Monday, November 18, 2013

ළමා රෝහල වටේ රවුමක්!

ළමා රෝහල වටේ රවුමක්!


අනතුරක දී හෝ බරපතළ රෝගී තත්ත්වයකදී අනවශ්‍ය ලෙස ප්‍රමාද වීමෙන් සිදු වන්නේ රෝගියා ගේ ජීවිතය තව තවත් විපතට පත් වීමයි. විශේෂයෙන් දරුවකු ගේ රෝගී තත්ත්වයක දී නිසි ප්‍රතිකාර සඳහා ප්‍රමාද වීම ඉතා බරපතළ විය හැකියි. එවැනි අවස්ථාවක මුලින්ම පහසුවෙන් හා ඉක්මනින් යා හැකි වෛද්‍යවරයකු වෙත යොමු වීම අත්‍යවශ්‍යයයි. එහිදී රෝගියා රෝහලකට ගෙන යන්නට පෙර දිය යුතු කඩිනම් ප්‍රතිකාර ලැබෙන අතර එයින් රෝගියාගේ ජීවිතය අවදානමට ලක්වීමට ඇති ඉඩ ඉතා අවම වෙයි.
මෙහි දී රෝගියා යොමු කළ යුතු රෝහල පිළිබඳව ද යම් දැනුමකින් යුතු වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් දරුවකු ගේ රෝගී තත්ත්වයක දී ඔබ ගේ දැනුම්වත් බව හා ගනු ලබන වඩාත් සුදුසුම තීරණය මත අනවශ්‍ය කරදර හා විපත්වලින් මඟ හැර යා හැකියි. එහි දී රෝහලේ වටපිටාව, ඔබගේ හැසිරීම හා රෝගියා යොමු කළ යුතු ආකාරය, ආදී දේ පිළිබඳවදැනුම්වත්වීමත් ඉවසිලිවන්ත බවත් ඉතා වැදගත්.
හදිසි අනතුරකදී, අසාමාන්‍ය බවක් පෙන්වන රෝගී තත්ත්වයක දී බොහෝ දෙනාගේ විශ්වාසය හා අවධානය යොමු වන්නේ ළමා රෝහලටයි.
අවුරුදු 12 දක්වා වූ දරුවන් සඳහා වෙන්වුණු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල එසේත් නැතිනම් බොහෝ දෙනා ගේ කට වහරට හුරු නෝනා වාට්ටුව නුදුරු වසර කිහිපයකදී ආසියාවේ හොඳම ළමා රෝහල බවට පත් කිරීමට දැන් කටයුතු කෙරෙනවා.
රෝහල පිළිබඳව වූ විශ්වාසය තව තවත් තහවුරු කිරීම, රෝගීන් සමඟ පැමිණෙන වැඩිහිටියන් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇතිවන සිත් රිදීම්, මත ගැටුම් අවම කිරීම, වඩාත් සුව පහසු සේවාවන් සැපයීම එහි අරමුණු අතර ප්‍රධානයි.
රෝගී දරුවා සමඟ රෝහලට ඇතුළුවන්නට පෙර හා රෝහලේ දී ඔබ කළ යුතු දේ සහ නොකළ යුතු දේ මොනවා ද? සුව පහසුතා, ප්‍රමුඛතා ආදී සියලු දේ අමතක කොට මෙහි දී ඔබ ගේ එකම අරමුණ විය යුතු වන්නේ දරුවා සුවපත් වනු දැකීමයි.
රෝහලට ගෙන එන රෝගී දරුවා මේ වන විටත් ප්‍රතිකාර සඳහා යොමු වී තිබේ නම් ගන්නා ලද බෙහෙත් වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. රෝගී තත්ත්වය නිරීක්ෂණයටත්, ඉදිරි ප්‍රතිකාර සඳහාත් එය ප්‍රයෝජනවත්. මෙහිදී බෙහෙත් පෙති වර්ග හඳුනා ගැනීම අසීරු විය හැකි බැවින් ඖෂධ නාමයන් සඳහන් පත්‍රිකාව ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.
ඔබගේ දරුවා සර්පයකු හෝ වෙනත් විෂ සහිත සතෙකු දෂ්ටනය නිසා රෝහල්ගත කරනවා නම් එම සතා සමඟම ඉදිරිපත් කිරීම අඩුම තරමේ සතා හඳුනාගෙන හෝ තිබීම, වස විස ශරීරගත වී ඇත්නම් ඒවායේ අසුරණ ඉදිරිපත් කිරීම මඟින් ඉක්මන් ප්‍රතිකාර ලබාදිය හැකියි. විස දැන කරන ප්‍රතිකාරය වඩාත් සාර්ථක වනවා මෙන්ම ජීවිත අවදානම ද අවම කරනවා.
සාමාන්‍යයෙන් ළමා රෝහලට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ රෝගියා සමඟ එක් වැඩිහිටියකුට හෝ උපරීම දෙදෙනෙකුට පමණයි. එය ප්‍රතිකාර ලබන සියලු දරුවන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක්. රෝහලට එන පිරිස් ආරක්ෂක අංශ සමඟ පළමු ගැටුම පටන් ගන්නේ පිවිසුම් දොරටුවේදීයි.
තමන්ගේ දරුවා තමන්ට බොහෝ සෙයින් වටිනා නිසා පැමිණි සියලු දෙනාම රෝහල තුළට ඒමට උත්සාහ කළත් එතැන දී අනෙකුත් රෝගීන්ට දැඩි අවහිරතාවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ නිසා බහින්බස්වීම්වලින් තොරව නීතියට අනුව කටයුතු කිරීම ඉතා වැදගත්.
රෝගී දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වාහන නවතා තැබීමට රෝහල් පරිශ්‍රයේ ඉඩ නොලැබෙන්නේ සීමිත ඉඩකඩ හා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසයි. මෙතැනදීත් ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇති වෙනවා. එහෙත් ප්‍රතිකාර ලබන සියලු රෝගීන් වෙනුවෙන් ඒ නීතියත් පිළිපැදිය යුතු වෙනවා. විශේෂයෙන් රෝහල් බිමේ නවතා ඇති වාහන ගැන ආරක්ෂක අංශවලට නිරන්තර විමසිල්ලෙන් සිටිය නොහැකි නිසා රෝගීන් සමඟ පැමිණෙන වාහන මෙන් ම අනවශ්‍ය පුද්ගලයන් ද වාහන නවතාගෙන සිටීමෙන් විවිධ ප්‍රශ්න ඇතිවීමට පුළුවන්. මේ නිසා වාහන නවතා තැබීමේ දී ළමා රෝහලට නුදුරු බේස්ලයින් වාහන අංගණය විකල්පයක් ලෙස භාවිත කරන්නට පුළුවන්.
රෝහල් දොරටුවල වැඩි වශයෙන් ආරක්ෂක අංශවල සේවය කරන්නේ විවිධ සමාගම්වලින් පැමිණි සේවකයන් වන නිසා ඒ අයට මහජනතාව සමඟ කටයුතු කිරීමේ දී විශේෂ පුහුණුවක් ලැබී නොතිබෙන්නට පුළුවන්. එක පැත්තකින් රෝහලට එන අය එන්නේ කලබලකාරී මානසිකත්වයකින්. එවැනි අවස්ථාවක පවතින නීති රීති සම්බන්ධයෙන් දෙපිරිස අතර ගැටුම් ඇතිවීම සාමාන්‍යයයි.
එම නිසා ගැටුම් ඇතිකර නොගන්නා තැනට කටයුතු කිරී‍මටත්, ගැටුමකදී ප්‍රධාන ආරක්ෂක නියාමක හමු වී එය සමථයකට පත්කර ගැනීමත් ඔබගේ වගකීමක්. එවිට බහින්බස්වීම් හෝ අනවශ්‍ය ලෙස කාලය අපතේ හැරීමෙන් වැළකී සිටිය හැකියි.
රෝගී දරුවා සමඟ එන මවුපියන් තමන්ගේ දරුවා ගැන කලබලකාරී මානසිකත්වයකින් පසුවීම සාමාන්‍ය දෙයක්. ඒ නිසාම හැමෝටම පෙර වෛද්‍යවරයා වෙත යන්නට හැමෝම හිතනවා. එහෙත් තමන්ගේ වාරය එනතුරු කලබල නොකිරීම වෛද්‍යවරුන්ට මෙන්ම රෝගීන්ට ද පහසුවක්. විශේෂයෙන් බාහිර රෝගී අංශයේ දී දරුවන්ගේ රෝගී තත්ත්වයන් ගැන පැමිණි මොහොතේම හෙද හෙදියන් විසින් යම් තීරණ ගැනීමක් සිදු කෙරෙනවා. ඉතා හදිසි ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය රෝගියකු හෝ බෝවන රෝගයකින් පෙළෙන දරුවෙකු නම් පෝළිමේ නොසිට වෛද්‍යවරයා වෙත යොමු කෙරෙනවා. පෝළිමේ මුලින් පැමිණ සිටි අයට මෙය අසාධාරණයක් ලෙස පෙනුණත් මූලිකත්වය දී තිබෙන්නේ රෝගියාගේ තත්ත්වය අනුවයි.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියා නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු නම් වාට්ටුවට යොමු කෙරෙනවා. එසේත් නැතිනම් හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කෙරෙනවා. ඒ සෑම අවස්ථාවක දීම රෝගියාගේ කාඩ්පතේ අදාළ ප්‍රතිකාර ක්‍රම ගැන සටහන් වෙන අතර වෛද්‍යවරුන් ක්‍රියාත්මක වන්නේ ඒ අනුවයි. හදිසි ප්‍රතිකාර අවශ්‍ය ලෙඩෙක් නම් ප්‍රවේශ පත්‍රයේ මුද්‍රාවක් තැබෙනවා.
රෝගින් සමඟ එන අයට ඒ ගැන අවබෝධයක් නැති නිසා යම් යම් අවස්ථාවල කලබලයට පත්වෙනවා. වෛද්‍යවරුන්ගේ පමාවටත්, ඖෂධ නියම නොකිරීම ගැනත් මැසිවිලි නඟනවා. එහෙත් ප්‍රතිකාර ලැබිය යුතු මොහොතේම රෝගී දරුවන්ට ප්‍රතිකාර දෙන්නට වෛද්‍යවරුන් ඇප කැපවී සිටින බව ඔබ දැනගත යුතුයි.
ළමා රෝහලේ දී නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන්ට ඇඳක් වෙන් කළත් ඔවුන් සමඟ සිටින භාරකරුවන්ට ඇඳක් වෙන් කළ නොහැකි වීම ගැටලුවක්. දින ගණනක් එවැනි පහසුකම් නැතිව රැඳී සිටීම ඉතා අපහසු නිසා ම නුදුරු දිනවල දී එම අඩුපාඩුව මඟ හරවා ගන්නට කටයුතු කෙරෙනවා.
රෝගී දරුවාට ඇඳක් වෙන් කරදීම රෝහල් කාර්ය මණ්ඩලයේ එකම අරමුණ වුවත් ඇතැම්විට එකම ඇ‍ඳේ දරුවන් දෙතුන් දෙනෙකුට ඉඩ ලබා දෙන්නට සිදු වෙන අවස්ථාත් තිබෙනවා. විශාල රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීමේ දී එසේ ඉඩකඩ සීමාවීම ප්‍රශ්නයක් වුව ද කිසිම අවස්ථාවක බෝවන රෝගීන් හෝ රෝගී දරුවකුට බලපෑමක් විය හැකි තවත් රෝගියෙකු එකම ඇඳකට නො දමන නිසා මවුපියන් කලබල විය යුතු නෑ. සෑම දරුවෙකු ගැන ම සිතා එවැනි අවස්ථාවකදී මවුපියන් යම් කැප කිරීමක් කළ යුතුයි. ඉල්ලීම් කරමින් වෛද්‍යවරුන්ට, කාර්ය මණ්ඩලයට කරදර කිරීමෙන් වැළකී සිටිය යුතුයි.
රෝගියකු සුවපත් වීමට පරිසරයේ පවිත්‍ර බව ඉතා ම වැදගත්. විශේෂයෙන් ළමා ‍රෝහලේ දරුවන්ට මෙන් ම භාරකරුවන්ට ද වෙන් කෙරුණු වැසිකිළි වඩාත් පිරිසිදු විය යුතුයි. දරුවා වැසිකිළි ගිය පසු මනාව පිරිසිදු කිරීම භාරකරුවන්ගේ විශාල වගකීමක්. සමහර රෝගීන් හා භාරකරුවන් නිසි වැසිකිළි භාවිතයෙන් තොරවීම නිසා නිතර නිතර ඒවා අපවිත්‍ර වීම ඊට හේතුවයි.
රෝහල් ගත වූ දරුවාට ආහාර පාන ලබාදීමේ දී ද භාරකරුවන් සැලකිල්ල යොමු කළ යුතු ප්‍රධාන සාධක කිහිපයක් ‍තිබෙනවා.
ඇතැම් රෝගීන්ට නියම කළ ආහාර වට්ටෝරුවක් තිබෙනවා. එසේ තිබිය දී දරුවාගේ ඉල්ලීම මත හෝ පෝෂණය මදි වේයැයි සිතා හෝ විවිධ ආහාරපානාදිය දීමෙන් වැළකිය යුතු යි. විශේෂයෙන් විශ්වාසදායි නොවන, දෙපස ඇති බොජුන්හල්වලින් ලබාගත් ආහාරපාන ගෙන දීමෙන් වැළකිය යුතුයි.
අනතුරක දී නම් රෝගියා විවිධ සැත්කම්වලට භාජනය කිරීමට ඉඩ ඇති නිසා වෛද්‍ය අනුමැතිය නැතිව ආහාර නොදිය යුතුයි. සැත්කමක් සඳහා නිර්වින්දනය කිරීමට පැය හයක වැනි කාලයක් ආහාර පානාදියෙන් තොර වී සිටිය යුතු වීම ඊට හේතුවයි. යම් හෙයකින් ආහාර දීම නිසා සැත්කම ප්‍රමාදවීම ම රෝගියාගේ ජීවිතය අනතුරේ හෙළීමක් වෙනවා.
අනතුරකින් පසු සැත්කමක් කළ යුතු යැයි නිර්දේශ කළ රෝගියා ශල්‍යාගාරය වෙත යොමු කෙරුණ ද සැත්කමකින් තොරව ආපසු වාට්ටුවට එවීමට ද පුළුවන්. රෝගියා සිහියෙන් සිටින අවස්ථාවට වඩා හොඳින් නිර්වින්දනය කළ පසු පරීක්ෂා කිරීම වඩාත් පහසුවීම නිසා අවසාන මොහොතේ සැත්කමක් අවශ්‍ය නොවන බව තීරණය කිරීමෙන් එසේ ආපසු එවන බැවින් සැත්කමක් නොකළා යැයි කලබලයට පත් නොවිය යුතුයි. එහිදී සැත්කමක් සිදු නොකරන්නේ ද දරුවාගේ ම යහපතටයි.
නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා දරුවා පිළිබඳ එසේ සැලකිලිමත් වන ඔබ කිසිම හේතුවක් නිසා වෛද්‍ය නිර්දේශ නැතිව නිවසට ගෙන නොයා යුතු යි. බලයෙන් ටිකට් කපාගෙන යාම තවත් අනතුරුක හා කරදර මාලාවක ආරම්භයක් විය හැකියි. එවන් අවස්ථාවක රෝග විනිශ්චය සඳහන් කාඩ්පතක් නොලැබීම ඊට ප්‍රධානතම හේතුවයි.
යම් හෙයකින් දරුවා ගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වුවහොත් ‍රෝග ඉතිහාසය තීරණය කිරීමට එම කාඩ්පත නොතිබීම විශාල ගැටලුවක් වෙනවා.
නේවාසික ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව යන රෝගීන්ට මෙන් ම බාහිර අංශයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ද බෙහෙත් නිකුත් කිරීමේ දී ඖෂධ නාමය සඳහන් කිරීම ළමා රෝහලේ දී අනිවාර්යයෙන් ම සිදු කෙරෙනවා. සෑම භාරකරු‍ෙවකුම එම ඖෂධ නාමය සඳහන් පත්‍රිකාවක් ලබාගැනීම අත්‍යවශ්‍ය වන්නේ දරුවාට ලබාදෙන ඖෂධය පිළිබඳව පසු අවස්ථාවක ප්‍රතිකාර ලබන්නට සිදුවූයේ නම් එම වෛද්‍යවරුන්ට ද ඉතා පහසුවන බැවින්.
කු‍ඩා දරුවන්ට ප්‍රතිකාර නියම කිරීමේදී බොහෝ විට එකම බෙහෙත් පෙත්ත කොටස්වලට කඩා වෙන් කිරීමට සිදු වෙනවා. ඔබට එසේ නියමිත මාත්‍රාවට වෙන් කළ නොහැකි නම් රෝහල් පරිශ්‍රයේදී ම එම බෙහෙත් කොටස්වලට වෙන්කර ගැනීම දැන් අවස්ථාව සැලසී තිබෙනවා.
දවසේ පැය 24 පුරා ම ළමා ‍ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම ‍ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරෙනවා. බාහිර ප්‍රතිකාර හෝ නේවාසික ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී යන ඔබගේ දරුවාට වෛද්‍යවරුන් නියම කරන ‍ඖෂධ නියමිත මාත්‍රාවෙන් අවසන් වන තුරු ම ලබාදීම ද ඉතා වැදගත්‍. නිවසට ගිය දරුවා නිරෝගී බවක් පෙන්වූයේ නම් ඇතැම් වැඩිහිටියන් හිතු මතයේ ප්‍රතිකාර නවතිනවා. එහෙත් රෝගී බවේ ලකුණු සියල්ල පහව යන්නේ නියමිත මාත්‍රාවෙන් නියම කළ ඖෂධ ප්‍රමාණය ලබාගත්තේ නම් පමණයි.
මේ උපදෙස් පිළිපැදීමෙන් හා රෝහලේ වාතාවරණය ගැන මනා අවබෝධයෙන් රෝගියකු විශේෂයෙන් ළමා රෝහලට ගෙන එනවා නම් ඔබට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවලින් වැළකී සිටිය හැකියි. යම් යම් අපහසුතා විඳ දරා ගත හැකියි. එමෙන් ම සුවපත් වූ දරුවෙකු රැගෙන සතුටින් රෝහලෙන් නික්ම යා හැකියි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි