Sunday, February 21, 2016

පාසල් ආරාධිත අමුත්තන්ට ප්‍රමිතියක් අවශ්‍ය නැද්ද? (දේශපාලනයක් නොවේ) --- අකමෑතිනම් නොකියවා යන්න

මීට කලකට ඉහතදී ආණමඩුව නවගත්තේගම ගුරුවරියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට නැවත එම විද්‍යාලයේම ක්‍රීඩා උත්සවයක් සඳහා ආරාධනා කිරීම රටේ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් වී තිබේ.
කෙසේ වුව ද මේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම හෙළි කිරීමට අකමැති වූ උසස් නිලධාරියකුගෙන් අප විමසීමක් කළ විට ඔහු කියා සිටියේ මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඇති වර්තමාන නීතිමය තත්ත්වයන් ගැන තමන්ට අවබෝධයක් නැති නමුත් මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඇත්තේ වයඹ පළාත් සභාවට බවය. 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිශිෂ්ටයට අනුව මධ්‍යම රජයේ හා පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශ වගකීම් සම්බන්ධයෙන් ඇති බලතල දක්වා ඇති බවද ඔහු කීය. ඒ අනුව මෙකී කාරණා සම්බන්ධයෙන් පළාත් සභාව තීන්දු තීරණ ගත යුතු බවද හෙතෙම කීය.
කෙසේ වුව ද මේ සිදුවීම අනුමත කළ නොහැකි දෙයක් බව කියූ ඔහු කියා සිටියේ එය සදාචාර විරෝධී බව ය. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් වැඩි වගකීම ඇත්තේ පළාත් සභාවට බවය. පළාත් සභාව පවසන්නේ මෙකී කරුණු සම්බන්ධයෙන් වගකීම ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බවය. මේ දෙතුන් පිරිස එකතු වී මෙවැනි ක්‍රියා නැවැත්වීමට කටයුතු කළ යුතු බව වියතුන්ගේ අදහසය.

හැම සිද්ධියකටම චක්‍රලේඛ නිකුත් කරන්න බෑ

අධ්‍යාපන ඇමැති අකිල වි‍රාජ් කාරියවසම්

* ගුරුවරියක් දණ ගස්සවා රටම ආන්දෝලනයකට ලක් කළ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු එම විද්‍යාලයේම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවා තිබෙනවා. යහපාලන ආණ්ඩුවක් යටතේ ජනතාව මෙවැනි දේ බලාපොරොත්තු වෙන්නේ නෑ නේද?
මේ සිදුවීම් දෙකම රටේ ආන්දෝලනයකට ලක් වූ සිද්ධියි. මුල්ම සිදුවීමෙන් පසු මෙවැන්නක් කිරීම කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නොවේ. විදුහල්පතිවරයා සම්පූර්ණයෙන්ම මේ සිදුවීමට වගකිව යුතුයි. මේ විද්‍යාලය පළාත් සභාවට අයිති පාසලක්. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත යුත්තේ පළාත් සභාවයි.
* ඔබ අධ්‍යාපන ඇමැතිවරයා. මෙවැනි ජාතික ගැටලුවකට මැදිහත්වී සෘජු විසඳුමක් ලබාදීමේ හැකියාව පළාත් සභාවේ බලය විසින් අහෝසි කර තිබෙනවාද?
මෙහෙමයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. මෙතැනදී පළාත් සභා පාසල් සම්බන්ධයෙන් පාලන කටයුතු විනය කටයුතු ආදිය පිළිබඳ වගකිව යුත්තේ පළාත් සභාවයි. අපි බලාගෙන ඉන්නවා මේ සිදුවීමේදී අදාළ බලධාරින් හැසිරෙන ආකාරය පිළිබඳව.
අනෙක් අතට විදුහල්පතිවරු කියන්නේ යම් අධ්‍යාපන මට්ටමක් ලබපු අය. විභාග සමත් කරලා ඉහළට ගිය අය. මේ අයට ඥානයක් තියෙන්න ඕනෙ මෙවැනි ප්‍රාථමික ක්‍රියා සිදුනොවන විදියට වගබලා ගැනීමට.
* මෙවැනි දේ වැළැක්වීමට චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යංශයට බැරිද?
සිදුවීමෙන් සිදුවීමට චක්‍රලේඛ නිකුත් කරන්න බෑ. පවතින නීති රීති වගේම ආචාරධර්මවලට යටත්ව කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක්. පසුගිය කාලෙම විදුහල්පතිවරුන්ගේ බොහෝ පත්වීම් සිදුවී තිබෙන්නේ දේශපාලන බලපෑම් මත.
වැඩබලන අයව විදුහල්පතිවරු කරලා තියෙනවා. කැබිනට් පත්‍රිකාවලින් විදුහල්පතිවරු පත්කර තිබෙනවා. නැවත ඒ දේවල් වෙන්න ඉඩ තියන්නේ නෑ.
පසුගිය දවසක විදුහල්පතිවරුන්ට පත්වීම් දීමේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණා. ඔවුන් පත්කිරිමේ චක්‍රලේඛය කලින්ද, ගෙන්නා ගෙන මම කියෙව්වා. ඒකේ පුදුම විදියේ ලකුණු දීමේ ක්‍රියාපටිපාටියක් තිබුණා. අධ්‍යාපන සුදුසුකම්වලට, ඒ කියන්නෙ උපාධියකට වෙන් කරලා තිබුණේ ලකුණු පහයි. ඉතිරි 95ම වෙන වෙන කරණාවලට. ලකුණු වැඩිපුරම දිය යුතු තැනට ලකුණු 5ක් ලබාදීම පුදුම වැඩක් නෙමෙයිද? මම එවලේම සම්මුඛ පරීක්ෂණ දිනය අවලංගු කළා. මේක හදලා තිබුණෙ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවා ඒකකයෙන්. මම දැන් මේ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවා තිබෙනවා. ඔවුන්ගේ අලුත් තීරණය එනතුරුයි බලා ඉන්නේ.
* කොහොම නමුත් සමස්ත ලංකාවේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික වගකීමක් ඔබට තිබෙනවා නේද? කොහොමද ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වන්නේ?
පළාත් සභා කළ යුතු දේ පළාත් සභා කළ යුතුයි. අපි අතර වගකීම ඉටුකරනවා. ඉදිරියේදී පළාත් අධ්‍යාපන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමටත් අපි පියවර ගන්නවා.

මේ සම්බන්ධයෙන් නීති පනවන්න ඕනෑ

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ

* දේශපාලන අධිකාරිය හා අධ්‍යාපන ක්ෂේත්‍රය අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් අනාගත දරුපරපුරට බලපාන්නේ කිනම් අයුරින්ද?
දරුවකු උසස් පුරවැසියකු බවට පත් කිරීමට ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. මූලිකවම බලපාන්නනේ ගෙදර. ඊළඟට පාසල. පාසල කියන්නේ විශ්ව සංකල්පයක්. ලෝකයට වැඩදායි පුද්ගලයකු බිහි කරන්නේ පාසලයි. දරුවා බොහෝ දේ අනුකරණය කරන්න ඉගෙන ගන්නේ පාසලෙන්. අධ්‍යාපනය වගේම බොහෝ වටිනාකම් ඉගෙන ගන්නේ පාසලෙන්. ඒ නිසා පාසල කියන්නේ පරමාදර්ශී ආයතනයක්.
මූලික මිනිස් අයිතීන්, එකිනෙකාට ගෞරව කිරීම්, රටේ නීතියට අනුව ජීවත්වීම යනාදී සියලු දේ මූලිකම ඉගෙන ගන්නේ පාසලෙන්. එවැනි ස්ථානයක ගුරුවරියක දණ ගැස්සවූ දේශපාලකයෙක් නැවත එම විද්‍යාලයේම ආරාධිත අමුත්තකු ලෙස කැඳවීම ඛේදවාචකයක්.
මේ ගෙන්වන අය විශේෂිත පුද්ගලයන් වෙන්න ඕනේ. ඔවුන් දරුවන්ගේ වීරයෝ බවට පත් විය යුතු වෙන්න ඕනෑ. එවැනි අය ආරාධිතයෝ වුණොත් තමයි දරුවන්ගේ පෞරුෂ වර්ධනයට එය හේතුවක් වෙන්නේ.
* මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?
මෙතැනදී එක් එක් ආයතන එකිනෙකාට වගකීම් පවරමින් ඉදලා හරියන්නේ නෑ. මම නම් කියන්නේ ජනාධිපති කොමිසමක් හෝ පත් කරලා මේ දේවල් නැවත නොවෙන්න නීති රීති සකසන්න ඕනේ. බොහෝ වෙලාවට අපේ රටේ වැඩි අවධානය යොමු වන්නේ විෂය නිර්දේශවලට පමණයි.
නමුත් මේ දේවල් සම්බන්ධයෙනුත් නීති රීති, ජාතික ප්‍රතිපත්ති සෑදිය යුතුයි. විශේෂයෙන්ම ආණ්ඩුවට වගේම අධ්‍යාපන අමත්‍යාංශයට මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තියෙනවා. හෙට දවසේ නැවත මෙවැනි දේවල් නොවෙන්න කටයුතු යෙදීම ඒ අයගේ වගකීමක්.

දුෂ්ට චරිතවලට අනුබල දෙන්න හොඳ නැහැ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ආර්. ඒ. ඩබ්. රණසිංහ

* අධ්‍යාපන ක්ෂේත්‍රයේ වරින්වර විවිධාකාර ආන්දෝලනාත්මක සිදුවීම් වෙනවා. එහිදී දේශපාලකයන්ගේ මැදිහත්වීම වැඩියි. මොකද ඔබ මේ ගැන හිතන්නේ?
ඥානයෙන් හා උගත්කමින් අඩු අය තමන්ට නැති ශක්තිය පෙන්වන්න යන්නේ ශරීර ශක්තියෙන්. එවැනි අඳබාල පුද්ගලයන්ට දේශපාලන බලය ලැබුණාම ඔවුන්ගේ මන්දබුද්ධික ස්වභාවයන් ආවේගශීලීව පිටවෙන්නේ සමාජය වෙතටයි. මේ නිසා තමයි ඔය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ගුරුතුමියව දණ ගැස්සුවේ. මගේ අණසක පිළිගත යුතුයි යන ඔටුනු නොපළන් මෝඩ රජවරුන්ගේ ක්‍රියා කලාපවල ස්වභාවය තමයි ඒ.
කොහොම වුණත් යම් වැරැද්දක් කළ පුද්ගලයකුට නිවැරැදි වෙන්න අවස්ථාව තියෙනවා. ප්‍රසිද්ධියේ සමාජයෙන් සමාව අරගෙන නැවත එවැනි වරදක් සිදු නොවන බවට යම් වරදකරුවකු පොරොන්දු වුවහොත් ශීලාචාර සමාජයට ඔහුව නැවත පිළිගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නෑ.
එහෙත් එසේ නොවන නොහික්මුණු දේශපාලකයන් පාසලකට ගෙන ඒමෙන් සිදුවන්නේ දුෂ්චරිතයන්ට අනුබල දීමයි. ඒ වගේම පවතින ක්‍රමය පිළිබඳ ශීලාචාර සමාජයට කලකිරීමක් ඇතිවෙනවා.
* මේ තත්ත්වය වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?
මේ ප්‍රාථමික ක්‍රියා නැවැත්වීමට වහාම පියවර ගන්න ඕනෑ. ආචාර ධර්ම හෝ සාරධර්ම මත මෙවැනි ක්‍රියා වැළැක්වන්නේ නැත්නම් චක්‍රලේඛයකින් හෝ ඒවා වැළැක්වීමට පියවර ගත යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි.

සිදුනොවිය යුතු දෙයක්

වයඹ පළාත් සභා අධ්‍යාපන ඇමැති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ

* මේ සිදුවීම ගැන ඔබේ අදහස මොකක්ද?
මෙය සිදු නොවිය යුතුව තිබුණා. විදුහල්පතිවරයා ආරාධනා කිරීම වගේම හිටපු මන්ත්‍රීවරයා මෙතැනට පැමිණීමත් වරදක් විදියටයි මා දකින්නේ.
කොහොම නමුත් මට ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් කීප දෙනකුටම මීට ආරාධනා කර තිබුණා. මටත් අන් අයටත් වෙනත් වැඩ යෙදී තිබුණ නිසා යන්න බැරි වුණා. ඒ නිසා ඔහු නිකම්ම ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පත්වෙලා. ගුරුවරිය දණ ගැස්සවූ සිදුවීමත් සමඟ තමන්ට නැතිවූ සබඳතා යළි ගොඩනඟා ගන්න ඔහු එතැනට එන්න ඇති. ඒත් විදුහල්පතිතුමා දැනගන්න ඕනෙ මෙවැනි පුද්ගලයෙක් කැඳවන්නේ නැතිව ඉන්න.
මෙවැනි කටයුතුවලට ආරාධනා කරන්නේ පාසල් සංවර්ධන කමිටුවයි. එතැනදී මූලිකවම විදුහල්පතිතුමාට බලය තිබෙනවා. ඒත් කමිටුවේ යම් යම් යෝජනාත් සලකා බැලෙනවා. මේ හිටපු මන්ත්‍රීවරයා පාසලේ සංවර්ධන කටයුතුවලට හුඟක් දායක වෙලා තියෙනවා. මොකද ඔහුගේ දරුවන්ද මේ පාසලට එන නිසා. තවමත් ඔහුගේ දරුවෙක් මෙහි ඉගෙනුම ලබනවා. ඒ නිසා කමිටුවත් ආරාධනා කරන්න ඇති.
කොහොම නමුත් පාසලකට ආරාධනා කළ යුත්තේ කිනම් පුද්ගලයන්ටද යන්න ගැන මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අපට චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ. තූර්යවාදක කණ්ඩායම ගැන විතරයි සඳහන් කරලා තියෙන්නේ.
එහි තූර්ය වාදක කණ්ඩායමට පිළිගත හැකි පුද්ගලයන් ගැන පමණක් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමැති, කතානායක, ප්‍රධාන අමාත්‍ය, අධ්‍යාපන අධ්‍යක්ෂ වගේ තනතුරු කීපයක් පමණයි තූර්ය වාදක ‍කණ්ඩායම මගින් පිළිගත හැකිවන්නේ.
* සම්ප්‍රදායන් හා ආචාර ධර්ම රකින්නේ නැති තත්ත්වයක් යටතේ මෙවැනි දේ පිළිබඳ චක්‍රලේඛයක් හෝ නිකුත් කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය එවැන්නක් කළොත් හොඳයි. එවැනි දෙයකට එක පළාතකට පමණක් තනි තීරණයක් ගන්න අසීරුයි. එහෙම නැතිනම් ගුරු සංගමය හෝ විදුහල්පති සංගමය හෝ සංගමයක් අධිකරණය හමුවට ගිහින් නීතිමය නියෝගයක් ගෙනාවොත් අපිට පුළුවන් එම නියෝග ක්‍රියාත්මක කරන්න.
කොහොම වුණත් වැරැදිකරුවකුට යම් දඬුවමක් ලැබුණාට පස්සෙ දිගින් දිගටම ඒ පස්සෙ එලවීමත් ඒ තැනැත්තාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙන්න පුළුවන්. වැරැදිවලට දඬුවම් ලබපු විදුහල්පතිවරුත් ඉන්නවා. පාර්ලිමේන්තු මැති අමැතිවරුත් ඉන්නවා. ඒත් ඒ සිද්ධියට දඬුවම් ලබා හෝ නීතිමය ක්‍රියාමාර්ග අවසන් වුණාම ඔවුන් නැවත රාජකාරී කටයුතුවලත් යෙදෙනවා. ඒ නිසා මේවා නීතියෙන්ම කරන්නත් අමාරුයි. අපේ සදාචාරය හා අවබෝධය තමා වඩා වැදගත්.

දේශපාලන පත්වීම් නැවැත්විය යුතුයි

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු

* හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් ගුරුවරියක් දණ ගැස්සවූ සිද්ධිය මේ රටේ මහත් ආන්දෝලනයට ලක්වුණා. එහෙත් ඒ මන්ත්‍රීවරයා එම විද්‍යාලයේ ම ප්‍රධාන අමුත්තා ලෙස පසු ගියදා ක්‍රීඩා උත්සවයට සහභාගී වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ?
පාසලක යම් උත්සවයක් තිබෙන අවස්ථාවක ඒ උත්සවයට අමුත්තන්ට ආරාධනා කරන්නේ විදුහල්පතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක්. එහිදී කමිටුවේ සාමාජිකයන්ට පුළුවන් විවිධ අයව යෝජනා කරන්න. ඒත් වැරැදි අයකුව යෝජනා වුණොත් විදුහල්පතිවරයාට හැකියාවක් තියෙන්න ඕනෙ ඒ වැරැද්ද නිවැරැදි කරන්න.
* මෙතැනදී වැරැද්ද නිවැරැදි වෙලා නෑ. ඇයි ඒ?
මෙහෙම වෙන්නේ දේශපාලන හිතවත්කම් මත විදුහල්පතිවරු පත් කිරීම නිසයි. සුදුසුකම් මත යම් ප්‍රතිපත්තියක් මත විදුහල්පතිවරු පත් කරන්න කියලා අපි අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා. මේ වෙනකොට පළාතේ මහජන නියෝජිතයන් එහෙම සම්මත කරගත් මාරු ප්‍රතිපත්තියකුත් තියෙනවා. ඒත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නෑ. දේශපාලන සම්බන්ධකම් මත තමයි මාරුවීම් පවා සිද්ධ වෙන්නේ. දේශපාලන පත්වීම්, මාරුවීම් වෙනකොට විදුහල්පතිවරුන්ට වැඩ කරන්න වෙන්නේ ඒ ඒ දේශපාලකයන් කියන විදියටයි. ඒ නිසා දේශපාලන මැදිහත්වීම්වලින් තොර නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇතිව අධ්‍යාපනය ක්ෂේත්‍රයේ කටයුතු සිද්ධ වෙන්න ඕනෑ.
* විදුහල්පති සංගමය මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගයක් තියෙනවාද?
මේ සිද්ධ වුණේ වැරැද්දක්. ගුරුතුමිය දණ ගැස්සුවා මෙන්ම මේ වැරැද්දත් බරපතළයි. ආරාධනා කිරීම ත් ආරාධනාව පිළිගැනීමත් වැරැද්දක්. මෙහි අතීත සිදුවීමෙන් එම ගුරුතුමිය වගේම ඒ දවස්වල සිටි විදුහල්පති ‍ඇතුළු ගුරු මණ්ඩලයත් විශේෂයෙන්ම දරු පිරිසත් මහත් අසීරුතාවට පත්වුණා. එවැනි සමාජ විරෝධී දෙයක් සිද්ධ වී තිබෙද්දිත් මේ සිද්ධ වුණේ වැරැද්දක්. මේ පිළිබඳ විරෝධය දක්වමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපි සංගමය විදියට පළාත් අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යැව්වා. අධ්‍යාපන ඇමැතිවරයා මේවන කොට මේ විදුහල්පතිවරයාව කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා තිබෙනවා.
* මේ විදුහල්පතිවරයා චක්‍රලේඛ පවා උල්ලංඝනය කර තිබෙනවා නේද?
ඔව්. අපි ඒ බවත් ඇමැතිවරයාට දන්වා තිබෙනවා. සාමාන්‍යෙයන් පාසල් තූර්ය වාදන කණ්ඩායම වාදනය කරන්නනේ ජනපති, අගමැති, අධ්‍යාපන ඇමැති වගේ විශේෂිත පුද්ගලයන් එනවිට පමණයි. ඒත් මේ හිටපු මන්ත්‍රීවරයා කැඳවාගෙන ඇවිත් තිබෙන්නේ තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙනයි. එහෙම ප්‍රභූ පිළිගැනීමක් කරන්න නීතියෙනුත් අයිතියක් නෑ.
මේ සිදුවීම නිසා පාසලේ දරුවන් හා ගුරු මණ්ඩලය මහත් අසීරුතාවට පත්වෙලා තියෙනවා. ආරාධනා ලැබී ඇවිත් සිටි වෙනත් පාසල්වල විදුහල්පතිවරු මේ අවස්ථාවට සහභාගී නොවී නැඟිට ගිහින් තිබෙනවා.
* මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්න නම් මොනවාද කළ යුත්තේ?
රාජ්‍ය මට්ටමින් ප්‍රතිපත්ති හදන්න වෙනවා. අපි මේ වන විටත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා අධිකරණයෙන් වැරැදිකරුවන් වූ අයට, විවිධ චෝදනාවන්ට ලක්වූ පුද්ගලයන්ට පාසල්වලට ආරාධනා කරන්න ඉඩ දෙන්න එපා කියලා.

සම්පූර්ණ වැරැද්ද විදුහල්පතිවරයාගේ

ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින්

* ගුරුවරියක් දණ ගැස්සු පළාත් සභා මන්ත්‍රීම එම පාසලේම උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ කොහොමද?
ඒක තමයි අපි කියන්නෙත්. යහපාලනය පවතිනව නම් මේව වෙන්න බැහැ. මේ පළාත් සභා මන්ත්‍රීට විරුද්ධව පුත්තලම මහාධිකරණයේ නඩු පවරලා, වසර දෙකක සිරදඬුවමක් දුන්නා වසර අටකට අත්හිටුවල. ගුරුවරියට ලක්ෂ 3 ක වන්දි මුදලක් ගෙවන්නත් නියම වුණා. ගුරුවරිය එම මුදලින් ශිෂ්‍යත්ව අරමුදලක් හැදුවා “අහිංසාව” කියල.
සමස්ත ගුරු පරපුරම පාරට බැහැල එදා ඒ ගුරුවරිය වෙනුවෙන් පෙනී හිටල කරපු සටනෙන් පස්සෙ තමයි ජයග්‍රහණය කළේ. මේ පාසලේ විදුහල්පතිවරයා තමයි මොහුට ආරාධනා කරලා තියෙන්නෙ. මේක මේ රටේ සමස්ත ගුරු පරපුරටම කරපු කැළලක්. සම්පූර්ණ වැරැද්ද විදුහල්පතිවරයාගෙ. මෙවැනි විදුහල්පතිවරුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.
* විදුහල්පතිවරයා එහෙම දෙයකට පෙලඹෙන්න ඇත්තෙ ඇයි කියලද ඔබ හිතන්නෙ.
මෙවැනි විදුහල්පතිවරු නිසා තමයි පාසල් අධ්‍යාපනය කඩා වැටෙන්නෙ. දේශපාලනඥයන් ඉස්සරහ දණින් වැටෙන මොවුන් ළමයින්ට දෙන ආදර්ශය මොකක්ද? මෙවැනි දීන විදුහල්පතිවරු මේ පද්ධතියටම කැළලක්. පාලකයන් සමඟ අපි ගැටෙනව වගේම මෙවැනි අය සමඟත් අපි ගැටෙනවා. පාසල් පද්ධතියම මෙවැනි වැඩවලින් නිදහස් කරගත යුතුයි.
* ඔබ සංගමයක් හැටියට මේ සඳහා මැදිහත් වුණාද?
ගුරු සංගම් කතා කරනතුරු අධ්‍යාපන බලධාරීන් නිහඬව හිටියේ. තවම වැඩ තහනම් කරල නැහැ. කලාප අධ්‍යාපන කාර්යාලයට මාරුවීමක් දීල විතරයි තියෙන්නෙ.
* යහපාලනය තුළත් නිලධාරීන් මෙවැනි කටයුතු සඳහා පෙලඹෙන්නෙ ඇයි?
මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කළේ මෙවැනි දේ සිදු නොවීමට. දූෂණය, හොරකම් පිළිබඳ ආණ්ඩුව තවමත් දක්වන සහනශීලී පිළිවෙත නිසා රාජ්‍ය නිලධාරීන් හිතනව ඇති තවමත් මෙවැනි දේ සඳහා ඉඩකඩ ඇති කියල. අපි ඒ හින්දා මේ ආණ්ඩුවට කියනව වැරදි කරන අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියල.
සංවාද සටහන

සුමේධා නවරත්න

දුමින්ද සම්පත්

http://dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි