Monday, February 22, 2016

දශක ගණනාවකට පසු යාපනයට සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාවක්




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ සමස්ත ලංකා 19න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව යාපනය සාන්ත හෙන්රි විදුහල දිනා ගත්තේය. දශක ගණනාවකට පසුව උතුරු පළාතේ පාසලකට ප්‍රධාන පෙළේ ක්‍රීඩා ශූරතාවක් හිමිවූ පළමු අවස්ථාව මෙය වන අතර හිටපු ශූරයන්වන කොළඹ සහිරා විදුහල ගෝල් 3-1ක් ලෙස යාපනය සාන්ත හෙන්රි කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබීම විශේෂත්වයකි.
සහිරා විදුහල 19න් පහළ පාපන්දු ශූරතාව වසර 3ක් පිට පිට දිනාගත් ප්‍රබලතම කණ්ඩායමක් වුවද, මෙවර යාපනය සාන්ත හෙන්රි විදුහල හමුවේ දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළේය. රීඩ් මාවත තුරඟ තරග පිටියේ පැවැති තරගයේ පළමු භාගයේදී දෙපලම ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක පසුවූ අතර යාපනය විදුහලට එම ගෝලය සහිරා ක්‍රීඩක එම්.මුෂිරෆ්ගේ දුර්වලතාවකින් ‘ඕන් ගෝලයක්’ ලෙස හිමිවුණි.
යාපනය සාන්ත හෙන්රි ක්‍රීඩකයෝ තරගයේ 67වැනි හා 73වැනි මිනිත්තුවලදී ගෝල් ලබාගත් අතර ජී. අන්තෝනි රාජ් හා ඒ.බී.අනෝජන් එම ජයග්‍රාහී ගෝල් දෙක වාර්තා කළේය. අනෝජන් පාසල් ක්‍රීඩකයෙකු වුවද අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජයට එක්වී ප්‍රධාන පෙලේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට ද ක්‍රීඩා කරමින් සිටී. සොලිඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනෙකු සාන්ත හෙන්රි විදුහලට ක්‍රීඩා කිරීම වාසි ගෙන දුන්නේය.
කෙසේ වුවද කොළඹ සහිරා විදුහලට පළමු භාගයේදී ලැබුණු ගෝල් අවස්ථා 4ක් හා දෙවැනි භාගයේදී ලැබුණු පහසු අවස්ථා 2ක් මඟ හැරී යෑම අවාසනාව ගෙන දුන්නේය. යාපනය පිලේ ආරක්ෂක කළාපයේ ක්‍රීඩකයන් ඉතා දක්ෂ ලෙස හා උපක්‍රමශීලීව ක්‍රීඩා කිරීමෙන් සහිරා බලාපොරොත්තු සුන්වී ගියේය.
පසුගිය වසරේදී යාපනය පාපන්දු ලීගයට අන්තර් ලීග් කනිෂ්ඨ පාපන්දු ශූරතාව හිමි වූ අතර එයට පාසල් ක්‍රීඩකයන් කිහිප දෙනකු ද එක්ව සිටියහ. එම කණ්ඩායම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපකාර සහිතව මේ දිනවල චෙන්නායි නුවර පාපන්දු තරග සංචාරයක නිරතව සිටී. මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රීඩා කරමින් සිටිති.
මේ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත හෙන්රි විදුහලේ ඒ.බී.අනෝජන් හා දක්ෂතම ගෝල් රකින්නා ලෙස එම විදුහලේම යූ. අමල්රාජ් සම්මාන දිනා ගත්හ. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ යාපනය සාන්ත හෙන්රි විදුහල වෙතින් ගෝල් 8-0ක පරාජයක් කළුතර සිරි කුරුස විදුහලට හා සහිරා විදුහල වෙතින් ගෝල් 2-0ක පරාජයක් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහලට අත්විය.
තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් කළුතර සිරි කුරුස විදුහල ගෝල් 1-0කින් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල පරාජය කළේය. වාර්ෂිකව සංවිධානය කෙරෙන සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියට මෙවර කණ්ඩායම් 24ක් එක්ව සිටියේය. 

http://www.dinamina.lk

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි