Monday, November 25, 2013

සංගීතය ඉහළින් සමත් වෙන්න පුහුණුව වැදගත් බව සිතන්න

පෙරදිග සංගීතය

සංගීතය ඉහළින් සමත් වෙන්න පුහුණුව වැදගත් බව සිතන්න

අ.පො.ස (සා/ පෙළ) සෞන්දර්යය විෂය ධාරාව අතරින් පෙරදිග සංගීතය විෂය ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන විට ඔබ ප්‍රධාන විෂය ප්‍රශ්න පත්‍රවලට මුහුණදී අවසන්. එයින් ඔබේ හිත තරමක් හෝ නිදහසක් ගෙන දෙන්නට පුළුවන්.
සංගීත විෂයයත් අනෙකුත් විෂයයන් හා සමානවම ඔබට වැදගත්. හරියාකාරව විභාගයට (ලිඛිත හා ප්‍රායෝගික) මුහුණ දුන්නහොත් ඉතා පහසුවෙන් Aසාමාර්ථයක් කරා ඔබට යාමට පුළුවන්.
පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රය ප්‍රධාන කොටස් 2 කින් යුතුයි. මුලින් ම ඔබට ලැබෙන්නේ ලිඛිත ප්‍රශ්න පත්‍රයයි. ප්‍රායෝගික පරීක්ෂණයට ‍ඔබට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉන් පසුවයි. ඒ නිසා දැන් ඔබ සූදානම් විය යුත්තේ සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයට නොව ලිඛිත පරීක්ෂණයටයි‍.
ලිඛිත පරීක්ෂණයට සූදානම් වන ඔබට රාගධාරී සංගීතයේ කොටසට ද සූදානම් වන්නට ඔබට සිදුවෙනවා. මේ රාගධාරී සංගීතයේ කොටස් කවදාවත් කටපාඩම් කරන්න බැහැ. එහෙම කර විභාගයට සූදානම් වෙන්නත් එපා. ඔබ රාගධාරී සංගීතයේ ප්‍රශ්නයන්ට සූදානම් විය යුත්තේ රාගධාරී සංගීතයේ කොටස් ප්‍රායෝගිකව පුහුණුවෙමිනි. රාග පවා ඉඩ ලැබෙන ලැබෙන ආකාරයෙන් ගායනා කිරීමෙන් ඔබට ඒවා හොඳින් මතක තබා ගැනීමට හැකිවනු ඇත. අඩුම තරමින් එක් රාගයක් පස් වතාවක්වත් ගායනා කරමින් මතක තබා ගන්නට උත්සාහ කරන්න.
බොහෝ විට විභාගයට බිලාවල් රාගයේ මධ්‍ය ලය ගීතයෙන් ප්‍රස්ථාර ගත කරන්නට එන්න පුළුවන්. එවැනි ප්‍රශ්නයක් පැමිණියහොත් ප්‍රස්ථාර ගත කරන්නට නම් ගීතය ඔබ මතක තබාගත යුතුයි. මා සිතන ආකාරයට, මගේ අත්දැකීම අනුව ඒ සඳහා හොඳම ක්‍රමය ප්‍රායෝගිකව පුහුණුවීමයි.
ඔබට විභාග ප්‍රශ්න පත්‍රයට 8, 9, 10 හා 11 ශ්‍රේණිවල ඉගැන්වූ සියලු රාග එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පෙර ශ්‍රේණිවල ඉගැන්වූ රාග කොටස් ද ඔබ විභාගයට පෙර බලාගත යුතුයි. රාගවල ලක්ෂණ ගීත කොටස් ඔබ කටපාඩම් කිරීම ඉතා වැදගත්‍. සමහර විට විභාග ප්‍රශ්න පත්‍රයට රාග විස්තර ලියන්න එන්න පුළුවන්. ඔබට ලක්ෂණ ගීතය කටපාඩම් නම් රාග විස්තරය පහසුවෙන් ලිවිය හැකියි. සංගීත විෂයට පෙනී සිටීමේදී ඔබ විශේෂ අවධානයක් මේ කරුණට යොමු කළ යුතුයි. ඔබට ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්නට නම් සංගීත විෂයේ ප්‍රායෝගික කොටස් පාඩම් කළ යුත්තේ ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමිනි.
සංගීතය විෂය ප්‍රශ්න පත්‍රයට ජන සංගීතයේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන් ම එකතු වෙයි. ගැමි ගී, සේ ගීවල විශේෂ ලක්ෂණ මෙන් ම වන්නම් හා තාල පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රයට ගැමි නාද මාලාවක් සහිත ගීතයක් දී ඒ සමඟම ගැඹුරු භාෂාවක් සහිත ප්‍රශස්ත ගීතයක් දී මේ ශෛලීන් දෙකෙහි විශේෂ ලක්ෂණ අහන්න පුළුවන්. ඍජුවම ගැමි ගී හා සේ ගී නොදී ඉහත ආකාරයට වක්‍රාකාරයෙන් ප්‍රශ්න දී මේ දෙකෙහි විශේෂ ලක්ෂණ ඇසීමේදී ඔබ ගැමි හා සේ ගී මොනවද යන්නත් ඒවායේ විශේෂ ලක්ෂණ මොනවාද යන්නත් දැනගත යුතුයි.
එසේ ම ඔබ පිළිතුරු ලිවීමේදී ගැමි ගීයට නිර්මාතෘ කෙනෙක් නැහැ. (නිර්නාමිකයි) සේ ගීය එසේ නොවේ කියා පිළිතුර නොසැපයිය යුතුයි.‍ පිළිතුර ලිවිය යුත්තේ සේ ගී ය ග්‍රන්ථාරූඪ ‍කොට නිර්මාතෘ වරයෙක් සඳහන් වේ යනුවෙනි.
ඔබ ලිඛිත භාෂාවේ පාරිභාෂිත වචන භාවිතා කළ යුතුයි. තාල ප්‍රස්ථාර ගත කිරීමේ දී නිවැරැදි සංඥා භාවිතා කරන්නට ඔබ, උත්සාහ කළ යුතුයි. නිවැරැදි අක්ෂර භාවිත කළ යුතුයි. එසේ නිවැරැදි අක්ෂර නොලියූ විට සම්පූර්ණ ලකුණු ඔබට අහිමි විය හැක. නිවැරැදි අක්ෂර, නිවැරැදි තාල සංඥා, නිවැරැදි ප්‍රස්ථාර ගත කිරීම් විභාගයේදී අත්‍යාවශ්‍යයයි. මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ශිරෝමි වීරසිංහ
දේවි බාලිකා විද්‍යාලයේ
සංගීත විෂය බාර ආචාරිණී
චිත්‍රපට සංගීතය පිළිබඳවත් ඔබ වි‍ශේෂ අවධානයක් යොමු කළ යුතු ය. විෂය නිර්දේශිත චිත්‍රපට පිළිබඳව ඒවායේ අධ්‍යක්ෂණය, සංගීතය අදාළ චිත්‍රපටවල ඇතුළත් ගීත මෙන් ම ගායක ගායිකාවන් පිළිබඳ හොඳ අවබෝධයක් විභාගයට පෙර ඔබ ලබාගත යුතු ය. ඔබට විෂය නිර්දේශයට පිටතින් කිසිම දෙයක් එකතු නොවන නිසා සෑම විටම විෂය නිර්දේශයේ අඩංගු පාඩම් බලාගන්න.
නූර්ති ගීත, නූර්ති නාඩගම් ශෛලීන් පිළිබඳවත් ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර අවශ්‍ය වුවහොත් ගීතයක් ප්‍රස්ථාර ගත කිරීමටත් ඔබ දැනගත යුතු ය.
විභාගයට සූදානම් වීමේදී 10 ශ්‍රේණියේ විෂය නිර්දේශ‍ය පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතු ය. ග්‍රැම‍ෆෝන් ගීත, සංගීත ශිල්පීන් පිළිබඳව ද විෂය නිර්දේශයේ අඩංගු පාඩම් බලාගත යුතු ය.
සංගීතය විෂය ප්‍රායෝගික විෂයක් හෙයින් ඔබ පාඩම් කළ යුත්තේ ද ප්‍රායෝගිකව පුහුණු වෙමිනි. බොහෝ ශිෂ්‍යයන් ප්‍රායෝගික පරීක්ෂණය පසුවට යෙදෙන නිසා ප්‍රායෝගික පුහුණුව යෙදීම අනවශ්‍යයැයි සිතයි. නමුත් අවධාරණයෙන් කිව යුත්තේ ප්‍රායෝගිකව යෙදෙමින් පාඩම් කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත්පත් කරගත හැකි බවයි.
ඔබට නූර්ති ගීතයක් ප්‍රස්ථාර ගත කරන්න පැමිණියොත් වයලීනයක් වාදනය කරමින් ඔබ පුරුදු වුවහොත් පහසුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයිය හැකියි. එසේත් නොමැති නම් අතින් තාල දමමින් හෝ පුහුණු වන්න.
බටහිර සංගීත කොටසට බොහෝ ශිෂ්‍යයන් දක්වන්නේ අසීමිත බියකි. ඒ නිසා එම කොටස් බොහෝ දෙනෙක් අතහරිනවා. නමුත් 8 ශ්‍රේණියේ සිට නිවැරැදිව ඉගෙන ගෙන පුහුණු වුවහොත් ලකුණු ලබා ගැනීමට පහසුම ප්‍රශ්නය බටහිර සංගීතයේ කොටසයි. ඔබට 11 වසර වනවිට බටහිර සංගීත ප්‍රස්ථාර කියවා ගැනීමේ හැකියාව පවතිනවා. එසේම පෙරදිග සංගීත ප්‍රස්ථාර බටහිරට හරවා ලිවීමට ද ඔබ පුහුණු විය යුතු ය. නිවැරැදි අවබෝධය ලබාගතහොත් ඔබට ලකුණු ලබාගැනීම වඩාත් පහසුයි. එම නිසා විභාගයට පෙර මුල සිට ඉගැන්වූ සියලු පාඩම් නැවත මෙනෙහි කරන්න. නිතරම ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමින් පාඩම් කරන්න. අනිකුත් විෂයන් පාඩම් කරන අතර කෙටි විවේකයක් ගැනීමට ගන්නා කාලය තුළ ඔබට මේ ප්‍රායෝගික පුහුණුවේ යෙදිය හැකියි.
ඔබේ පෙරදිග සංගීතයේ පළමු පත්‍රය (බහුවරණ පත්‍රය) ප්‍රශ්න 40 කින් යුතුයි. දෙවැනි පත්‍රය එනම් ව්‍යුහගත රචනායි. බහුවරණ පත්‍රයට පිළිතුරු සැපයීමේදී 11 ශ්‍රේණියේ දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. විෂයට බාහිර දේ සංගීත භාණ්ඩ, තාක්ෂණ මෙවලම්, සංගීතඥයන් පිළිබඳව ද අවබෝධයක් තිබිය යුතුය.
II පත්‍රයට බොහෝ විට සරල නාද මාලාවක් නිර්මාණය කිරීමට දෙන්න පුළුවන්. එවිට ස්වර 4 ක් හෝ 5 ක සීමාවකට යටත්ව නිර්මාණය කරන්න. ස්වර ප්‍රමාණය වැඩියෙන් යොදා ගැනීම නිසා ඔබට වරදින්න පුළුවන්. සරල පද රචනා දී එයට ගැලපෙන තනුවක් නිර්මාණය කරන්නටත් ඔබ සූදානම් විය යුතු ය.
මෙවර ප්‍රශ්න පත්‍රයට මේ කොටස්වලින් ප්‍රශ්න ඒ යැයි අපට අනුමාන කරන්නට පුළුවන්. චිත්‍රපට සංගීතය, සංගීතයට තාක්ෂණයේ බලපෑම, පරිගණක භාවිතය සංගීතයට බලපාන ආකාරය වැනි කාලයට ගැළපෙන ප්‍රශ්න පැමිණෙන්න පුළුවන්. ඒ ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න.

1 comments:

මට ඉක්මනින්ම වි‍ෂය නිර්දේෂය අවශ්‍යයයි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ඒය pdf වශයෙන් ලබා ගත හැකිද

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි