Wednesday, February 17, 2016

ශ්‍රී ලංකා කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවක්

 විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගමාලාව සඳහා නම් කළ 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට 17 හැවිරිදි පාසල් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඇතුළත්ව සිටී. අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ දස්කම් පෑ හර්ෂිතා වමත් පිතිකාරිනියක වන අතර සිය පළමු ජාත්‍යන්තර තරග අවතීර්ණය ලෝක කුසලාන තරගමාලාවකින් ආරම්භ කිරීම විශේෂ සිදුවීමකි. මිට අමතරව 22 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩිකා හංසිමා කරුණාරත්න කණ්ඩායමට එක්වී සිටී.
විස්සයි20 තරග 3කට සහ ජාත්‍යන්තර එක්දින තරග 3කට සහභාගි වීම සඳහා අද අළුයම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පිලට ද ඇතුළත්ව සිටි ඇය අවසන් මොහොතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වූවාය.
විස්සයි20 පිරිමි ලෝක කුසලාන තරගමාලාවට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාමාලාව ලබන මස 15 වැනිදා සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන අතර මේ තරගමාලා ද්විත්වයටම නායිකාව ලෙස නැවතත් ශෂිකලා සිරිවර්ධන නම් කොට ඇත. කණ්ඩායමේ උපනායිකාව ලෙස හිටපු නායිකා චමරී අතපත්තු කටයුතු කරන්නීය. අද ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඇතුළත් ක්‍රීඩිකාවන් 14 දෙනාම මෙවර ලෝක කුසලාන තරගමාලාවට නම් කොට තිබේ. කෙසේවෙතත් පළපුරුදු තුන්ඉරියව් ක්‍රීඩිකා ශ්‍රීපාලී වීරක්කොඩි, මධුරී සමුද්දිකා, අනුෂ්කා සංජීවනී, ලසන්ති මධුෂානී සහ චන්දිමා ගුණරත්න කණ්ඩායමට ඇතුළත්ව නොසිටින අතර ඔවුන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස පමණක් නම් කොට ඇත.
පසුගිය නවසීලන්ත සංචාරයට එක් නොවූ තුන් ඉරියව් ක්‍රීඩිකා ඉෂානී ලොකුසූරිය, ආරම්භක පිතිකාරිනිය යසෝධා මෙන්ඩිස් සහ වේගපන්දු යවන උදේශිකා ප්‍ර බෝධනී ද නැවත කණ්ඩායමට එක්වී සිටිති. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව මෙවර පැවැත්වෙන්නේ පස්වැනි වරටය. මිට පෙර එංගලන්තය (2009), බටහිර ඉන්දීය කොදෙව් දූපත් (2010), ශ්‍රී ලංකාව (2012) සහ බංග්ලාදේශය (2014) පැවැති තරගමාලා 4ටම සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෑම තරගාමාලාවකදීම මූලික වටයෙන් ඉවතට විසිවූ අතර මෙවර දෙවැනි වටයේ ස්ථානයක් බලාපොරොත්තුවෙන් දැඩි සටනක් දීමට සුදානමින් සිටී.
විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාමාලාව සඳහා නම් කළ ශ්‍රී ලංකා පිල :- ශෂිකලා සිරිවර්ධන (නායිකා), චමරී අතපත්තු (උපනායිකා), යසෝධා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, ඩිලානි මනෝදරා, ප්‍රසාදිනි අතපත්තු, අමා කාංචනා, ඉෂානී ලොකුසූරිය, උදේශිකා ප්‍ර බෝධනී, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරී, නිලක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, නිපුනි හංසිකා, හර්ෂිතා මාධවී 

http://www.dinamina.lk/?q=2016/02/11

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි