Wednesday, November 20, 2013

දීප්තිමත්ම වල්ගාතරුව හිරු වෙත ළඟා වේ

දීප්තිමත්ම වල්ගාතරුව හිරු වෙත ළඟා වේ


2013 වර්ෂයේ දී දක්නට ලැබෙන දීප්තිමත්ම වල්ගාතරුව මේ දිනවල කෙමෙන් කෙමෙන් හිරු වෙත ළඟා වෙමින් පවතී. එය මේ මස 28 වන දා හිරුට ඉතා සමීපයෙන් ගමන් කරයි. ඒ හිරුගේ සිට කිලෝමීටර් මිලියන 1.8 ක් පමණ දුරකිනි. හිරුට මෙතරම් ආසන්න වීම වල්ගා තරුවකට එතරම් සුබදායක නැත.
මන්ද යත් හිරුගේ අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා වල්ගාතරුව හිරු මතට කඩා වැටීමට හෝ කුඩා කැබලි වලට කැඩීයාමට ඉඩ ඇති බැවිනි. අයිසෝන් මේ අනතුරුවලින් මිදුණහොත් පාන්දර අහසේ නැඟෙනහිර දෙසින් දීප්තිමත් වල්ගාතරුවක් ලෙස දර්ශනය වේ.
ආරම්භයේදීම අයිසෝන් පුරහඳටත් වඩා දීප්තිමත්ව දැකිය හැකි යැයි අනාවැකි පළ විය. එනිසාම මෙය “සියවසේ වල්ගාතරුව” ලෙස හැඳින්වුණි. මෙය බොහෝ දුරට දැකබලාගත හැකිවන්නේ දුරේක්ෂවලින් පමණි.
නමුත් නොවැම්බර් 20 වන දා පසුවන විට පියවි ඇසින් එනම්, දුරේක්ෂයක් භාවිතා නොකර අයිසෝන් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ. පාන්දර 5.00 ට පමණ නැඟෙනහිර අහසේ ක්ෂිතිජයට මදක් ඉහළින් අයිසෝන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරය පවසයි.
අයිසෝන් වල්ගාතරුව සූර්යයාට සමීපව පිහිටන බැවින් එය නිරීක්ෂණය කරන විට හිරු පායා ඇත්නම් හිරු දෙස එක එල්ලේ නොබලන ලෙසත් හිරු පායා තිඛෙන විට දුරේක්ෂ, දෙනෙති හෝ කාච වැනි ප්‍රකාශ උපකරණ තුළින් හිරු දෙස නොබලන ලෙසත් ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරය නිවේදනය කර සිටී.
අයිසෝන් යනුවෙන් නම්කර ඇති මේ වල්ගා තරුව මුලින්ම සොයාගනු ලැබුවේ 2012 වර්ෂයේ සැප්තැම්බර් මස රුසියානු ජාතික තාරකා විද්‍යාඥයන් දෙදෙනකු විසිනි. මේ වල්ගා තරුව International Scientific Optical Network (ISON) නම් නිරීක්ෂණාගාර ජාලයෙහි ආධාරයෙන් සොයාගත් බැවින් එයට ‘අයිසෝන්’ ලෙස නම් තබා තිබේ.
වල්ගාතරු යනු කාලයෙන් කාලයට අහසේ දිස්වන අභ්‍යවකාශ විශේෂයකි. අභ්‍යවකාශය යනු පෘථීවියේ වායුගෝලය එපිටින් පිහිටි අති විශාල අවකාශයයි. මේ අවකාශය තුළ ඇති ඕනෑම ලොකු කුඩා වස්තුවක් අභ්‍යවකාශ වස්තූන් ලෙස හඳුන්වනු ලැබේ. වල්ගාතරු සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා අභ්‍යවකාශ වස්තූන්ය. මේවායේ දිග පළල කිලෝමීටර් කිහිපයකි.
මේවා තැනී ඇත්තේ මිදුණු ජලය, වායූන්, කුඩා පාශාන කැබලි සහ දුහුවිලි අංශ මිශ්‍රවීමෙනි. බොහෝ විට “අපිරිසිදු හිමබෝල” යනුවෙන්ද වල්ගාතරු හඳුන්වයි. වල්ගාතරු අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් වස්තූන් කාණ්ඩයක් වන අතර සූර්යයා සහ ඒ වටා ගමන් කරනා සියලුම අභ්‍යවකාශ වස්තූන්ගේ එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සකස් වී තිබේ.
පැරැන්නන් වල්ගාතරුවක් දර්ශනය වීම අසුභ නිමිත්තක් කොට සැලකුවත් නූතන තාරකා විද්‍යාඥයන්ට නම් වල්ගාතරුවක් යනු ඉතාමත් සුභ දෙයකි. මීට වසර බිලියන 4 කට පමණ පෙර අපේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණයවීමේදී ඉතිරි වූ ද්‍රව්‍ය මිදී, ගල්වී මේ වල්ගාතරු තුළ තැන්පත් වී ඇත.
ග්‍රහලෝක, ග්‍රාහක වැනි අනෙකුත් සෞරග්‍රහ මණ්ඩල වස්තූන් කාලයත් සමඟ විවිධ වෙනස්කම්වලට භාජනය වුවත් වල්ගාතරු තුළ අඩංගු ද්‍රව්‍ය එසේ වෙනස් නොවන බව තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි. සෞරග්‍රහ මණ්ඩලයේ උපත, පෘථීවිය මත ජීවයේ සම්භවය වැනි වැදගත් කරුණු පිළිබඳව විද්‍යාඥයන්ට වඩාත් පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට වල්ගාතරු උපකාරී වේ.

.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි