Saturday, November 30, 2013

කුරුලු සෙනෙහස

කුරුලු සෙනෙහස

ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවට වෙලා පත්තරයක් කියවමින් හිටපු වෙද මහත්තය කුරුල්ලන්ගෙ කෑගැසිල්ල ඇහිල මිදුලෙ. බුලත් කොටුවෙ තිබුණු කුරුලු කූඩුව දිහාව බැලුවා. කුරුලු අම්මයි තාත්තයි හයියෙන් කෑ ගහගහ කූඩුව දිහාවට ඇදෙන ලොකු ගැරඬියකු එළවනවා. කුරුල්ලන්ගෙ කෑ ගැහිල්ල ගාණක් වත් නෑ වගේ ගැරඬියා හීන් සීරුවෙ කුරුලු කූඩුව දිහාවට ඇදෙනවා. ගල්කැට කීපයක් අතට ගත්තු වෙද මහත්තය ගැරඬියට ගහල එළවල දැම්මා. මේ දවස් ටිකේ වෙද මහත්තයට තිබුණු වටිනාම රාජකාරිය වුණේ කුරුලු කූඩුවට එන ගැරඬියවයි, කුරුලු ගොයාවයි එළවන එක. කූඩුව දිහා බලල සැනසුම් සුසුමක් හෙළුව වෙද මහත්තය ආයිමත් හාන්සි පුටුවෙ දිග ඇදුණා.
ගුරු පාර දිගේ පාසල නිමාවෙලා ගෙදර යන ළමයි රංචුවක් දැකපු වෙද මහත්තයගෙ හිත අතීතෙට ඇදිල ගියා.
එදා බදාද දවසක්. හැමදාමත් වගේ එදත් වෙද මහත්තය ඉස්තෝප්පුවට වෙලා බලාගෙන හිටියෙ පුතා ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකම්. වෙද මහත්තයගෙ එකම දරුව රුවන්. ගමේ ඉස්කෝලෙ ඉගෙන ගත්තු රුවන්ගෙ බලාපොරොත්තුව වුණේ වෛද්‍යවරයෙක් වෙන්න.
“පුතා දැන් ළඟ එනව ඇති. එයා එනකම් මහත්තය කමුකො” හාමිනේ බත් එක බෙදාගෙනම ඇවිත් තිබුණා.
“මේ දවස්වල රටේ වෙන දේවල් ඇහුවම මට මේ දරුව ගැන මහ බයක් දැනෙනව හාමිනේ.”
“මහත්තයට නොකීවට මමත් හරි බයෙන් ඉන්නෙ”
දෙන්නදෙමහල්ලන්ගෙ කථාව නැවතුණේ කඩුල්ල පැනගෙන එන රුවන් දැකල.
“ෂා... මරුනේ කිරිකොස් උයල. මට නම් අද යකෙක් කන්න තරම් බඩගිනියි. අප්පච්චි කටක් කවන්නකො” පිඟානෙන් කොස් ඇටයක් අරන් කටට දාගත්තු රුවන් වෙද මහත්තය ළඟ වාඩි වුණා.
හාමිනේ රුවන්ට බත් බෙදාගෙන ආවා. රුවන් හාමිනේගෙ අතින් බත් එක ගන්නකොටම වේගයෙන් ගුරු පාර දිගේ ආපු වාහනයක් කඩුල්ල ළඟ නතර කළා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද කියල හිතා ගන්නවත් තුන්දෙනාට බැරිවුණා. වාහනෙන් බැහැල දුවගෙන ආපු තුවක්කු ගත්තු මිනිස්සු හතර දෙනාගෙන් දෙන්නෙක් රුවන් අල්ල ගත්තා. රුවන්ගෙ අතින් බිමට අතඇරුණු පිඟානෙ තිබුණු බත් රුවන්ගෙ කකුල් දෙක පාමුල විසිරිලා ගියා.
හාමිනේගෙයි වෙද මහත්තයගෙයි විලාප මැද්දෙන් උන් රුවන් ඇදගෙන ගිහින් වාහනේට දැම්මා. දරුවව ගෙනියන්න එපා කියල උන්ගෙ ඇගේ එල්ලුණ හාමිනේවයි වෙද මහත්තයවයි පැත්තකට ඇදල දාපු උන්ගෙ වාහනේ රුවනුත් අරන් ගුරු පාරේ නොපෙනීම ගියා.
රුවන්ගේ කරෙන් ගැලවිලා වැටුණු යන්තරෙත් පපුවට තියාගෙන හාමිනේ විලාප තියද්දී වෙද මහත්තයා රුවන් හොයන්න ගියා. හැම කඳවුරකම, හැම පොලීසියකම පුතා හෙව්වත් ඒ එක තැනකවත් රුවන් හිටියෙ නෑ. පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල මේ හැම තැනම ගිය වෙද මහත්තයයි හාමිනෙයි පුතා හොයන්න හුඟාක් මහන්සි වුණා. අන්තිමට භීෂණ යුගය ඉවර වුණා. රුවන්ගෙ නම අතුරුදන්වූවන්ගේ නාම ලේඛනයට වැටුණා.
වසර ගණනක්ම යන්තරෙත් තුරුලු කරගෙන පුතා එනකම් මඟ බලාගෙන හිටපු හාමිනේ මානසික රෝගියෙක් වුණා. තවත් දවසක වැඩිපුර බේත් පෙති බීපු හාමිනෙත් වෙද මහත්තය දමල යන්න ගියා. තනිවුණු වෙද මහත්තයට මාරය තමන් එක්කගෙන යනකම් උපේක්ෂාවෙන් මඟ බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. තිබුණු හැම දේපළක්ම පාසලට ලියල දුන්නු වෙද මහත්තය පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්නෙ හතුරෙකුවත් මේ වගේ දුකක් උහුලන්න සිද්ධ වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරගෙනමයි.
එක පාරටම කුරුලු කූඩුව පැත්තෙන් ඇසුණු කුරුල්ලන්ගෙයි පැටියගෙයි කෑ ගැසිල්ලට වෙද මහත්තයගෙ කල්පනා දැහැන බිඳුණා. ගල් කැටයකුත් අහුලගත්තු වෙද මහත්තය ඉක්මනටම කුරුලු කූඩුව දිහාවට දිවුවා.
ඒත්... කුරුලු ගොයාගෙ හොටට හිරවෙලා වේදනාවෙන් කෑ ගසන කුරුලු පැටියව බේරගන්න කුරුලුගොයා පස්සෙන් එළවගෙන යන කුරුලු අම්මයි තාත්තයි වෙද මහත්තයගෙ කඳුළු පිරුණු ඇස්වලට බොඳ වෙලා පෙනුණා. මේ වතාවෙත් තමන් පරක්කුයි කියල වෙද මහත්තයට හිතුණා.

http://www.silumina.lk/2013/12/01/_art.asp?fn=au1312011

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි