Wednesday, July 17, 2013

සොබාදහමට ප්‍රේම කළ කවියා

සොබාදහමට ප්‍රේම කළ කවියා

 


මීමන ප්‍රේමතිලකයන්ගේ 49 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි



මෙරට ජනතාව අතර සිංහල කවිය වඩාත් ප්‍රචලිත වූයේ කොළඹ යුගයේ දී ය. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, එච්.එම්.කුඩලිගම, විමලරත්න කුමාරගම, චන්ද්‍රරත්න මානවසිංහ මේ යුගයට ඇතුළත් කැපී පෙනෙන කවීහු වෙති.
මේ අතරින් ආදරය, ස්ත්‍රිය හා ස්වභාව සෞන්දර්යට මුල් තැනක් දුන් මීමන ප්‍රේමතිලක ද කිසියම් මට්ටමකින් සිංහල කවියේ උන්නතිය උදෙසා දායක වෙයි. මීමන ප්‍රේමතිලක පොදු ජනයා අතර ජනප්‍රියත්වයට පත් වූ කවියෙකි; එමෙන් ම පුවත්පත් කලාවේදියෙකි. මොහු 1918 සැප්තැම්බර් මස 20 වැනි දින හොරණ මීමන නමැති සුන්දර ගම්මානයෙහි උපත ලැබුවේ ය. මුලින් ම හොරණ විද්‍යාතිලක පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ප්‍රේමතිලක පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වෙයි.
ප්‍රේමතිලක පුවත්පත් කලාවේදියකු වශයෙන් සිය රැකියාව අරඹයි. ‘ලංකාදීප’ හා ‘ජනතා’ යන පුවත්පත්වල සේවය කිරීම නිසා ප්‍රේමතිලකයන්ට ජනතාව අතර නමක් දිනාගැනීමට හැකිවෙයි. ‘ලංකාදීප’ පුවත්පතේ සිටි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඉතා ළඟින් ඇසුරු කිරීමට අවස්ථාව ලැබීම නිසා ප්‍රේමතිලකයන් ගේ දැනුම හා රසවින්දන ශක්තිය පුළුල් විය. අනතුරු ව මීමන ප්‍රේමතිලක ‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූයේ ය.
පියදාස නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ යන පුරෝගාමී කර්තෘවරුනට නොදෙවැනි මට්ටමෙන් ප්‍රේමතිලක ‘ ‘සිළුමිණ’ පුවත්පතේ උන්නතිය සඳහා කැප වූයේ ය. රට පුරා සංචාරය කොට එතුමා වටිනා තොරතුරු රැස්කරගෙන විත් ‘සිළුමිණෙ’හි පළ කළේ ය. නිර්භීත පුවත්පත් කලාවේදියකු වූ ප්‍රේමතිලක ජනතාව වෙත සත්‍යය හෙළි කිරීමට කිසිසේත් පසුබට නොවූයේ ය. සත දහයේ විශ්වවිද්‍යාලය නමින් ප්‍රකට වූ ‘සිළුමිණ’ සිළුමිණක් බවට පත්කිරීමට පේ‍්‍රමතිලක පුවත්පත් කලාවේදියා සිය ජීවිතය කැප කළේ ය.
මෙතුමා සැබැවින් ම ප්‍රතිභාපූර්ණ කවියෙකි. එහෙත් පේරාදෙණිය ගුරුකුලයට අයත් සිරි ගුණසිංහ ඇතුළු ඇතැම් විචාරකයෝ ප්‍රේමතිලකයන් බොළඳ ශෘංගාරය දනවන සංයමයෙන් තොර කවියකු ලෙසින් සලකා පිළිගත් කවීන් අතරින් බැහැර කළහ. එහෙත් එය සාධාරණ නොවන බව අප දරන අදහසයි. මොහු බටහිර කවීන්ගේ පද්‍ය ඇසුරෙන් මෙන් ම දේශීය පද්‍ය ඇසුරෙන් අපූර්ව කාව්‍ය රැසක් නිර්මාණය කළේ ය.
ඒවා අතරින් සොහොන් බිම, පාලුගම, දෙවැනි ආදරය, සුරපුර වැනි කාව්‍ය රචනා බටහිර කවීන්ගේ නිර්මාණ ඇසුරෙන් රචනා කර තිබෙන බව පෙනේ. විශ්ව සාහිත්‍යයට අයත් කවීන්ගේ නිර්මාණ ඇසුරෙන් මෙන් ම, මේ රටේ පුද්ගල චරිත ආදර්ශයට ගෙන කාව්‍ය නිර්මාණය කිරීමට ප්‍රේමතිලක දැක්වූයේ දැඩි උනන්දුවකි. එතුමා විසින් අනංග දමනය, ශ්‍රී ලංකා, ගමේ ගතිය, වනගත කවියා, ආදරය, රතී සාගරය, දරුදුක, කිරිහාමි, යමුණා, අන්ධ ළමයා, සුරපුර යන පද්‍ය පන්ති රචනා කරන ලදී.
ප්‍රේමතිලක කවියාගේ ‘රතී සාගරය’ ඇතුළුව තවත් කාව්‍ය නිර්මාණ කිහිපයක සංයමයෙන් ගිලිහුණ කවි කිහිපයක් දක්නට ලැබේ. මේ පද්‍ය රචනා කර ඇත්තේ සොබාදහම හා ප්‍රේමය මුල්කරගෙන ය. එහෙත් ඔහු විසින් ඉතා සාර්ථක පද්‍ය ද නිර්මාණය කර තිබේ. ඒ නිසා සිරි ගුණසිංහ, ඒ.එම්.ජී.සිරිමාන්න යන අන්තවාදී විචාරකයන්ගේ අදහස් හා මතවාද ප්‍රතික්ෂේප කිරීමට අපි පසුබට නො වෙමු. මේ කවියාගේ නිසග කවිත්වය මතු දැක්වෙන ‘දරු දුක’ නමැති පද්‍ය පන්තියෙන් ගම්‍ය වනු ඇත.

සමන් පොහොට්ටුවයි බිමයි
පිපෙන්නටත් කලින්
හඳක් වැසී තිබේ
වලාකුළින් නබෝ ගැබේ
මොකෝ! සොබාදමේ පවා
මෙසේ විශේෂයක්
හ හා! හ හා! කුඩා බබෙක්
නිදයි මිනී වළේ”

තම ආදරණීය සිඟිති දරුවාගේ හදිසි සමුගැන්ම නිසා කවියාගේ සිතේ දැඩි වේදනාවක් හට ගනියි. ඒ වේදනාව අප හදවත්හි හටගන්නා ආකාරයෙන් ඉදිරිපත් කෙරේ. කවියා තම අව්‍යාජ අත්දැකීම කාව්‍යාත්මක ව සිතුවම් කරයි. සිඟිති දරුවාගේ අකල් මරණය ධ්වනිත කෙරෙන්නේ “නිදයි මිනී වළේ” යනුවෙනි. ස්වභාවික පරිසරය නිරූපණය කර ඇත්තේ දරුවාගේ අකල් මරණය නිරූපණය කිරිමට ගැළපෙන සේ ය. පිපෙන්නට පෙර සමන් මල් පොහොට්ටුවක් බිමට වැටෙන්නා සේ, අනපේක්ෂිත ලෙස සිඟිති අවධියේ දී ම දරුවා ද මියයයි. ඒ දරුවාගේ මරණය නිසා හටගත් කම්පනය තවමත් කවියාට මැඬපවත්වා ගත නොහැකි ය. පේ‍්‍රමතිලක පද්‍ය පන්තියේ අරමුණ ඉටුකර ගැනීම සඳහා වචන යොදන විලාසය විශේෂත්වයක් ගනී.
ප්‍රේමතිලක කවියා වඩාත් කම්පාවට පත්වූ අවස්ථා දෙකක් ඇත්තේ ය. සමන් පුතුª මිය ගිය දිනත්, චන්ද්‍රරත්න මානවසිංහ කවියා මියගිය දිනත් ප්‍රේමතිලක වඩාත් ශෝක වූයේ ය. මෙයින් ගම්‍ය වන්නේ ඔහුගේ මනසේ තිබූ දැඩි සංවේදිතාව හා මිනිස්කමයි. වරක් මේ කවියා කුඩා ළමයා නොබිඳුණු වීදුරුවකටත්, වැඩුණු මිනිසා බිඳුණු වීදුරු කැබලිවලටත් උපමා කළේ ය. ළමයින් තුළ තිබෙන මිනිස්කමත්, මිනිසුන් තුළ තිබෙන නොමිනිස්කමත් එයින් ධ්වනිත වේ. මීමන ප්‍රේමතිලක නම් උදාර කවියා 1965 ජූලි මස 12 වැනි දින අප අතරින් සදහට ම සමුගත්තේ ය.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි