පිපුනි තරුෂිකා පළමුවැන්නී වී මාතරින්....
විභාගයක් කියන්නේ ජීවිතයේ කොටසක් මිස මුළු ජීවිතයම නෙවි. ජීවිතයම විභාගය කර ගැනීම එතරම් ඥනවන්ත දෙයක් නෙවි. මේ සරල සත්‍යය තරුෂිකා හොඳ හැටි වටහා ගෙන තිබුණා.
තරුෂිකා විභාගය ගැන හිතුවේ බොහොම සැහැල්ලුවෙන්. ඇය විභාගය තම හිස මත පැටවූ බරක් කර ගත්තේ නැහැ. හිත සැහැල්ලුවෙන් ගිහින් ඈ විභාගයට ලිව්වේ ඒ නිසයි.
කවුරුවත් නොසිතූ විදියට ඇයවත් නොසිතූ විදියට ඕ විභාගයෙන් සමත් වී තිබුණා. මාතර දිස්‌ත්‍රික්‌කයේ පළමුවැනියා විදියට මුළු ලංකාවෙන්ම දහවැනියා විදියට. තරුෂිකා කියන්නෙ පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දැරියකට. පිපුනි තරුෂිකා ඉගෙන ගන්නේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ. ඇය සුජාතාවේ සුජාත දියණියක් බවට පත්වුණා. පහත දැක්‌වෙන්නෙ අප ඇය සමග කළ කතාබහක සටහනක්.
"මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 2,68,995 ක් සිසුන් අතරින් ඔබ ලංකාවෙන්ම දහවැනියා බවට පත්වුණා. එය දැන ගත්තාම ඔබ පුදුම වෙන්න ඇති?"
"(මඳ සිනා ඇතිව) නෑ. මම එහෙම පුදුම වුණේ නැහැ. ඒ ගැන ලොකුවට හිතුවෙත් නැහැ. මම හොඳට විභාගයට ලිව්වා. අනිවාර්යයෙන්ම මම ඉහළින් පාස්‌වෙන බව මම දැන සිටියා. ඒ නිසා ඒක මට පුදුමයට කාරණයක් වුණේ නැහැ."
"ඔබගේ මව්පියන් විභාගය ඉහළින් පාස් වෙන්නැයි ඔබට ඉඟි කළාද?"
"අනේ නැහැ. කවදාවත් නැහැ. මට විභාග කටයුතු කර ගන්නට ඉඩදී ඒ අය තමන්ගෙ පාඩුවේ හිටියා. මට කිසිදු බලපෑමක් කළේ නැහැ. මට උදව් කළා පමණයි. අම්මා තමයි මට ගණිතය ඉගැන්නුවේ..."
තරුෂිගේ අම්මා නොයෙලි ගුණරත්න මාතර පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලයේ ගණිත ගුරුවරියක්. තාත්තා පියදාස වන්නිආරච්චි. ජාතික සංවර්ධන බැංකුවේ නිලධාරියකු හැටියටයි වැඩ කරන්නේ.
"ඔබ ඉගෙනීම් කටයුතු කරන්නේ කාලය කළමනාකරණය කරගෙනයි කියා පුවත්පතකට කියා තිබුණා. ඇත්තටම ඔබ කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ?"
"මෙහෙමයි මම මගේ දෛනික කාලය කාලසටහනකට අනුව බෙදා ගන්නවා යයි සිතන්නට එපා. මම එහෙම කරන්නෙ නැහැ. මම සාමාන්‍ය ජීවිතයෙන් කිසි විටෙක අයින් වුණේ නැහැ."
මම ගෙදර වැඩටත් අම්මාටත් උදව් වුණා. රූපවාහිනිය බැලුවා. පරිගණකය සමග කටයුතු කළා. හැබැයි මම සෑම දිනකම පැය කීපයක් එක් විෂයක් වෙනුවෙන් වෙන්කළා. මම පාඩම් කරන වෙලාව උදේ වෙන්නත් පුළුවන්. රාත්‍රි වෙන්නත් පුළුවන්. නැතුව අහවල් වෙලාවේ සිට අහවල් වේලාව දක්‌වා පාඩම් කළ යුතු යයි මම ලියා ගත්තේ නැහැ. මගේ කාලසටහන උදාවෙන දවසේ වටපිටාව අනුව වෙනස් කරගත්තා."
"අදාළ විෂය සඳහා වෙන්කළ දිනයේදී ඔබ එම විෂය හැදෑරුවේ කොහොමද?"
මම මුලින්ම පාඩම් සටහන් කියෙව්වා. කියවන ගමන් එහි අඩංගු කරුණු වෙන වෙනම ගොනු කරගත්තා. ඉන් පස්‌සෙ මම ඒවා අවබෝධ කරගන්නට උත්සාහ කළා. අනතුරුව ඒවා යළිත් මතකයෙන් කිව හැකිදැයි විමසා බැලුවා. මම ඒ කරුණුවලට අදාළ ප්‍රශ්නයක් සොයා ගෙන පිළිතුරු කෙටියෙන් සපයමින් අභ්‍යාස කළා. එහිදී මා බැලුවේ එම කරුණු ස්‌ථාවරව සිතේ තැන්පත් වී ඇත්දැයි සොයා බැලීමයි. ඒ නිසා මට එම පාඩම් නැවත නැවත බැලීමට අවශ්‍ය වුණේ නැහැ.
ඔබ වෛකල්පිත විෂයයන් ලෙස වාණිජ හා ගිණුම්කරණය, තොරතුරු තාක්‌ෂණය හා ඉංග්‍රීසි සාහිත්‍ය තෝරා ගත්තේ අධ්‍යාපන ගමනේ ඉදිරි අපේක්‌ෂාවක් හැටියටද?
"ඇත්තෙන්ම මම එහෙම කළේ නැහැ. එම ක්‌ෂේත්‍ර තුනට මගේ ලොකු කැමැත්තක් තිබුණා. මගේ අරමුණ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරියක වීමටයි. එහෙත් එම විෂයයන් අනාගතයේ කුමන හෝ අවස්‌ථාවක මගේ පිහිටට ඒ යෑයි මා තුළ හැඟීමක් තිබුණා."
"උපකාරක පන්ති ගැන ඔබේ අදහස කුමක්‌ද? පාසලෙන් ලැබෙන දැනුමට අමතරව උපකාරක පන්තිවලටත් යා යුතුද?"
"(මදක් සිනා) උපකාරක පන්ති එක පාරටම ඉවත් කර දමන්නට අමාරුයි. මීට අවුරුදු ගණනකට ඉහත විභාගවලට වඩා අද විභාග සඳහා ඇති තරගයත් නිර්දේශවල ඇති පුළුල් බවත් බැරෑරුම්. ඒ නිසා වඩාත් දැනුම ලබා ගන්නට අවශ්‍යයි."
"ඔබ හොඳ දැනුමක් ප්‍රදර්ශනය කර තිබෙනවා. අවස්‌ථාවක් ලැබුණොත් කොළඹ වඩා ජනප්‍රිය පාසලකට යනවාද?
"කොහෙත්ම නැහැ. ශිෂ්‍යත්වය සමත් වෙලත් මම මගේ පාසල අත්හැර ගියේ නැහැ. ගෙදර ඉඳල ඉස්‌කෝලෙ යන්න ලැබෙන එකට මම වඩා කැමැතියි."
ඔබ සිතන විදියට ඉගෙන ගන්නා ළමයෙකුට තම කටයුතු සාර්ථකව කර ගැනීමට තිබිය යුතු වටිනාම දේ කුමක්‌ද?
"මානසික නිදහස. මනස සමබරව තබා ගැනීමට පරිසරය උදව් වෙනවා නේ. ඒ නිසා ගෙදර සාමකාමී හොඳ පවුල් පරිසරයක් තිබීම හොඳයි. දුප්පත්ද, පොහොසත්ද, ලයිට් තියනවාද, ලාම්පු ද තියෙන්නෙ කියන එක නෙවී මම කියන්නේ. සුහද පරිසරයක් ගැන. හිත් රිදවීම් නැති එකක් ගැන.
ඔබ ලංකාවෙන්ම 10 වැනියා ලෙසත්, මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රථමයා ලෙසත් විභාගය සමත් වුණා කොහොමද ඔබට මෙය දැනගන්නට ලැබුණේ?
"ජනාධිපති මන්දිරයට යනකම් මා එය දැන සිටියේ නැහැ. එහෙත් අපි වගේ දරුවන්ගෙ උත්සාහයත්, දක්‌ෂතාවයත් ඇගයීමට ලක් කිරීම ගැන සතුටක් මට තියෙනව. ඒ ගැන ජනාධිපතිතුමාට ස්‌තුති කරන්න ඕන. එයින් අපේ ඉගෙනීමට ඇති ආශාව වැඩි වෙනවා. එය දකින රටේ අනිත් සිසුන්ගෙත් උනන්දුව වැඩි වේවි."
"තරුෂිකා· ජයග්‍රාහිකාවක් හැටියට ඔබේ සහෝදර සිසු සිසුවියන්ට දෙන පණිවිඩයක් තියෙනවාද?"
"(සිනාසෙමින්) "ඇල්මෙන් අකුරු උගෙනිව්" කියලා තමයි කියන්න තියෙන්නේ. එය කවද හරි තමාගේ පිහිටට එනවා. ජීවිතයේ අත්තිවාරම වැටෙන්නෙ ඉගෙනීම තුළින්. හිතට එකඟව උත්සාහයෙන් පාඩම් කටයුතු කළොත් බිය සැක නැති විභාගයක් වෙත යන්න පුළුවන්."
ලීලානන්ද වික්‍රමසිංහ
http://www.divaina.com/2013/04/28/nimna06.html
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි