Saturday, November 16, 2013

ඇය කීවේ සිරියාවන්ත හුරතලයක් පාමිනි.

පොදුරද මඩුලු මහජන සමුළුව ඇමතූ පුංචිම සාමාජිකාව

කට ඇති පුතකුත් රුව ඇති දුවකත් ලෙස දරුවන් දෙදෙනකු පිහිටිය යුතු ගුණාංග සියල්ල එක දරුවකු සතු වීම කෙතරම් වාසනාවක් ද? ළමා සාරියකින් සැරැසී කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන ඉංග්‍රීසි කතාවක් පවත්වමින් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සමගාමීව ගාල්ලේ පැවැති මහජන සමුළුවට සහභාගි වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සියල්ලන්ගේ සිත් පැහැර ගැනීමට සමත් වූ පුංචි එනුරි දුටු විට සිතෙන්නේ එසේය.
ඇය කෙතරම් ආකර්ෂණීය ලෙස සිය කතාව ඉදිරිපත් කළා ද යත් ජනාධිපතිතුමා, ආර්යාව, පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේෂ් ෂර්මා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ පමණක් නොව එය රූපවාහිනි තිරයෙන් නැරඹු ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් ජනතාවගේ අවධානය එක සීරුවට විනාඩි කිහිපයක් රඳවා තබා ගැනීමට සමත් වූවාය. ඒ පුංචි හපනිය හමුවීමට අපි ගියෙමු.
“මගේ සම්පූර්ණ නම එනුරි උදානා මහලියනගේ” ඇය කීවේ සිරියාවන්ත හුරතලයක් පාමිනි.
“මම ඉගෙන ගන්නේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පහ ශ්‍රේණියේ. වයස අවුරුදු දහයයි. අපි ඉන්නේ කිතුලන්පිටියේ.” අපේ ප්‍රශ්නවලට ඇය පිළිතුරු දෙන්නේ සිනා පිරුණු මුහුණින් යුතුවය.
“මගේ අම්මගේ නම හසන්ති ඌරලගමගේ.අම්මා බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වනවා.
තාත්තගේ නම ප්‍රියන්ත ගාමිණි මහලියනගේ. ඉංජිනේරුවරයෙක්. මට එක අක්කා කෙනෙක් ඉන්නවා. නම දිනිති මහලියනගේ. අක්කා දැන් උසස් පෙළ කරලා ඉවරයි.”
සෑම වාක්‍යයක් අවසානයේම ඇයගේ මුහුණේ රැ‍ඳෙන්නේ පිරුණු සිනහවකි. එය ඇයට උපතින්ම උරුම වූ ගුණයක් යැයි සිතේ.
“ඉතින් කියන්නකෝ මේ කතාව කරන වෙලාවේ මොකද හිතුණේ කියලා?” අපි ඇසුවෙමු.
“කතාව කරන්න කලින්නම් ටිකක් බය හිතුණා. ඒත් එතෙන්ට ගියාට පස්සේ බය නැති වුණා.
එතන හිටියේ මම කැමැති අයනේ.
“මහින්ද රාජපක්ෂ ජනාධිපති මාමටයි, එතනම හිටිය ශිරන්ති රාජපක්ෂ නැන්දටයි, අපේ සමිත හාමුදුරුවන්ටයි (බද්දේගම සමිත හිමියන්) චන්දිම රාසපුත්‍ර ඇමැති මාමටයි, තව මං හරි ආසයි අර ලේකම් තුමා කියන ඉන්දියාවෙ මාමාට. (පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ෂර්මා මහතා) ඒ වගේම පිටරට අයට මම හරි ආසයි. ඒ අයත් ගොඩක් හිටියනේ. අපේ ප්‍රින්සිපල් මැඩම් මගෙ ළඟම හිටියා. කතාව කරන්න යනකල්.එතකොට බය නැති වුණා.
කතාව කරන්න කියලා මුලින්ම තෝරාගත්තේ කොහොමද?
අපි හත්දෙනෙක් තෝරගත්තා නැටුමකට කියලා. චමුදි, රාධිකා, දිනිති, එරන්දි, ඉනුපමා, සංජලී, අරලිය අපි කට්ටිය ගියාම අනිත් අයව නැටුමට ගත්තා. මාව ඒකට ගත්තේ නෑ. කතාව කරන්න කීවා.
ඉසුරු අබේරත්න සර්. (දකුණු පළාත් (ඉංග්‍රීසි) අධ්‍යාපන අධ්‍යක්ෂ) .
ඉතින් අම්මා.කතාව හදලා දුන්නා.දවස් පහක් විතර තමයි ඒ කතාව පුරුදු වුණේ
ඒ කතාවෙන් කියන්නේ මොකද්ද කියලා දන්නවා ද?
ඔක්කොම දන්නේ නෑ. අම්මා කිව්වා අනාගතේ දී අපේ ඉස්කෝලවල ලොකු වෙනස්කම් තියෙන්න පුළුවන්. 2015 දී අපිට තමයි අනාගතය අයිති වෙන්නේ. අපි ඉන්නේ ලස්සන රටක, ඒ රටේ අනාගතය අපියි කියලා.
ඉතින් මීට කලින් කතා පවත්වලා නැද්ද?
තියෙනවා. ඉස්කෝලේ රැස්වීමේදී කතා කරලා තියෙනවා. මම දෙකේ පන්තියේදී තමයි අලුත් ප්‍රින්සිපල් මැඩම් ආවේ. ඒ වෙලාවෙත් පිළිගැනීමේ කතාවක් කරන්න හම්බ වුණා.
ප්‍රින්සිපල් මැඩම් පිළිගනිද්දී මොනව ද කීවේ කියලා මතක ද?
අපි ලොකු වෙනතුරු ප්‍රින්සිපල් මැඩම්ට අපේ ඉස්කෝලේ ඉන්න කිව්වා.
පුංචි එනුරි ඊට අමතරව ඉංග්‍රීසි කථික තරගවලින් ද ජයග්‍රහණය කර ඇත. ඇයගේ මව සිය කුඩා දියණිය ගැන අපට කීවේ සිතෙහි ඇතිවූ නිහතමානී ආඩම්බරයක් දෑසෙහි රුවාගෙනය.
“අපි බයේ හිටියේ වචන පැටලෙයි කියලා. ඒත් එක වචනයක්වත් පැටලුණෙත් නෑ. අමතක වුණෙත් නෑ. ඒක මට හරිම සතුටක්.”
“දුව International Institute of Music Drama and Speech වලින් සමස්ත ලංකා පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. නැටුම් තරගයකිනුත් කණ්ඩායමම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
ඉංග්‍රීසි වගේම සිංහල ගායන කණ්ඩායමෙත් දුව ඉන්නවා. සෞන්දර්ය විෂයයන්ට දුව හරි කැමැතියි. ඇත්තටම මට හරිම ආසයි ඒ වෙලාවේ දුව කතා කරනවා රූපවාහිනියෙන් දකිනකොට. තාත්තාත් බොහොම නිහඬව ඒ දිහා බලාගෙන හිටියා. මගේ දුවට විතරක් නොවේ මේ වගේ අවස්ථාවක් කවුරු හෝ දරුවකුට ලැබෙන එක විශාල වාසනාවක්.
පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 163 ක් ලබාගෙන සමත් වී ඇති පුංචි එනුරි පාසලේ ද ප්‍රාථමික අංශයේ ඉංග්‍රීසි හා සිංහල නිවේදන කටයුතුවල යෙදෙන, හැම අතින්ම දක්ෂතා පෙන්වන දැරියක් බව අපට කීවේ ශ්‍රේණි බාර ගුරුතුමී සන්ධ්‍යා කොඩිකාර මහත්මියයි.
විදුහල්පතිනි කර්නල් ශාන්ති සෙනෙවිරත්න මහත්මියට ද පුංචි එනුරි මතක සිටියේ ඇය පාසලට පැමිණි දවසේ දෙකේ ශ්‍රේණියේ පැංචියක ලෙස කළ ඉල්ලීම නිසාය.
"පොදු රාජ්‍ය මණ්ඩල මහජන සමුළුවටත් පන්තිවල ඉදිරියට යන දරුවන් තෝරා එවන්න කීවාම අංශ භාර ගුරුවරියන් මඟින් ශිෂ්‍යත්වය සමත් අය අතරින් තමයි මේ දරුවන් හත්දෙනා තෝරා ගත්තේ. එනුරිට මම කීවා වෙනදා මගේ ඉස්සරහ කතා කරනවා වගේ මෙතනත් මම ඉන්නේ කියලා හිතාගෙන කතා කරන්න කියලා. ඇය එය ඉතා හොඳින් කළා. එනුරි දුව වැනි සිසුවියන් මගේ පාසලේ සිටීම ගැන මම ඉතාම සතුටට පත්වනවා. දරුවන් ඉදිරියට යාම තමයි ගුරුවරුන්ගේ සතුට.
පුංචි එනුරි ඉංග්‍රිසි ඉගෙන ගන්නේ මවගෙනි ශිෂ්‍යත්වය සමත් වුවද ඇයට සවුත්ලන්ඩ්ස් බාලිකාව හැර යන්නට කිසිදු අදහසක් නැත.
කතාව පවත්වලා ආවාම මොකද හිතුණේ?
සතුටු හිතුණා. හැමෝම හොඳයි කිව්වනේ. තවත් සතුටුයි.
ලොකු වුණාම කවුරු වෙන්න ද කැමැති?
ඉස්සර හිතාගෙන හිටියේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න. ඒ වුණාට දැන් කැමතියි ඩොක්ටර් කෙනෙක් හරි පියානිස්ට් කෙනෙක් හරි වෙන්න.මම මගේ රටට ගොඩක් ආදරෙයි. ඒත් පිටරට ගිහිං බලන්නත් ආසයි. මේ වගේ කතා කරන්නත් ආසයි.
ජනාධිපතිතුමා දකින්නට ආසාවෙන් සිටි එනුරිට වැඩිකල් නොගොස් එතුමා ඉදිරියේ ලොවටම ඇසෙන්නට කතාවක් පවත්වන්න තරම් වාසනාව ලැබී තිබිණි. එසේනම් ඇගේ අනාගත පැතුමන් ද ඇය සිතන අයුරින්ම වෛද්‍යවරියක හෝ පියානෝ වාදන ශිල්පිනියක ලෙස හෝ ලෙසින් ලොවටම සේවයක් වන පරිදි ඉටු කරන්නට වාසනාව ලැබේවායි අපි පතමු.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි