Saturday, April 13, 2013

එදා සිංහල අලුත් අවුරුද්ද හැඩ වැඩ කළ කෙළි සෙල්ලම්

එදා සිංහල අලුත් අවුරුද්ද හැඩ වැඩ කළ කෙළි සෙල්ලම්

අපට එදා අවුරුද්ද උදා වූයේ පාසල් නිවාඩු දුන් දා සිට ය. මුළු මාසය ම අපට සෙල්ලම් කාලයකි. ඇති තරම් දහඩිය දමන තෙක් අපි සෙල්ලම් කළෙමු. ඇතැම් දිනවල ළඳුකැලෑ, කඳු මිටියාවත්, ඇළ දොළ, මුහුදු වෙරළ සහ ඉපනැල්ලක් ඇති කුඹුරු යාය ද අට කෙළි බිම් විය. ඒවා ඇසුරෙන් අප උගත් පාඩම් ද බොහෝ ය. නිහඬව වුවද අපේ ළමා කාලයේ දී කුරුල්ලන්ගේ සතා සිවු පාවුන්ගේ හැසිරීම් රටා, ගහ කොළ වැඩෙන සැටි අපට කියා දුන් පාඩම් බොහෝය. උස අඹ ගහකට පොල්ලකින් ගසා කඩා ගෙන කන අඹ ගෙඩියක, කජු පුහුලමක රස වින්දෝ කා සමඟත් බෙදා හදා ගෙන ය.
අවුරුදු කාලයට හැම ගෙදරක ම ඔන්චිල්ලාවකි. කුඩා දරුවන් සිටින ගෙදරක ගහක අත්තක බැඳි ඔන්චිල්ලාවකි. අපේ ගෙදර නම්, පොල් ගස් දෙකක් හරහා බැඳගත් පුවක් කඳක ලොකු ඔන්චිල්ලාවක්, ගෙදර ම අඹරාගත් ලනු කඹ වලින් බැඳ තිබුණි. ඔන්චිල්ලාවේ නැඟී ඔන්චිලි වාරම් මේ ගෙදර කියන විට අල්ලපු ගෙදර ද ඔන්චිල්ලාවේ පදින දරු දැරියන්ගේ වාරම් හඬ ගම පුරා රැව් දෙනු ඇත. ඔන්චිල්ලාව ගැන කියන කොට ‘මඩොල් දූව‘ පොතේ එන උපාලි ගිනිවැල්ල, ඉස්කෝලෙ හාමිනේගේ සාරි වලින් බැඳ ගත් ඔන්චිල්ලාවක් ද මගේ මතකයට නැඟේ. කුඩාම දරුවන්ට නම් සාරි, කම්බා, ඇඳ ඇතිරිලි වලින් ගෙදර යටලීයේ බැඳුණු ඔන්චිල්ලා විය.
අපේ ගමේ ප්‍රසිද්ධ වූයේ ‘කතුරු ඔන්චිල්ලාව‘ යි. වඩු මාමා රාහු කාලය හසු නොවන සේ හොඳ හෝරාවක් බලා දෙවියන් බුදුන් වෙත මල් පැලක් සාදා පින් පෙත් දී අතුරු ආන්ත්‍රාවක් නොවේ යයි පතමින් කතුරු ඔන්චිල්ලාවට මුල පුරයි. පුවක් පටි, ගොක් කොළ වලින් හැඩ වැඩ වූ කතුරු ඔන්චිල්ලාවේ මැද ‘ඇක්සලයට’ කරක්ත රෝදයේ ‘බොස් ගෙඩිය’ ට සමාන මෙවලමක් විය. වඩු මාමා ඒ පළාතේ ම විශේෂඥ කරත්ත බාස් කෙනෙක් වූ බැවින් මේ කතුරු ඔන්චිල්ලාව හැදීමේ තාක්ෂණය ඔහු හොඳින් දැන සිටියේ ය. රෝදය පහසුවෙන් කර කැවීමට මිනිරන් යොදා තිබිණි. එහි මැද කොටස අයකු පාගන විට ඔන්චිල්ලාව කර කැවෙමින් පැද්දෙයි.
කතුරු ඔන්චිල්ලාව පදින විට කියන ඔන්චිලි වාරම් හරි අපූරුය. ඔන්චිල්ලාව පදින අයුරු කියන මේ වාරම ඉතා ලස්සනට ඇද පැද කියන්නට හැකි ය.
’අට කොන අට දෙන වාඩි වෙයල් ලා
සිට ගෙන දෙන්නෙක් පොලු පාගල් ලා
වවුලන් ලෙස කැරකෙන ඔන්චිල් ලා
අපිත් පදිමු දැන් රන් ඔන්චිල් ලා

අපේ ගම් වල කොයි දේටත් ප්‍රථම තෙරුවන් නැමදීම සිරිතකි. ඔන්චිල්ලාව පදින්නට ගොස් මුලින්ම කියන්නේ තෙරුවන් නමදින වාරමකි.
බුද්ධං සරණේ සිරස දරා ගෙ න
ධම්මං සරණේ සිත පහදා ගෙ න
සංඝං සරණේ සිවුරු දරා ගෙ න
මේ තුන් සරණේ පිහිට පතා ගෙ න

අවුරුද්ද, ග්‍රහයන්, සූර්යයා, මිහිකත ද සිහිපත් කරන නැකැත් උත්සවයකි. නැතහොත් සූර්ය මංගල්‍යයකි. ඔන්චිල්ලාවට නැඟ පළමු කවිය ආගම සිහිකර දෙ වන කවිය අනිවාර්යයෙන් ම කියනුයේ ග්‍රහ වස්තූන්ට ය.
’සරණයි සරණයි හිරු දෙවි සරණ යි
සරණයි සරණයි සඳ දෙවි සරණ යි
සරණයි සරණයි මිහිකත සරණ යි
සරණයි සරණයි මේ තුන් සරණ යි

සිංහල අවුරුද්දට අපේ ගම්වල තරුණ කාන්තාවන් ද ඔන්චිලි පැදීමට පුදුම ආශාවක් දක්වති. අපට මතක හැටියට ගවුමට උඩින් චීත්තයක් ඇඳගත් අපේ අක්කලා නංගිලා නැන්දලා පුංචි අම්මලා සතුට සොම්නස ගම පුරා පැතිරෙන්නට වාරම් කියමින් අලුත් අවුරුද්දේ නැවුම් බවත්, වාසනාවත් පැතිරවූහ. ඇතැම් වාරම් කවි වල ළඳුන් සඳහා විශේෂයෙන් උපදේශ ඇතුළත් විය.
දිලෙන දසන් යුතු මුතු පෙළ සදි සී
සොබව රුසිරු දෙවඟන මෙන් දිලි සී
තරුණ ළඳුනි නුඹලා සබ පිවි සී
පදින ලෙසට එනු නොමැලිව සැර සී

පදින කලට අඟනන් ඔන්චිල් ලා
අඳින සළුව තද කර ඇඳපල් ලා
තදින අතින් වැල් අල්ලා ගල් ලා
සොඳින වරල බැඳගෙන පැදපල් ලා

තරුණ ළඳුන් ඔන්චිල්ලා පදින දෙස බලා සිටින පිරිමින් ගැන කියැවුණු වාරම් ද ඇත.
දෙසවන් රන් තෝඩුත් ගවසා ගෙ න
තොසමන් සළෙලුන් දෙස නොබලා ගෙ න
හසඟනවන් ළඳ ලියෙකි සොබා ගු න
ඇස නොබලා වෙනතක පැදපන් දැ න

බඳුවද පෙති වන් මුකය දිලෙන් නේ
විදුදර මැව් රන් රුව විලසින් නේ
ඇස ඇර සළෙලුන් වෙත නොබලන් නේ
ළඳුනේ ඔන්චිල්ලා පැද පන් නේ

ඔන්චිල්ලා පදින විට කුඩා ළමයින් නිතර කියන වාරම් ද විය.
ඔංචිලි චිලි චිල්ල ම ලේ - වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ - කඩා දියන් මගේ මලේ

ඔන් චිලි චිල්ල මලේ - වැල්ල දිගට පුවක් මලේ
නැන්දලාගෙ කොස් වත්තේ – එක ගෙඩියයි පල ගත්තේ
ඒක කන්න ලුණු නැත්තේ – ලුණු මිනිහා ගම නැත්තේ

මේ අයුරින් වාරම් කියද්දී තරමක නොගැළපෙන වාරමක් ද කුඩා කල අපට අසන්නට ලැබුණි.
ඔන්චිල්ලාවේ දෙන්න නැගී ලා
දෙන්නගෙ කෝලම කඩා වැටී ලා
ඒක බලන්නට කොල්ලො පිරී ලා

............................
තුන් වන පදයට පසු ඉවතට ආ වඩු මාමා මෙහෙම කතාවක් කීවේ ය.
’දරුවනේ... ඔය මොනවද කියන්නෙ.. මෙන්න මෙහෙම ලෝවැඩ සඟරාව කියාපල්ලා’
පුංචිම පුංචි පුටුවක් ගෙනැවිත් වාඩි වී ලෝවැඩ සඟරාව බලමින් වඩු මාමා පදයක් කී විට කුඩා අපි මහ හයියෙන් ඒ තාලෙටම කීවෙමු. කොහොමත් අවුරුද්ද අවසන් වන විට ඔන්චිලි පදමින් කියූ ලෝවැඩ සඟරාවේ කවි දහයක් පහළොවක් ම අපට කට පාඩම් වී තිබුණි. එය ඒ කාලයේ වැඩිහිටියන්ගේ ආදර්ශවත් චර්යා විශේෂයක් බව දැන් අපට වැටහේ.
ඔන්චිල්ලාව මෙන් ම අවුරුදු කාලයට ගමේ ‘පන්දු පිටිය’ ද වැදගත් තැනකි. පොල් රුප්පාවක පොල් ගස් පේළි දෙකක් අතර පන්දු පිටිය සැකසුණි. ගම මැද පිහිටි මේ ඉඩම අවුරුදු කාලයට පන්දු පිටියක්, සෙල්ලම් බිමක් විය. එළුවන් ගන්නේ, ලී කෙලි නැටුම් නටන්නේ, කොටු පනින්නේ ද මෙහි ය. ඡන්දෙ කාලයෙ හැම පක්ෂයකම ඡන්ද රැස්වීම් තියන්නේත් රජයේ චිත්‍රපට පෙන්වන්නේ ද මේ බිමේ වීම විශේෂයකි. අද කාලයේ වගේ ප්‍රජා ශාලා, පොදු රැස්වීම් හල් නොතිබූ ඒ කාලයේ මේ බිමේ අයිතිකරු විසින් ඒවා ප්‍රජාවට අනියමින් පරිත්‍යාග කර තිබුණේ පොල් මුරේට පොල් පමණක් කඩා ගනිමිනි.
පන්දු ගැසීමට පන්දුවක් සකසන්නේ ඒ පිළිබඳ විශේෂ හැකියාවක් ඇති කෙනෙකි. කුඩා ගෝලාකාර ගල් කැටයක් ගෙන ඒ වටේට සරොම් පටි ඔතනු ලැබේ. ඒ කාලයේ මැහුම් ගෙදර ඕනෑ තරම් සරොම් පටි තිබුණි. මෙසේ සරොම් පටි ඔතා ගැනීමේ දී ඒ මැද්දට ලුණු සහ ගොරක එකට තලා ගත් තලියක් මැදට තබා තිබුණි. ඒ නිසා පහරක් වැදුනත් හානියක් නොවේ. ලොකු දොඩමක් තරමට වෙලා ගත් බෝලය වටා හණ නූලෙන් මැස්මක් දමා සම්පූර්ණයෙන් ම ගෙත්තමක් ලෙස හොඳට සවිමත් ව තිබුණි.
පන්දු ගැසීමේ දී පිල් දෙකකි. සම ශක්ති මට්ටමේ පිරිමි දෙදෙනා බැගින් එකතු වී දෙපාර්ශ්වයට සම්භාවී ලෙස බෙදා ගනු ඇත. ක්‍රීඩාවට පුහු පොල් ගෙඩි දෙකක් බිම තබා ඒ උඩ මට්ටය නම් කෝටු කැබැල්ලක තබා ඇත. දැන් එහි සිට දෙපාර්ශ්වයෙන් ම සම්මත කර ගත් දුරක සිට අර පුහුගෙඩි දෙකට එල්ල කොට පන්දුව එවයි. පන්දුව එක් වරක් බිම වැදී අනෙක් පාර්ශ්වය අල්ලා ගතහොත් පුහු කට්ටලය ළඟ සිට කඩා දමා එක් අයකුª දැවිය හැකිය. එක එල්ලේම ගසා ද දැවිය හැකිය. එය අසීරු වැඩකි. ඇතැම් විට බිම දිගේ පන්දුව ඉලක්ක කර ආවත් නොවැදී අනෙක් පාර්ශ්වයට ගිය විට කකුලක් පෙරට තබා පන්දුව කරට උඩින් ගොස් බිම වැටෙන විට අල්ලා ගත හොත් අයකු දවන්නට හැකි ය. ඉක්මනින් ක්‍රීඩකයන් දැවුණාට පසු ඒ පිල පරාද වෙයි.
පරාද පිලට පරාදය පිළිගෙන පුහු ගෙඩි දෙක තියෙන තැන උක්කුටකයෙන් වාඩි වන්නට සිදුවෙයි. ජයගත් පිලේ නායකයා මට්ටය අතට ගනී. ඔහු පසු පස රවුමට ජයගත් පිල යනු ඇත. මෙන්න මෙහෙම කවි කියනු ඇත.
ආ.... වඩා.... ආයු බෝ.... වේවා
අනෙක් අය නායකයා අනුකරණය කරනු ඇත.
හෝ... ජල්ලියා.... ජල්ලි.... ජකිරි ජල්ලියා
මුන් සැමට ම ජල්ලියා....
පොරණ සිටන් පන්දු කෙළියෙ මහසම්මත මුල
එතැන සිටන් පන්දු නෙළියෙ අපේ මුත්තො පෙ ළ
අප සමඟින් පන්දු කෙළල දිනයි ද තොප බො ල
හෝ ජල්ලි ජල්ලියා - මුන් සැමට ම ජල්ලියා
නැවතත් ආවඩා කවි වෙනත් තාලයකට ගායනය කරනු ඇත.
එල්ලි ඇවිත් බුහු කෙළියේ පැර දීලා
මල්ලි මොකද දැන් ඉන්නේ අඬාලා
ආල වඩන ඉලන්දාරි බුහු කෙළියෙන් පැර දීලා
කෝල සිතින් බිම ඉඳ ගෙන පරාද බව වැටහීලා
බාල කුඩා ළමා පිරිස වටේට සිට කැරකීලා
ලාල ලල්ල බුහු කෙළියේ රිසි අරවමු එක් වීලා...

නැවතත් ආවඩන්නේ බරපතළ විහිළු තහළු කරමිනි.
’මූට නමක් තියාපියෝ’
’බකමූණයි කියාපියෝ’
’මූට නමක් තියාපියෝ’
’බඩ ගෙඩියයි කියා පියෝ’

මෙහෙම විහිළු කර අවසානයේ දී මන්තරයක් මෙන් මතුරා නැගිටින්න කියනු ඇත. ‘ඕං.. රීං.. කට්ටු කට්ටු.. ඊළඟ පන්දු වාරයේ දී සියලු දෙවි දේවතාවුන්ගේ අනුහසෙන් ජය ලැබේවා’ කියා අසුර සන් තුනක් ගසා කවුරුත් සිනහ මුහුණෙන් ඊළඟ වටය හෝ අවසන් වටය නිම කරනු ඇත.
අවුරුදු කාලයට සවස් යාමයේ සඳ එළිය ඇති විටෙක ‘ලී කෙළිය’ පටන් ගනු ඇත. අඩි එක හමාරක් පමණ කිතුල් ලීයෙන් සෑදූ කුඩා පොලු විශේෂයක් මේ සඳහා ගනු ලැබේ. මේ පොලු අවුරුද්දක් ම දුමක දමා තිබී සිංහල අවුරුද්දට පෙර හොඳට සෝදා ගැනේ. ලී කෑල්ලෙන් කෑල්ල ගටමින් තුන් සරණේ හෝ ලෝවැඩ සඟරාවේ කවි කියමින් ගම පුරා පාරවල් වල ඇවිදීම මෙහි පිළිවෙළයි. විවිධ ගමන් තාල, රටාවකට නැවෙමින් දිග හැරෙමින් රිංගමින් කරන ලී කෙළිය ද මුළු ගමම අවදි කරන සෙයක් විය.
එහි දී ගායනා කරන කවි කීපයක් මට මතකයට නැඟේ.
පළමුව බුද්ධං සරණේ නම කර
දෙවනුව ධම්මං සරණේ නම කර
තෙවනුව සංඝං සරණේ නම කර
අඩිය ගසන්නට මිහිකත අව සර

එක පඳුරෙන් ලී සයක් කපා ගෙ න
එක උස සදෙනෙක් තෝරා ගෙ න
ගුරුන් අතට දී අවසර අරගෙ න
ඉතින් කෙළිමු ලී දෙ පිල බෙදාගෙන

සිංහල අවුරුදු කාලයට පිරිමින් සඳහා මෙන් ම කාන්තාවන්ට ද සුවිශේෂ වූ ක්‍රීඩා ඇත. මේ කොයි ක්‍රීඩාවේත්, ඇති වටිනාකම වැඩි සංඛ්‍යාවකට සහභාගි වී සතුට බෙදා ගන්නට හැකි වීමයි. ඒ නිසා කවුරුත් සහාය වෙති.
කාන්තාවන් අතර ජනපි‍්‍රය වූයේ කළගෙඩි සෙල්ලම, මේවර කෙළිය, ඔළිඳ කෙළිය, එළුවන් ගැනීම, රබන් වාදනය ආදියයි.
අලුත් අවුරුද්දේ වැඩ අල්ලා අනුභවය කළ පසු ඒ ගෙදරින් මේ ගෙදරට ද කෑම පිඟන් හුවමාරු කර ගත් පසු රබන් ගහන්නට ආරාධනා කරනු ඇත.
’කැතරින් නැන්දේ, කැතරින් නැන්දේ රබන් පදයක් ගහමු ද?’
’රබන් ගහන්න කවුරු කවුරු ද ඉන්නේ’
’මාගරට් අක්කල, කුසුමාවතී අක්කල, චාලට් නැන්දල ඉන්නවා’
’එහෙනම් නංගියේ අපේ රබානත් අරගෙන එන්නම්’
’මං එහෙනම් ගිනි කබලකුත් ලෑස්ති කරනවෝ’
කාන්තාවන් රබන් දෙක තුනක් ම ගෙන රබන් රඳවන ආධාරකය උඩ රබාන තබා ගිනි කබලෙන් රත් කර රබන් ගහන සිරියාව ගම පුරාම පැතිර ගියේ සතුට සහ සාමයයි.
’පැලවත්තේ කැත්ත දොදොන්,
පිල වට කර කැත්ත දොදොන්
ලංසි ගෙදර බංකු කකුල,
මං යන කොට නිකන් කකුල,

උඩින් උඩින් වර පෙත්තප්පු - බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර – කැවුම් කන්න වර පෙත්තප්පු

කොක්කු දෙබානක් ඇවිදින් පුත්තලමේ දොයි – තවත් දෙබානක් ඇවිදින් අතර මගදි දොයි
කොකා කරපු නින්දාවට කෙකී ඇවිත් බොම්බායට - කෝ කොට කොක් කෝක් කොට කොක්
බොලන් පොඩි නංගි – ටිකක් හිටපන් – බුලත් විට කන්න ටිකක් හිටපන්
ඉඳං ගොඩ තම්බි – ටිකක් හිටපන් – මටත් රෙදි ගන්න ටිකක් හිටපන්
ඔය ලොකු මල් රෙදි, ඔය පොඩි මල් රෙදි ඇත්ත කියා මට රියනක් දීපන්
බුදිද බුදිද බුදිද බන් – පැදුර ගන්න නැඟිටපන් – පැදුර දෙන්ට බැරිය බන්
කෙන්ඩ පෙරලිලා තක දොං කෙන්ඩ පෙරලිලා
වට්ටිත් පෙට්ටිත් දණ්ඩක බැදී ගෙන – නංගී බලන්නට ගිංතොට යන කොට
කළු වැල්ලේ අය රබන් ගහන්නේ – රීං රින්න කතෝරි රීං රින්න කතෝරිං
අපි දන්නේ නෑ ඔය සුරල් පදේ
එළුවන් ගැනීම, මේවර කෙළිය, ඔළිඳ කෙළිය, කළගෙඩි සෙල්ලම වැනි ක්‍රීඩා ඒ කාලයේ ඉඳහිට දක්නට ලැබුණ ද එළුවන් ගැනීම නම් හවස් කාලයේ දී ගෙවලවල මිදුලේ බාලිකාවන් එක් වී සෙල්ලම් කරනු දක්නට ලැබුණි. අද මේ ක්‍රීඩා අභාවයට නොගොස් නව නිර්මාණ ලෙස හෝ අපේ පාසල් පද්ධතියේ නැටුම් ගුරුවරියන් ඉදිරිපත් කිරීම කලා උලෙළවලදී දක්නට ලැබීම අප උරුම සංස්කෘතියක් සංරක්ෂණය කිරීමක්යැයි මට සිතේ.
අවුරුදු කාලයට ඈත පෙදෙස්වල ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතුවල නිරත වූවන් ද ගම්බිම් කරා පැමිණෙති. කොලු කාලයේ මිතුරන් එකතු වූ විට මැවෙන්නේ රස ගුලාවකි.
’...... අයියේ, පොඩි සාජ්ජයක් දාමු ද?’
’යමං මස්සිනා අපේ ගෙදරට’
මාස්ටර් තම සර්පිනාව ද, ජපන් මැන්ඩලිනයද, තබ්ලාව සහ ඩොලැක්කිය ද, බට නළාවද රැගෙන ලන්දේසි ක්‍රමයට තැනූ ගෙදර ලොකු ඉස්තෝප්පුවට එක් වෙයි. පැදුරුබිම එළා සාජ්ජය මහ ඉහළින් පටන් ගනී. ඒකාලයේ ජනපි‍්‍රය, කාටත් අහන්න හැකි ගීත ලස්සනට ගයන්නේ ගමේ කාගේ කාගෙත් සතුටට පත් කරවමිනි. මෙහෙම ගීත ගයන සාජ්ජ කාරයන්ට කැවුම්, කොකිස්, මුංගුලි, කෙසෙල් ගෙඩි යනාදිය අවට ගෙවල් වලින් දරුවන් අතේ කාන්තාවෝ එවති.
වැඩියෙන් ම මේ අය කැමති වන්නේ මයියොක්කා වේලා බැදපු කෑමටත්, දෙල්කූරු වියලා තෙල් දමා සාදන ලද කට ගැස්මටය. අපේ බෞද්ධ ගෙවල්වලට එදා මස්මාංශ කිසි විටෙක ගෙනාවේ නැත.
සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තෙල් ගාන නැකතෙන් නිම වෙයි. ගමේ වැඩිහිටියෝ රැකියා වලට යති. ගොවියෝ ගොවිතැන් වැඩ පටන් ගනිති. පාසල් දරුවෝ පාසල් යති. ගෙදර තනි වන ගෘහිණියෝ පොල් අත්තක්, පැදුරක්, මල්ලක්, මැහුමක් දෙකක් මහන්නට පටන් ගනිති. දිවා ආහාරය, රාත්‍රී ආහාරය තම දරුවන්ට හා සැමියන්ට සකස් කරන ගෙදර දොර අස් පස් කර දර දිය සපයා ගන්නා කාන්තාව මුළු ගෙදරට ම සිරියාව, ගෙන එයි.
තිස් අවුරුද්දක් දුක් සුසුම් ලා සැකෙන් බියෙන් අවුරුදු ගමන් ගිය කාලය නිමා විය. දැන් අපට සිත් සේ ගොවිතැනක් බතක්, රැකියාවක් කර ගෙන දරුවන්ට උගන්වා ගෙන ජාති ආගම් කුල භේද වලින් තොරව අවුරුදු සමරන්නට හැකි ය. මේ යහපත් වාසනාවන්ත කාලය ඉර හඳ පවතින තුරු ම අපේ රටටත් සමස්ත ලෝකයටත් අපි ප්‍රාර්ථනා කරමු.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි