ගුරුවරයකු නැති වේලාවට මං හිටියේ ඉස්කෝලේ පහළ ඇළේ
මහාචාර්ය සරත් කොටගම
සරත් කොටගම කොළඹ විශ්ව විද්‍යාලෙ සත්ත්ව විද්‍යා අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ
මහාචාර්යවරයෙක්. ඔහු ලංකාවේ කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ රැසක් සිදු කොට අපේ රටට
ආවේණික පක්ෂීන් ගැන විශේෂ තොරතුරු රාශියක් ලොවට හඳුන්වා දුන් පුරෝගාමී පරිසර
විද්‍යාඥයෙක්.කවදාහරි පරිසරවේදියෙක් වෙනවා’ යන අධිෂ්ඨානය මා සිත තුළ ඇති වුණේ පුංචි කාලෙදිමයි. ගුරුතලාවෙ ශාන්ත තෝමස් විද්‍යාලෙ හිටපු නේවාසිකාගාර පාලක ගුරුතුමා ආර්. ඒ. හේමන් ගුරුතුමාගෙ පෙලඹවීමෙන් පරිසරය අධ්‍යයනය කරන්න වඩාත් නැඹුරු වුණා. එතකොට මට අවුරුදු 13 ක් විතර ඇති.
නවසිය පනහේ අගෝස්තු මාසෙ විසි දෙවැනිදා බණ්ඩාරවෙල කටුගහ නම් වූ සුන්දර ගම්මානෙදි ඔහු මෙලොව එළිය දුටුවේ අම්මගේ මහ ගෙදරදි. මද්දුම බණ්ඩාර කොටගම ඔහුගේ පියා. අම්මා විමලාවතී කටුගහ කුමාරිහාමි.
පවුලට කුළුදුලේම එක් වුණු සිඟිති පුතාට ඔවුන් නම තිබ්බේ “සරත් විමල බණ්ඩාර කොටගම” කියලා. සරත්ට බාල මල්ලිලා තුන් දෙනයි. නංගිලා දෙන්නයි.
කටුගහ ගමේ උපන්නට සරත් හැදී වැඩුණේ ඔහුගේ පියා ගෙ ගමේ. බිබිල කොටගම.
ගොඩ මඩ ඉඩම් රැසක් සරත්ලගෙ අපුච්චාට තිබුණා. ගේ අහල පහල කැලෑ රොදවල දුව පැන ඇවිදින්න, ඇළ දොළේ පැනල නාන්න පීනන්න ඔවුන්ට ඇති තරම් නිදහස තිබුණා. සරත්ට අකුරු කියෙව්වෙ කොටගම පන්සලේ නායක හාමුදුරුවො.
ඔහු මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කොටගම ප්‍රාථමික පාසලේ. ඒ පාසලේ මාස හයක් පමණ ඉගෙන ගත්තට පස්සෙ අපුච්චා සරත් ඇතුල් කළා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලෙට.
“ඒ වසරේ පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පුංචිම ළමයා මමයි. ඒ නිසා පාසලේ විදුහල්පතිතුමා වූ ඩබ්ලිව්. ඩී. කීබන් මහත්තය මාව ඔහුගෙ ගෙදරම මාස තුනක් නවත්තා ගත්තා. බෝඩිමේ ජීවිතේ ගෙදරට වඩා හුඟක් වෙනස් වුණාට ඉක්මනින්ම මම ඒ පරිසරයට හුරු වුණා. මගේ වයසට සමාන තව ළමයි හිටපු නිසා මට ගෙදරින් ඈත් වීමේ පාළුව ඒ තරම් දැනුණේ නෑ.
පාසලේ ඉගැන්වීමේ මාධ්‍ය ඉංගී‍්‍රසි වුණත් අපිට තද බල විදියට නීති පැනෙව්වෙ නෑ. සිංහල දෙමළ වගේම බර්ගර් හා විදේශික ළමයිනුත් අපි එක්ක එකට සිටි නිසා අපේ ව්‍යවහාර භාෂාව වුණේ ඉංගී‍්‍රසි.
පුංචි කාලෙ අපි හරිම නිදහසේ විනෝදයෙන් සතුටින් ඉගෙන ගත්තා. අද වගේ ගෙදර වැඩ ගොන්නක් එදා අපිට නෑ. පාසලේ වැඩ පාසලේදීම කළා. පාසලින් පසුව වැඩි වශයෙන් ම කළේ සෙල්ලම් කිරීම. අපි පාසල් නේවාසිකාගාරෙ ශිෂ්‍යයො නිසා අපිට ක්‍රීඩා කරන්න ඕනෑ තරම් අවස්ථාව ලැබුණා.
පුංචි කාලෙ ඉඳන්ම පරිසරයට ඇලුම් කළා. බොහෝ වේලාවට ගුරුවරයකු නැත්නම් මම ඉන්නෙ පන්තියෙන් පිට. පාසල් වත්තේ. පාසල පිහිටා තිබුණේ පුංචි කඳු ගැටයක් උඩ. මේ කන්ද පාමුලින් සුන්දර දිය කඳුරක් ගලා ගියා. මේ කඳුරේ බැහැලා දඟලන්න, වතුරෙ පීනන මාළු බලන්න මම හරිම ආසයි. ඉතින් විවේකයක් ලැබුණු ගමන්ම මම දුවන්නෙ ඒ දිය කඳුර ගාවට. ගුරුවරුන් ඒ බව දැන ගෙන හිටියා. “කොටගම පන්තියෙ නැත්නම් දිය පාර අසල ඇති” කියලයි ඔවුන් මා හොයාපු කෙනෙක් වෙතොත් කිව්වෙ.
පාසල් පිට්ටනියේ කෙළවර විශාල දැලක් ගහලා තිබුණා. නානා ප්‍රකාර වර්ගවල පාට පාට සමනළුන් පියාඹාගෙන යන විට මේ දැලේ පැටලෙනවා. පුංචි අපේ සතුට මේ සමනළුන් අල්ලා නිදහස් කිරීම. සමනල්ලු අල්ලන්න දවසට කී වරක් ඔය දැල දිගේ බඩ ගාලා ඇත්ද...?” මහාචාර්යතුමා සිතින් ආයෙත් ඒ සමනළ වියට පිවිසෙනවා.
“පුංචි කාලේ මම ඒ හැටි කැපී පෙනෙන දස්කම් දක්වාපු ශිෂ්‍යයෙක් නොවෙයි. ගණන් වරද්දලා වේවැල් පාර කාපු හැටි මතකයි. අපේ පාසලේ ‘කේන් මාස්ටර්’ කියලා තනතුරක් දීපු ගුරුවරු දෙන්නෙක් හිටියා. ඉහළ ශ්‍රේණිවලට සහ පහළ ශ්‍රේණිවලට වෙන වෙනම. ළමයෙක් කිසියම් වරදක් කළොත් දඬුවම් දෙන්නේ මේ ගුරුවරු දෙදෙනා ගෙන් කෙනක් පමණයි. වරද සොයා ගත් ගුරුවරයා ළමයා අතේම කළ වරද සටහන් කළ පුංචි තුණ්ඩුවක් ලියා දීලා කේන් මාස්ටර් ළඟට යවනවා. එවිට වරදට අදාළ දඬුවම ලබා දෙනවා. දඬුවම ලබන්නට හේතුව දරුවා දැන සිටිය යුතුයි.” මහාචාර්යතුමා කියනවා.
පාසලේදී මම කළ හැකි හැම ක්‍රීඩාවක්ම කළා. අනිවාර්යයෙන්ම උදේ පාන්දර අවදි වී පිහිනන්නට ඕනෑ. වැස්ස, පින්න, ශීතල මේ කිසිවක් සමාවට කරුණු නොවෙයි දිනපතා පිහිනීමෙන් හොඳ ව්‍යායාමයක් වගේම පිහිනුම් ශූරයකු බවට පත්වෙන්නට මට අවස්ථාව ලැබුණා.
මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසා පාසලේ නාම පුවරු ඇඳීම බොහෝ විට මට භාර වුණා. පාසල් ජීවිතය බොහොම පී‍්‍රතිමත්. ඒ නිසාම නිවාඩුව දුන්නත් දවසක් දෙකක් පහුවෙලා ගෙදර යන්නත් පාසල පටන් ගන්න දවසක් දෙකක් කලින් පාසලට එන්නත් අපි කණ්ඩායමක් පුරුදු වෙලා හිටියා.
මම පාසලට ඇතුල් වෙලා වසර දෙකක් පමණ යන විට මගේ මල්ලිලාත් වරින් වර පාසලට ඇතුල් වුණා. ඔය විදිහට අපි හතර දෙනාම ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් වුණා.
නිවාඩු කාලෙ ගමේ ගියාම ඒක වෙනම ලෝකයක්. අපි සහෝදර සහෝදරියො හය දෙනයි අහල පහල ගෙවල්වල දරු දැරියොයි එකතු වෙලා උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කළා. කැලේ ඇවිද්දා. ගම පුරා දුව ඇවිදිනවා. අපේ ගම්වල අදටත් සම්ප්‍රදායික කුල සිරිත් විරිත් අනුගමනය කෙරෙනවා. ඒත් පුංචි ළමයි විදිහට අපිට දෙමව්පියො ගමේ ඕනෑම තරාතිරමක ළමයෙක් එක්ක සෙල්ලම් කරන්නට තහංචි දැම්මෙ නෑ.
හයේ පන්තියෙන් පස්සේ ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් වෙන්න මටත් වරම් ලැබුණා. ඇතුළත් වීමේ තරග විභාගයෙන් ඉහළ ලකුණු ගත් සිසුන් ඇතුල් කළේ ගල්කිස්සෙ ශාන්ත තෝමස් විද්‍යාලෙට. මං තේරුණේ ගුරුතලාවට. මගේ ජීවිතේ වර්තමාන ජයග්‍රහණ සියල්ලට පසුබිම සකස් වුණේ පාසලේදී කියලයි මට හිතෙන්නෙ.
ගුරුතලාවෙ පාසල මනරම් පරිසරයක පිහිටා තිබුණා. පාසලේ වත්ත පුරාම අලංකාර මල් වවල හරියට උද්භිද උද්‍යානයක් වගේ.
ශාලාවෙන් ශාලාවට ක්‍රීඩා පිටියට නේවාසිකාගාරයට බොහෝ දුරක් පයින් ඇවිද යා යුතුයි. ඒ කාලෙ හිටපු පාලකයින් මේවා සැලසුම් කළේ ළමයින්ගේ සිතට සැනසීමත් කයට ව්‍යායාමයත් එකවර ලැබෙන විදිහට. එක තැනක සිට තව තැනකට යන අතරතුර කිසිම ගහකින් කොලයක්වත් කැඩීම තහනම්. අතරමග කෙළ ගැසීම තහනම්. කෙළ ගහනවා නම් තමා ගේම ලේන්සුවට කෙළ ගහලා එය නිසි පරිදි ඉවත් කළ යුතුයි. වැරදිලාවත් කොළයක් කඩල අහු වුණොත් අනිවාර්යයෙන්ම විදුහල්පතිතුමාගේ කාමරයට කැඳවා දඬුවම් ලබා දෙනවා. ගස් වැල්වලට ආදරය කරන්න පරිසරය රැක ගන්න පුංචි කාලෙදිම අපි හුරු පුරුදු වුණේ එහෙමයි.”
හැම සතියකම අපි ගෙදරට ලියුමක් ලියන්න ඕනෑ. ඉතින් හැමෝම ලියන්නෙ ඔබ හැම සතුටින් ද? අපි බොහෝම සතුටින් සිටිමු.” කියන වාක්‍ය දෙකයි. පාසලේ නේවාසිකාගාරෙ මිදුල අලංකාර කරගන්න පිඩලි අල්ලා තණ පිටියක් හැදුවෙ ළමයි. ඒ වගේම පාසල් සමූපකාරේ හැදුවෙ ළමයි පස්වලින් ගඩොල් කපලා. ඒ ගොඩනැගිල්ල අදත් හොඳට තියෙනවා. පරිසර හිතකාමී ගඩොල් කියලා දැන් අපි ඒවා විදේශිකයන් ගෙන් ඉගෙන ගන්න හැදුවට අපේ රටේ මේ බොහෝ දේ ඈත අතීතයේ පටන්ම තිබුණා.
බාල දක්ෂ කටයුතුවලට සහභාගි වුණු නිසා මට හොඳට උයන්න හුරු පුරුදු වුණා. බාල දක්ෂ ජම්බෝරියකට පිට කඳවුරකට ගියාම මුළු කණ්ඩායමටම කෑම උයන්නෙ මම. මට ඉතින් ‘කෝකියා’ කියලා නමකුත් පට බැඳුණා.
නේවාසිකාගාරෙ ශිෂ්‍යයන්ටත් බාල දක්ෂයන්ටත් ගම හරහා දුවන්නට තිබුණා. මම මේ ගම හරහා දිවීමට ඉතාම කැමැතියි. සෑම මසකටම වරක් අවට කන්දක් නඟින්නට හෝ පෙර නොගිය තැනක් හොයාගෙන ගිහින් ආපහු එන්නට ඕනෑ නියම කළ කාලයට. මේ ගමන අපිට බොහෝ අත්දැකීම් ලබා දුන්නා. හතේ අටේ පන්තිවල අපට භෞතික විද්‍යාව ඉගැන්වූ ආර්.ඒ. හේමන් ගුරුතුමා තමයි මට කුරුල්ලන් නැරැඹීමේ මුල් පාඩම කියා දුන්නෙ. ඔහුගේ විනෝදාංශය ගමේ අවට කැලෑවල ඇවිදිමින් කුරුල්ලන් නැරැඹීම හා උන් ගැන අධ්‍යයනය කිරීම.
එතකොට මට අවුරුදු දහතුනක් විතර ඇති. හේමන් සර් එක්ක කුරුල්ලන් බලන්න යන්න කවුද කැමැති කියලා ඇහුවම මම ඉදිරිපත් වුණා. එදා තමයි කවද හරි කුරුල්ලො ගැන ඉගෙන ගෙන පරිසරවේදියෙක් විය යුතුය යන අදහස මගේ හිතට ආවේ. ඉන් පස්සෙ මම හැම දේ ම කළේ ඒ අරමුණ ඉටුකර ගන්න අදහසින්.
බොහෝ විට නිවාඩු කාලවල හේමන් සර් සිය පවුලත් සමඟ රට පුරා වනෝද්‍යානවල සංචාරය කළා. මාත් ඒ ගමන්වලට සහභාගි කරවා ගත්තා. යාල, කුමන, විල්පත්තු, සිංහරාජ වගේ ම ලංකාවේ අප්‍රකට වනාන්තරවලත් අපි සංචාරය කළා.
පාසලේ හොකී කණ්ඩායමේ නායකයා මමයි. පාපන්දු බාස්කට් බෝල් වගේ ම ජවන හා පිටියේ ක්‍රීඩාවලටත් හැම වසරේ ම තෑගි ගත්තා. 1965 දී ත්‍රිකුණාමලයේ ශාන්ත මයිකල් විද්‍යාලය සමඟ බාස්කට් බෝල තරඟෙට ගිහින් නතරවෙලා හිටපු එවරස්ට් හෝටලේ දී තමයි ජීවිතේ මුල් වරට කොත්තු රොටීවල රස බැලුවේ. පාසලේ විෂයයන් සඳහා කවදාවත් තෑගි ලැබුණේ නැති වුණාට පළමු වතාවට ‘පක්ෂි අධ්‍යයනය’ සඳහා පාසලෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තෙ මමයි. තෑග්ග රුපියල් විසි පහක පොත් වවුචරයක්. කොළඹ එච්.ඩබ්ලිව්. කේවිස් පොත් සාප්පුවෙන් පොත් ගන්න. ජීවිතේට කොළඹ ආපු නැති මම පළමු වතාවට තාත්තත් එක්ක කොළඹට ආවා. ඒ 1965 දී තාත්තා අඳුරන ලියනගේ ලියන මහත්තයා හිටියේ කිරුලපනේ. ඒ ගෙදරට ඇවිත් නැවතිලා පහුවදා ඒ මහත්තයා එක්ක ම ගිහින් ගත්තේ ජී.එම්. හෙන්රි ගේ ලංකාවේ කුරුල්ලෝ පොත. තෑග්ග රුපියල් 25 යි. පොත රුපියල් 35 යි. තාත්තා ගෙන් රුපියල් 10 ක් ඉල්ලගෙන පොත අරන් ආවේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ.”
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පෙළ ලියන්න මම ගල්කිස්සෙ ශාන්ත තෝමස් විද්‍යාලෙට ඇතුල් වුණා. පී.සී.එන්. ජයසූරිය, ජේ.ඩී.එස්. ජයසිංහ, අරිසෙන් අහුබුදු වගේ ගුරුවරු අපිට ඉගැන්නුවා මතකයි. අපි එන්නට කලින් කුමාරතුංග මුනිදාස මහත්තයත් ඒ පාසලේ උගන්වලා තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වුණාට ලංකාවේ හෙළ බස උගත් ප්‍රමුඛයන් කිහිප දෙනෙක් ම පාසලේ උගන්වලා තියෙනවා. ඒ නිසා ම අපිත් සිංහල භාෂාවට සාහිත්‍යයට බොහෝ ම නැඹුරු වුණා. සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය සංගම්වලට සම්බන්ධ වෙලා වැඩ කළා.
අපට රසායන විද්‍යාව උගන්වාපු ගුරුතුමා එරල් ප්‍රනාන්දු. ඒ වනවිට ලංකාවෙ අමතර පන්ති ක්‍රමය ඇරැඹෙන කාලෙ එරල් ගුරුතුමා අපිට උගන්වන නිසාම ඔහුගෙ පන්තිවලට යන්න තහනම්. ඔහුට මාස තුනකට කැනඩාවට යන්න සිදුවූ නිසා අපිට අමතර පන්තියට එන්න අවසර දුන්නා. ඒත් අපෙන් මුදල් අය කළේ නෑ” ඔහු කියනවා.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය විද්‍යාලෙට යන්න තරම් සුදුසුකම් ඇතුළු විභාගෙ සමත් වුණත් සරත් වෛද්‍ය විද්‍යාලෙට ගියෙ නෑ. ඔහු ජීව විද්‍යා විෂය ධාරාව තෝරා ගත්තේ කුරුල්ලන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න ඔහු තුළ වූ ආශාව සපුරා ගන්නා අදහසින්මයි.
1969 ඔහු කොළඹ විශ්ව විද්‍යාලෙ විද්‍යා පීඨයට ඇතුල් වුණා. ඒ කාලෙත් නවක වදේ තිබුණා. ඒත් එහි අවසාන අරමුණු වුණේ සිසුන් සමාජගත කිරීම මිස අද වගේ හිංසා පීඩා කිරීම නොවෙයි. විශ්ව විද්‍යාලෙදිත් සරත් ක්‍රීඩා කළා. දිවීමෙන් හොකී පිහිනුම් හා බාස්කට් බෝල් තරගවලින් ශූරතා දිනා ගත්තා. දේශපාලනේටත් යොමුවුණා. වාමාංශික ව්‍යාපාරයට යොමුවුණා. හැත්තෑ එකේ කැරැල්ල කාලෙ ඔහු විශ්ව විද්‍යාලෙ නේවාසිකාගාරෙ ඉඳල එන අතර මගදී පොලිසියෙන් අල්ලගෙන ගියේ හැඳුනුම්පත නැතිව හිටි නිසා. දවස් තුනක් කුරුඳුවත්ත පොලිසියේ රඳවලා තියාගෙන ඉඳල නිදහස් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලෙ නීති පීඨ සිසුවෙක්. සරත් විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා හිටියා.
සරත් 1974 දී විශ්ව විද්‍යාලෙන් පිට වුණේ දෙවැනි පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් ලබාගෙන. ඒ අවුරුද්දෙම සරත් කන්තලේ සීනි කම්හලේ පර්යේෂණ නිලධාරියකු ලෙස පත්ව ගියේ ජාතික විද්‍යා සභාව හරහා. කන්තලේ උක් වගාවන්ට වල් ඌරන් ගෙන් වන හානිය පිළිබඳ පර්යේෂණ කළ ඔහු පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ කතිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණා.
සරත් තමන්ටම ආවේණික ශෛලියකට අඳින පළඳින හැසිරෙන පුද්ගලයෙක්. දහදිය හොඳින් උරා ගන්නා පහසු ටී කමිසයකින් සැරසීමටත් කොණ්ඩය වවාගෙන සපත්තු වෙනුවට සෙරෙප්පු පැළඳ ගෙන ඉන්නත් ඔහු කැමැතියි. විශ්ව විද්‍යාල කතිකාචාර්ය තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණෙත් එහෙම.
සම්මුඛ පරීක්ෂණයේදී මහාචාර්ය අරූල් ප්‍රකාසම් ඔහුගෙන් ඇහුවා උගන්වන්න යන්නෙන් ඔහොමද? කියලා ඒ සඳහා දෙන්නට සාධාරණ පිළිතුරක් ඔහුට තිබුණා. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවෙ ශිෂ්‍ය ණයක් ලබා ගෙන. මවුපියන්ට කරදර කරන්න අකැමැති නිසා. ලැබුණු වැටුපෙන් ශිෂ්‍ය ණය බේරලා ජීවත් වෙන්න වියදම් කළාම මිල අධික කලිසං කමිස සපත්තු මිලට ගන්න මුදලක් ඉතිරි නොවන බවයි ඔහු කීවෙ.
ශ්‍රී ලංකාවට ආවේණික මාල ගිරවාගේ හැසිරීම් හා ආහාර ගැනීමේ රටාව ආශ්‍රිත පර්යේෂණය සිදු කොට කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් සරත් ඇබර්ඩින් විශ්ව විද්‍යාලයෙන් පී.එච්.ඩී. උපාධිය ලබාගත්තා.
මධ්‍යම පරිසර අධිකාරියේ වැඩ කරන අතරතුර හැඳිනගත් නාමලී පෙරේරා සමඟ විවාහ වූ සරත්ට තරිණි හා ඕදාත නමින් දියණියක් හා පුතෙක් සිටිනවා. 1984 දී විවෘත විශ්ව විද්‍යාලයට සම්බන්ධ වූ ඔහු 1997 දී කොළඹ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධූරය සඳහා පත්වුණා. 1989 සිට 1992 දක්වා වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත්වූ මහාචාර්යතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ කුරුලු විද්‍යාව පිළිබඳ හා පරිසරය ආශ්‍රිත පාඨමාලා රැසක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබුවා.
විශ්ව විද්‍යාලය හා ප්‍රජාව සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ මහාචාර්යතුමා 1976 දී විශ්ව විද්‍යාලයේ අනුමැතියෙන් බිහි කළ ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය තවමත් ක්‍රියාත්මක වෙනවා.
1980 සිංහරාජ සංරක්ෂණ ව්‍යාපෘතිය ඇසුරින් “සංරක්ෂණය සඳහා පානගමු”, ප්‍රජා අධ්‍යාපන පදනම, ශ්‍රී ලංකා පාරිසරික කොංග්‍රසය, මිහිකත ආයතනය වැනි සංවිධාන රැසක් බිහි කළා. පරිසරය හා කුරුල්ලන් පිළිබඳ කරන ලද පර්යේෂණ හා සංරක්ෂණ ව්‍යාපෘති අගයමින් දෙස් විදෙස් සම්මාන රැසක් මහාචාර්යතුමාට ලැබී තිබෙනවා.
“2004 ජනාධිපති සම්මානය, 1994 ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමුණු සම්මානය 2003 වසරේ විද්‍යාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ජාතික විද්‍යා පදනමෙන් පිරිනැමුණු විශේෂ සම්මානය 2003 අන්තර්ජාතික ජීව විද්‍යා සංරක්ෂණ සංගමය මගින් පිරිනැමුණු සම්මානය ඒ සම්මාන අතරින් විශේෂයි.
එක්සත් ජාතීන්ගේ පරිසර විද්‍යා හා විද්‍යාඥයන්ගේ විද්‍යායතනයේ සමථ කමිටුවේ සාමාජිකයෙකු ලෙස වසර දහයක් මුළුල්ලේ කටයුතු කරන මහාචාර්යතුමා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ඌව වෙල්ලස්ස පදනමින් වගේ ම 2009 සංස්කෘතික අමාත්‍යාංශය මගින් දේශමාන්‍ය සම්මානයෙන් ද පුදනු ලැබුවා.
සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූපය – විමල් කරුණාතිලක
http://www.silumina.lk/2010/07/18/_art.asp?fn=ay1007181
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි