ඖෂධ අධිකාරීන් හෝ ආහාර කමිටු මගින් නිර්දේශ කරනු ලබන ප්‍රමිතීන්ට හා තත්වයට අනුකූළ වූ බවට සහතිකයක් ලබා තිබිය යුතුයි. එලෙස තත්ත්ව සහතික සහ අනුමැති සහතික ලත් ආහාර පමණයි අපනයනය සඳහා අවසර ලැබෙන්නේ. ඒවා අපේ රටට ආනයනය කළ විට ඒවා ඒ රටවල අනුමැති සහතිකය ලබා ඇත්දැයි පරීක්ෂා කරනවා. ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නීති රීති හා තත්ත්ව පාලන රෙගුලාසිවලට අනුකූලදැයි ප්‍රමිති ආයතනයට, සාම්පල යවා පරීක්ෂා කරවනවා. ජනතාවගේ පරිභෝජනය සඳහා රේගුවෙන් නිදහස් කිරීමට පෙර මෙවැනි පරීක්ෂණ ගණනාවක් සඳහා භාණ්ඩ යොමු කෙරෙනවා.
* එතරම් තදබල නීතිරීති හා සුපරීක්ෂණ කටයුතු රැසක් අතරින් බේරී මෙවැනි අහිතකර ආහාර පාන වෙළෙඳපොළ වෙත නිකුත් වෙන්නේ කොහොමද?
එය ගැටලුවක්. ඒ පිළිබඳ සොයා බැලීමට අදාල බලධාරීන් වෙත නියෝග නිකුත් කර තිබෙනවා.
අපේ රටේ අභ්‍යන්තර ආහාර පාලන නීතිරීති කෙසේ වෙතත් ලෝකයේ වෙනත් රටවල මිනිස් පරිභෝජනයට හිතකර වන බවට තහවුරු කරන ලද ආහාරද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට අපිට නීතිමය අවසරයක් නෑ. අද වෙළෙඳපොළේ පවතින ඇතැම් ශක්ති ජනක පාන මෙරට වෙළෙඳ පොළේ අලෙවි කරන්නේ ඒ අවසරයෙන්. එවැනි ආහාර පාන භාවිතය ශරීර සෞඛ්‍යයට අහිතකර බවට ජනතාව දැනුවත් කිරීම හැර ඍජුවම ඒවා තහනම් කිරීමේ අයිතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නෑ.
* එසේ නම් එවැනි අහිතකර ආහාර පාන මෙරටට ගෙන්වීම වැළැක්වීමට කළ යුත්තේ කුමක්ද?
දැනට අපේ රටේ ක්‍රියාත්මක වන 1980 අංක 26 දරන ආහාර පනතේ අඩංගු නීති රීති සංශෝධනය කර එවැනි ආහාර පාන ගෙන්වීම තහනම් කිරීම සඳහා අලුතින් නීති සකස් කළ යුතුයි. ඒවා පාර්ලිමේන්තුවට පනතක් මගින් ඉදිරිපත් කර සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි.
* මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ඉහත කී බීම වර්ගයට අදාළ වැටලීම් සිදු කර තිබෙනවාද?
ඔව්. දිවයිනේ සෑම පළාතකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට මේ බීම වර්ගය වෙළෙඳ සල්වල හෝ වෙනත් ස්ථානවල අලෙවි කරනවා දැයි සොයා බලා ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
* මේවා ගෙන්වා ඇති පුද්ගලයින් හෝ ආයතන හඳුනාගෙන තිබෙනවාද?
පුද්ගලයකු විසින් අරඹන ලද සමාගමක් මගින් ආනයනය කළ බවට තොරතුරු ලැබී තිබෙනවා. එහෙත් එම නම සඳහන් සමාගම ඇතැයි කියන ලිපිනයෙහි එවැනි සමාගමක් නැති බවයි හෙළවී ඇත්තේ.
* ස්ප්‍රේ කෝලා පිළිබඳ මේ වන විට අමාත්‍යංශය විසින් ගනු ලැබූ පියවර කුමක්ද?
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත දැනට මෙම පැණි බීම වර්ගය අලෙවි කරන්නේ නම් වහාම පොලීසිය හා එක්ව ඒවා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබෙනවා. එලෙස අල්ලාගත් බීම සාම්පලවල අන්තර්ගත රසායන ද්‍රව්‍ය මොනවාද? එයින් සිදු විය හැකි බලපෑම කවරාකාරද යන්න සොයා බැලීමට අදාළ ආයතන හා බලධාරීන් වෙත යවා තිබෙනවා. දැනට මෙරටට ගෙන්වූ තවත් එවැනි තොග වරායේ රඳවා ඇත්නම් වහාම ඒවාට මුද්‍රා තබන ලෙසත් ඒවා වෙළෙඳපොළට නිකුත් නොකරන ලෙසත් උපදෙස් දී තිබෙනවා.
පාසල් දරුවන් විවිධාකාරයෙන් මත්ද්‍රව්‍යවලට පොලඹවා ගැනීමේ කූට උපායක් ලෙස මෙය මා දකිනවා.
* පසුගිය දිනවල මත් පෙති ලෙස මානසිකව රෝගීන්ට දෙනු ලබන පෙති වර්ගයත් සිසු පිරිසකට ලබා දී තිබුණා. මෙවැනි දේ පිළිබඳව ගනු ලබන පියවර කුමක් ද?
මෙය ටොෆි, චොක්ලට්, සීනි බෝල මෙන් ම ඇතැම් ඖෂධ හරහා ද තරුණ පරපුර මතට යොමු කරවීමේ ප්‍රයත්නයක් තිබෙනවා. මෙවැනි ඖෂධ අලෙවිසල් වටලා ඒවායෙහි අහිතකර ඖෂධ හෝ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ආහාර ද්‍රව්‍ය හෝ ඇත්නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට උපදෙස් දී තිබෙනවා.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි