Monday, February 22, 2016

අඳුරු දිවියේ කඳුළු මැදින් රිදී ගෙනා දිරිය දියණිය

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පැවැති 12 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරගාවලියට සහභාගී වූ අනුරාධපුරයේ, මිහින්තලය මහා විද්‍යාලයේ කේ.එම්.උදේශනී නිරංජනී දෙවැනි ස්ථානය අත්කර ගනිමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙනදීමට සමත්වුවාය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කිලෝමීටර් 40 කාන්තා කණ්ඩායම් තරගයට එක්වූ ඇය ලසන්ති ක්‍රිෂ්ණා ගුණතිලක, ශ්‍රියාලතා වික්‍රමසිංහ සහ සුදාරිකා ප්‍රියදර්ශනී සමග එක්ව උපන් බිමට කීර්තියක් අත්කර දුන්නේ අගහිඟකම් සහ දුක් කම්කටොලු රැසක් මැදිනි.
මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්වත්ත වැල්ලමොරාන පදිංචි 18 හැවිරිදි උදේශනී නිරංජනී මෙවර කාන්තා පාපැදි සංචිතයට ‍තෝරාගෙන සිටිය ද සිය පෞද්ගලික වියදම් සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට තරම් වත්කමක් නොතිබිණි. මේ සඳහා ඇයට රුපියල් විසිදහසක මුදලක් ලබාදීම ඇගේ පියා කේ.එම් කපිල කුමාරසිංහ මහතාට දුෂ්කර කාර්යයක් විය. එහෙත් මවු සෙනෙහස පවා අහිමි සිය දියණියගේ දස්කම් මැනවින් අවබෝධ කරගෙන සිටින කුමාරසිංහ මහතා ඒ සිහිනය කෙසේ හෝ සැබෑ කළ යුතු බවට අදිටන් කරගත් අතර අවසානයේ ඔවුන් දැනට ජීවත්ව සිටින නිවසේ ඔප්පුව උකසට තබා අවශ්‍ය මුදල දියණියට ලබාදුන්නේය. ඇය රිදී පදක්කම දිනාගැනීමට සමත්වීමෙන් වඩාත්ම සතුටට පත්වන පුද්ගලයා ඔහු බවට කිසිදු සැකයක් නොමැත.
පාපැදි තරග ඉසව්ව නිමාවීමෙන් පසුව යළි මෙරටට පැමිණිමෙන් පසුව මේ ජයග්‍රහණය පිළිබඳ ඇය මෙසේ අදහස් පළ කළාය.
'මගේ අම්මා අපෙන් සමු අරගෙන දැනට අවුරුදු 11 ක්. එදා ඉඳලා මාව බලාගන්නේ , මගේ අධ්‍යාපන කටයුතුවලට වගේම ක්‍රීඩා කටයුතුවලටත් දිරිය දුන්නේ මගේ ආරණීය තාත්තා.' ඇය කියා සිටියාය.
'මම 2014 දී මිහින්තලය බක්මහ උළෙලේ පාපැදි ප්‍රථම ස්ථානය ලබා ගත්තා. මම අධ්‍යාපනය ලැබූ මිහින්තලය මහා විද්‍යාලයේ ක්‍රීඩා භාර අජිත් සේනාධීර මහතා මගේ දස්කම් දැකලා මාව පාපැදි ක්‍රීඩාවට යොමු කරන්න ගොඩක් මහන්සි වුණා. ඊට පස්සේ මම තරග කිහිපයකටම සහභාගී වෙලා පදක්කම් 21 ක් මේ වෙද්දී දිනාගෙන තියෙනවා. රන් පදක්කම්13කුත් දිනාගත්තා.
2014 දී කොරියාවේ පැවති තරගයකට සහභාගි වෙලා මම දෙවැනි ස්ථානය ලබා ගත්තා. කොරියාවේ තරගයට තාත්තා මාව යැව්වේ කුඹුර උකස් කරලා දීපු ගත්තු මුදලිනුයි. මේ පාර සාග් යන්න මාව තෝරාගත්තත් පෞද්ගලික වියදම්වලට අවශ්‍ය මුදල් තිබුණේ නෑ. ඒත් තාත්තා කිවුවා පුතේ මම ගේ උකසට තියලා හරි ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා. ඉතින් මම ලොකු අධිෂ්ඨානයකින් තරගයට සහභාගි වුණා.
ඉන්දියාවේ ක්‍රීඩිකාව මේ තරගයට පාවිච්චි කරපු පාපැදියේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 27 ක් විතර වෙනවා. නමුත් මම පැද්දේ මගේ පාපැදි සමාජය වන දීප්ති ක්‍රීඩා සමාජය ලබාදුන්නු රුපියල් 75000 ක් පමණ වටිනා පාපැදියක්. ඒ පාපැදියේ සමහර කොටස් වෙන වෙන අයගෙන් පාපැදිවලින් ඉල්ලගත්තා. මේ හැම අභියෝගයකටම මුහුණ දීලා ‍අපේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩිකාවන් එක්ක තරගාවලියේ දෙවැනි තැන දිනාගන්න මට පුළුවන් වුණා.'
'හොඳ පාපැදියක් ගන්න ලක්ෂ හය හමාරක් විතර ඕන. ඒක ඉතිං හැමදාම හීනයක් තමයි. වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය මුදලුත් උපයා ගන්නේ හරිම අමාරුවෙන්. මම හැමදාම ඒ 9 මාර්ගයේ පුහුණු වීම් කරනවා. හැකි පමණින් පාපැදි අංශයෙන් ඉදිරියට යන්න බලාපොරත්තු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියටත් තරග කරලා ඉදිරි ස්ථානයක් ලබා ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉදිරියට යන්න තියන එකම බාධකය මුදල් නැතිකම තමයි' ඇය එසේ කියන්නීය.
මිහින්තලය පදිංචි මෙම ක්‍රීඩිකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දී ඇති බව දැනගත් උතුරුමැද පළාත් ක්‍රීඩා අමාත්‍ය හා මිහින්තලා ආසන සංවිධායක එස්.එම් රංජිත් සමරකෝන් මහතා පසුගියදා එම නිවසට පැමිණි අතර එහි දී ඇයට සුබපතමින් කියා සිටියේ රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා පාපැදියක් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවය.
එමෙන්ම ඉදිරියේදී උපහාර උළෙලක් පවත්වා රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දීම අගයමින් ඇයට රුපියල් 50 000 ක මුදලක් පිරිනැමීමට කටයුතු යොදන බව ද අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය.
ඡායාරූප - අනුරාධපුර මධ්‍යම විශේෂ

http://www.dinamina.lk

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි