Tuesday, March 12, 2013

මෙන්න ප්‍රවෘත්ති... ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ඔබට ගෙන එන්නේ මෙහෙමයි


මෙන්න ප්‍රවෘත්ති...

ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ඔබට ගෙන එන්නේ මෙහෙමයි

ඉන්දික ජයරත්න
“වේලාව උදෑසන හයයි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය.....”
මේ අපේ රටේ බොහෝ නිවෙස්වලින් උදෑසන ඇසෙන හඬකි. අප රටේ බොහෝ දෙනකු තම දෛනික වැඩ කටයුතු අරඹන්නේ මේ හඬට සවන් දෙමිනි. මේ හඬ අපට ඒ තරම්ම සමීපය; ළෙන්ගතුය. ඇතැමකුට ගුවන්විදුලි සංස්ථාවේ උදෑසන ප්‍රවෘත්ති විකාශයට සවන් දීමට නොහැකි වූයේ නම්, එය උදෑසන ආහාරය නොගත්තා හා සමානය. රට පුරා මෙන්ම ලොව පුරා සෑම තැනකම සිදුවන ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති සිදුවීම් ශ්‍රී ලාංකේය අසන්නන්ගේ දෙසවන වෙත ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය ගන්නා වෙහෙස ප්‍රශංසනීයය. එය ඉතා බැරෑරුම් කටයුත්තකි.
මේ බැරෑරුම් කටයුත්තෙහි නිරත වී ඇති ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ පිරිස දිවා රාත්‍රී නොතකමින් තම රාජකාරියේ නියැලී සිටිති. රට පුරා මෙන්ම ලොව පුරා සිදුවන ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුතු සිදුවීම්වල තොරතුරු එක්රැස් කරගන්නේ කෙසේ ද? එම තොරතුරු ශ්‍රාවකයින් වෙත ගෙන යන්නේ කෙසේ ද? යන තොරතුරු සොයා බැලීම සඳහා පසුගිය දිනෙක අපි ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයට ගියෙමු.
සියලුම දෙනා අතිශය කාර්යබහුලය. අයෙකු දුරකතන ඇමතුමකින් ප්‍රවෘත්තියක් ලබාගනී; ඇතැමෙක් ලැබුණු ප්‍රවෘත්තියක සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගැනීමට උත්සාහ ගනී; තවත් අයෙක් ප්‍රවෘත්තියක් සංස්කරණය කරමින් සිටී. මේ සියලු වැඩ කටයුතු අතරේ අපි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ඉන්දික ජයරත්න මහතා හමු වී ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ වගකීම සහ එහි කාර්යභාරය පිළිබඳ විමසා සිටියෙමු.
“ශ්‍රී ලංකාවේ මහජන සේවා සන්නිවේදනයේ යෙදෙන ප්‍රධානතම විද්යුත් නාලිකාව වන්නේ ජාතික ගුවන් විදුලිය. අපට තිබෙන ප්‍රධානම වගකීම වන්නේ ජනතාව නිවැරැදි තොරතුරුවලින් සන්නද්ධ කිරීමයි. ලාංකේය විද්යුත් මාධ්‍ය ඉතිහාසයේ පළමු ප්‍රවෘත්ති කාමරය වන්නේ ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කාමරයයි. මේ ප්‍රවෘත්ති කාමරය පසුගිය වසරේ සිය පනස්වැනි උපන් දිනය සැමරුවා.
ජාතික ගුවන්විදුලියට වගකීම් කීපයක්ම පැවරෙනවා. ඉන් පළමුවැන්න වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම. ඊට අමතරව ජනතාවට නිවැරැදි තොරතුරු සැපයීම ප්‍රධාන තැනක් ගන්නවා. රටේ ජනතාව කිසියම් ප්‍රවෘත්තියක ඇත්ත දැනගැනීමට ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්තිවලට සවන් දීමට පුරුදු වී සිටිනවා. ඒ නිසයි ජාතික වශයෙන් වැදගත්කමක් ඇති තොරතුරු ජාතික ගුවන්විදුලිය මඟින් රටට ගෙන එන්නේ.
උදාහරණයක් ලෙස කොටි ත්‍රස්තවාදය නිමා කිරීමේ නිල නිවේදනය ඉදිරිපත් කිරීමට එවකට සිටි හමුදා ප්‍රධානීන් ජාතික ගුවන්විදුලිය තෝරා ගැනීම දක්වන්න පුළුවනි. මෙවැනි දෙයින් පැහැදිලි වන්නේ රටේ සිදුවන සිදුවීම්වල නිවැරැදි තොරතුරු නිල වශයෙන් වාර්තා කිරීමේ වගකීම ජනතාව ජාතික ගුවන්විදුලියට පවරා ඇති බවයි. ජාතික ගුවන්විදුලිය පසුව සංශෝධනය කිරීමට හදිසියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ නෑ. ජාතික ගුවන් විදුලිය උත්සාහ ගන්නේ වේගවත්ව ඉක්මනින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට නොවේ. “සත්‍ය ප්‍රථමයෙන්” යන්න අපගේ පරමාදර්ශයයි.
ගුවන් විදුලියේ ප්‍රවෘත්තිවල මධ්‍යස්ථභාව පිළිබඳ ඇතැම් පුද්ගලයන් ප්‍රශ්න කරනවා. අප කිසි විටෙකත් වැරැදි සහගත ප්‍රවෘත්ති පළ කරන්නේ නෑ. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට ජාතික ගුවන්විදුලිය බැඳී සිටිනවා. ඇතැම් විටෙක එය ජාතික ගුවන් විදුලිය රජයට පක්ෂපාතීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන බවට වැරැදි වැටහීමක් ඇති කිරීමට සමත් වනවා විය හැකියි. නමුත් සත්‍ය එය නොවේ. ජාතික ගුවන් විදුලිය සැම විටම උත්සාහ ගන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් සත්‍ය තොරතුරු ගෙන ඒමට.”
ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයට ප්‍රවෘත්ති ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් ඇත. ඉන් පළමුවැන්න ප්‍රවෘත්ති අංශයේ මාණ්ඩලික වාර්තාකරුවන් මඟින් ලබාගන්නා තොරතුරුය. අනෙක් ක්‍රමය වන්නේ ගුවන් විදුලියේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මාර්ගයෙන් ලැබෙන ප්‍රවෘත්තිය. ප්‍රවෘත්ති අංශයට ප්‍රවෘත්ති දින පොතක් ඇත. (News Diary) එම දිනපොතට අනුව මාණ්ඩලික වාර්තාකරුවෝ තමන්ට පැවරී ඇති ප්‍රවෘත්ති ආවරණයන්ට සහභාගි වී එම ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති සංස්කාරකවරයා වෙත ලබා දෙති.
 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පිටපත සකසන්නේ ප්‍රවෘත්ති සංස්කාරකවරයාය. ජාතික ගුවන් විදුලිය උදෑසන 6.00, දහවල් 12.45, සවස 6.00 සහ සවස 9.00 යන වේලාවන්හිදී ප්‍රවෘත්ති ප්‍රචාරය කරනු ලැබේ. එසේම සිංහල, දෙමළ, ඉංගි‍්‍රසි යන භාෂා තුනෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කෙරේ. ඒ අනුව සලකා බලන විට ගුවන් විදුලියේ ප්‍රවෘත්ති මැදිරියෙන් දිනකට ප්‍රවෘත්ති ප්‍රචාර 12 ක් විකාශය කෙරේ. ඊට අමතරව භාෂා තුනෙන්ම ප්‍රවෘත්ති ලුහුඬින් ඉදිරිපත් කෙරේ.
ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරකවරයා වෙත ලැබෙන ප්‍රවෘත්තිවල ඇති සත්‍ය අසත්‍යභාවය කීප වරක් පරීක්ෂා කිරීම සාමාන්‍ය සිරිතකි. ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශය වෙත රටේ සාමාන්‍ය පුරවැසියකුට වුවද ප්‍රවෘත්ති ලබාදීමේ හැකියාව ඇත. එසේ ලැබෙන ප්‍රවෘත්ති අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් හෝ වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු වෙතින් තහවුරු කරගැනීම සිදු වේ.
ඉංගී‍්‍රසි, දෙමළ, සිංහල යන භාෂා තුනෙන්ම ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවාට අමතරව www.SLBC.lk නම් වෙබ් අඩවිය මඟින් ද ලොව පුරා ප්‍රවෘත්ති ප්‍රචාරය කෙරේ. විදෙස් රටවල සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ නිවැරැදි ප්‍රවෘත්ති දැනගැනීමට පිවිසෙන්නේ මෙම වෙබ් අඩවියටය.
ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයටම අයත් තවත් සුවිශේෂි අංශයක් කාලීන වැඩසටහන් අංශය. ප්‍රවෘත්ති අංශයෙන් ඉදිරිපත් කරන ප්‍රවෘත්තිවලට අමතරව එම ප්‍රවෘත්තිමය කොටස්වලට අදාළ කටහඬ සහිත කොටස් උපයෝගී කරගනිමින් දවසේ කාලීන පුවත්, වැඩසටහන් ඇසුරින් නිෂ්පාදනය කිරීම මෙහිදී සිදු වේ. ‘සුභාරතී’, ‘පුවත් අටුවාව‘, ‘පුවත් පසුබිම’ සහ වෙනත් කාලීන වැඩසටහන් ගණනාවක්ම කාලීන වැඩසටහන් අංශයෙන් නිෂ්පාදනය කෙරේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි