Monday, October 12, 2015

ඉන්ස්ටර්ග්‍රෑම්


ලොව ප්‍රකට සමාජ ජාල ඇප්ලිකේෂනයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය ලෝකයේ ඕනෑම කාලයක වේගයෙන්ම වර්ධනය වූ සමාජ ජාලය ලෙස පසුගිය දා නව වාර්තාවකට හිමිකම් කීවේය. ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කිරීමේ සමාජ ජාල ඇප්ලිකේෂනයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් මෙම වාර්තාවට හිමිකම් කීවේ ලොව පුරා මිලියන 400ක පරිශීලකයන් ප්‍රමාණයක් වාර්තා කර ගනිමිනි.

කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රිගර් විසින් 2010 ඔක්තෝබර් මස 06 වැනි දා ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් ලෙස ලොවට හඳුන්වා දුන් ඉන්ස්ටර්ග්‍රෑම් යනු නිදහස් 
මෘදුකාංගයකි. Instant සහ Telegram යන වචනවල සුසංගයෝගයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් යන නාමය නිර්මාණය කළ බව එහි නිර්මාතෘවරු පවසති. ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය 2012 වසරේ දී ෆේස්බුක් විසින් මිල දී ගැනුණි.
සමාජ ජාල (Social Networks) සම්බන්ධයෙන් ගෙවුණු දශකයක පමණ කාලය තුළ විශාල උනන්දුවක් දක්නට ඇති නමුත් ඒ පිළිබඳ ඉතිහාසය ශතවර්ෂයකටත් එහා දිව යයි. ලෝකයේ මෙවැනි සංකල්පයක් පිළිබඳ ප්‍රථමයෙන් අදහස් දක්වා ඇත්තේ එමිලි ඩර්ක්හෙම් සහ ෆර්ඩිනෑන්ඩ් ටෝනිස් දෙදෙනාය. ඒ සමාජ කණ්ඩායම් පිළිබඳ තමන්ගේ න්‍යායන් සහ ගවේෂණ තුළින් 1890 දීය. සමාජයේ වෙසෙන තනි පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර සබඳතා ඇති කරන සමාජ ව්‍යුහයක් ලෙස සමාජ ජාල හැඳීන්විය හැකිය.
කෙසේ වෙතත් පරිගණකයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමඟ සමාජ ජාල ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබීය. ඉතා කෙටි කලකින් ලෝකය ආක්‍රමණය කළ ස්මාර්ට් දුරකථන ඒ සඳහා සුවිසල් මෙහෙවරක් කළ බව නොකිව මනාය. ඒ තරමට ස්මාර්ට් දුරකථන සහ සමාජ ජාල වෙබ් අඩවි අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පවතී. බස් රථයේ, දුම්රියේ, බස් නැවතුමේ, පාසලේ මෙන්ම මහමඟ පවා සිය ජංගම දුරකථන තුළින් සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරන තරුණ තරුණියන් අද අප රටට පවා අමුත්තක් නොවේ.
ලෝකයේ ජනප්‍රියතම සහ වැඩිම සාමාජිකයන් පිරිසක් පරිශීලනය කරන සමාජ ජාල වෙබ් අඩවිය ලෙස අද විවාදයකින් තොරව පිළිගැනෙන්නේ ෆේස්බුක් හෙවත් මුහුණු පොතයි. මාර්ක් සකර්බර්ග් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ විශ්ව විද්‍යාල සගයන් අතර 2004 වසරේ දී ආරම්භ කළ ෆේස්බුක් අඩවිය මේ වන විට බිලියන එකහමාරක් ඉක්ම වූ සාමාජිකත්වයකින් සමන්විත වන අතර එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවා ඇත.
ප්‍රථමයෙන් ඇපල් දුරකථන සඳහා හඳුන්වා දුන් ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය සුප්‍රකට ඇපල් සමාගමේ අයි ෆෝන්, අයි පොඩ් සහ අයි පෑඩ් සමඟ භාවිතා කළ හැකි අතර පසුකාලීනව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථනවල මෙන්ම නොකියා සහ බ්ලැක්බෙරි දුරකථනවලත් භාවිතා කළ හැකි අයුරින් වැඩිිදියුණු කරන ලදී. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය හඳුන්වා දෙන ලද්දේ 2012 වසරේ දීය.
2010 දෙසැම්බර් වන විට මිලියනයක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කී ඉන්ස්ටර්ග්‍රෑම් 2011 දී එම ප්‍රමාණය මිලියන 5 ඉක්ම වූ බව නිවේදනය කළේය. එම වසරේම සැප්තැම්බර් වන විට පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගියේය. 2011 වන විට ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හුවමාරු වී තිබුණු ඡායාරූප සංඛ්‍යාව මිලියන 100ක් විය. වර්තමානය වන විට ඉන්ස්ටර්ග්‍රෑම් හරහා දිනකට ඡායාරූප මිලියන 80ක් පමණ හුවමාරු වෙතැයි ගණන් බලා ඇත. ආරම්භයේ සිට මේ වන තෙක් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හුවමාරු වී ඇති ඡායාරූප ප්‍රමාණය බිලියන 4කි.
ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය ආරම්භ කර වසර දෙකහමාරකට පසුව මිලියන 150ක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කීවේය. 2012 වසරේ දී ෆේස්බුක් හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ඩොලර් බිලියනයකට ඉන්ස්ටර්ග්‍රෑම් මිල දී ගත්තේය. ෆේස්බුක් හිමිකාරිත්වය යටතේ ඉන්ස්ටර්ග්‍රෑම් කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබුවේය. 2013 වසරේ දී ඉන්ස්ටර්ග්‍රෑම් 23%ක දියුණුවක් අත්පත් කර ගත්තේ එහි හිමිකාරීත්වය දරන ෆෙස්බුක් 3%ක වර්ධනයක් හිමි කර ගන්නා විට වීම සුවිශේෂී කරුණකි. 2014 වසර අවසාන වන විට ඉන්ස්ටර්ග්‍රෑම් මිලියන 300ක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කීවේය.
ආරම්භයේ දී ඡායාරූප හුවමාරුව සඳහා සීමා වී තිබුණු ඉන්ස්ටර්ග්‍රෑම් වෙතින් වීඩියෝ හුවමාරු කිරීමේ පහසුකම පරිශීලකයන්ට ලැබුණේ 2013 ජූනි මස 23 වැනි දිනය. මේ තුළින් ඔස්සේ තත්පර 15කට සීමා වූ වීඩියෝ හුවමාරු කර ගැනීමට ඉඩ සැලසේ. ෆේස්බුක් හිමිකාරීත්වය යටතේ ඉතා තරගකාරී අයුරින් වර්ධනය වූ ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය විවිධ සංස්කරණ හඳුන්වාදෙමින් නව විශේෂාංග එක්කර ගනිමින් දිනෙන් දින ඉදිරියට පැමිණියේය. එම දියුණුවේ ප්‍රතිඵලය වශයෙන් 2015 සැප්තැම්බර් මස 22 වැනි දින ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය පරිශීලකයන් මිලියන 400 කඩඉම පසු කර ගියේය.
කෙවින් සිස්ට්‍රෝම්
ලොව පුරා උන්මාදයක් මෙන් පැතිරී යන සෙල්ෆි රැල්ලට ද ඉන්ස්ටර්ග්‍රෑම් වෙතින් ලැබුණේ මහත් අනුබලයකි. ජංගම දුරකථනයෙන් ගන්නා ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් හරහා එසැණින් හුවමාරු කර ගැනීමේ හැකියාව නිසා සෙල්ෆි ලෝලීන්ගේ ජනප්‍රියතම ඇප්ලිකේෂනයක් බවට ඉන්ස්ටර්ග්‍රෑම් පත් ව තිබේ. ජනප්‍රිය බටහිර ගායකයකු වන ජස්ටින් බීබර් ගායිකා සෙලීනා ගෝමස් සමඟ ගත් සෙල්ෆියකට ලක්ෂ 18ක ලයික් ප්‍රමාණයක් ලැබී තිබීම එයට හොඳ සාධකයකි.
ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පිවිසෙන පරිශීලකයන්ගෙන් 50%ක් ඇපල් දුරකථන භාවිතා කරන අතර ඉදිරි 50% ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන බව හෙළිදරව් වී ඇත. එසේම ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයන්ගෙන් 62% කාන්තාවන් වන අතර ඉතිරි 32% පිරිමි පාර්ශවයේ වේ. ලෝකයේ බොහෝ සුපිරි තරු ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය පරිශීලනය කරන බව හෙළිව තිබේ. එසේම ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරන අයගෙන් බහුතරය යොවුන් වියේ පසුවන්නන් බවත් අනාවරණය වී ඇත.
ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය භාවිතා කළ හැක්කේ වයස අවුරුදු 13 ට වැඩි අයට පමණක් වන අතර ප්‍රචණ්ඩකාරී, නිරුවත් හෝ අඩ නිරුවත්, වෛරී සහගත, අශ්ලීල ඡායාරූප හෝ වීඩියෝ හුවමාරුවට එහි ඉඩක් නැති බව 2013 වසරේ දී නිවේදනය කරන ලදී. නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරන බවට බී. බී. සී.ය වරක් කළ හෙළිදරව්වකින් පසුව ඉන්ස්ටර්ග්‍රෑම් හි නියමයන් වහාම වෙනස් කරන ලදී. එක්සත් ජනපදයේ බොහෝ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්ස්ටර්ග්‍රෑමයේ පළ කරන ඡායාරූප මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගන්නා බවට එමඟින් චෝදනා කෙරිණි.
ලොව පුරා මිලියන 400ක ගේ ජනාදරය මෙන්ම සම්මාන රැසක් දිනා ගැනීමටත් ඉන්ස්ටර්ග්‍රෑම් සමත්ව තිබීමත් සුවිශේෂී කරුණකි. 2011 වසරේ දී ලොව හොඳම ජංගම දුරකථන ඇප්ලිකේෂනය ලෙස ඉන්ස්ටර්ග්‍රෑම් සම්මාන ලැබීය. ව්‍යාපාර ලෝකයේ හොඳම නිර්මාණශීලි පුද්ගලයන් 100 දෙනා අතරින් 66 වැනි ස්ථානයට ඉන්ස්ටර්ග්‍රෑම් හි ප්‍රධාන විධායක කෙවින් සිස්ට්‍රෝම් එම වසරේ තේරී පත් විය. 2011 වසරේ දී වසරේ ඇප්ලිකේෂනය ලෙස ඇපල් සමාගමේ ගෞරවයට පාත්‍ර වූයේ දී ඉන්ස්ටර්ග්‍රෑමයයි. එසේම 2013 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් 50 අතරට ඉන්ස්ටර්ග්‍රෑමයත් එක් කරන්නට ලෝක ප්‍රකට ටයිම් සඟරාව කටයුතු කළේය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි