Monday, October 12, 2015

ඉලක්කය හිතේ ඇඳුණේ වයස අවුරුදු තුනේදී


මීට වසර දෙකකට පමණ පෙර සිට මේ පුංචි සිතේ පුංචි බලාපොරොත්තුවක් ගොඩනැඟුණේ රටක් පුදුම කරවනසුලු ජයග්‍රහණයක් ලබන්නටය. තුන්වැනි වසරට පියමැන්න දා පටන් පුංචි මෙලනිගේ අපේක්ෂාව වූයේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ජයග්‍රහණය ලබන්නටය.
මෙලනිගේ තාත්තා පුංචි මෙලනිට බැංකු ගිණුම් 11 ක් ඇරැඹුවේය. මෙලනි කෙදිනක හෝ ඉහළින්ම ජයග්‍රහණයක් ලබන බවට පියා තුළ තිබු විශ්වාසය නිසා ය.
“මගේ දුව ශිෂ්‍යත්ව විභාගය ජයග්‍රහණය කරන බව එයාගේ හිතේ අධිෂ්ඨානයක් ඇතිකර ගත්තේ 3 පන්තියේදී. ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වන බව එයාට ලොකු විශ්වාසයක් තිබුණා. ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම ජයග්‍රහණය කළොත් ලැබෙන මුදල් ආධාර තැන්පත් කරන්න මම බැංකු කිහිපයක ගිණුම් 11 ක් දුවගේ නමින් ආරම්භ කළා. දුව මුල සිටම ඉගෙන ගන්න දක්ෂයි.
පාසලේ වැඩ කටයුතු වගේ ම බාහිර දේත් කළා. අපි දරුවට පාඩම් කරන්න කියලා අනවශ්‍ය පීඩනයක් දුන්නෙ නැහැ. එයාට උපරීම නිදහස දුන්නා. නමුත් එයාගේ පිටුපස අපි එයා එක්කම හිටියා...” ඒ මෙලනිගේ තාත්තා සරත් විජේසිංහගේ හැඟීමය.
මෙලනිගේ අම්මා තමාරා තුෂාරි මුදලිගෙදරය. ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගතකළත් මේ පුංචි හිතට ඒ බර නොදෙන්නට මේ මවත් පියාත් කටයුතු කළහ. උදේ හවස පාසල් යන එන ගමනේ දුෂ්කරතාව මේ පුංචි මෙලනිට නිතර දැනෙන්නට විය. සිය සොහොයුරන් දෙදෙනාත් මේ පාසලේම අධ්‍යාපනය ලබන නිසා පුංචි මෙලනිට පාළුවක් නොතිබුණත් උදේ හවස යන එන ගමන ඇයට තරමක් කටුක විය.
එක බස් රථයයි
“අපේ ගෙදර තියෙන්නේ හරිම දුෂ්කර පළාතක. එක බස් එකයි ගමට තියෙන්නේ. අපේ තාත්තා අම්මත්, මල්ලිලා දෙන්නත් මාත් නංවාගෙන තමයි බයිසිකලෙන් පාසලට යන්නේ. එහෙම යන්නේ වේලාවට පාසලට යන්න ඕනැ නිසා. විභාගය කිට්ටු වෙනකොට අපේ විදුහල්පතිතුමා උදේ පාන්දර පන්ති කළා.
ඊට පස්සේ රේණුකා මාරසිංහ ගුරුතුමිය අපේ පන්ති කළා. අවුරුදු 15 ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල කරලා මමම පුහුණු වුණේ කවදාහරි ලංකාවෙන්ම පළමුවැනියා වන්නයි.”
මෙලනි ලංකාවෙන්ම පළමුවැනියා වූ බව දැනගත්තේ සිය පුංචි අම්මාගෙනි. දුෂ්කර පාසලක අඩු පහසුකම් යටතේ මෙලනි මෙවන් ජයග්‍රහණයක් අපේක්ෂා කළේ අනාගත වෛද්‍යවරියක වීමේ අදිටනිනි. “මට ලොකු ආසාවක් තියෙනවා මහනුවර උසස් බාලිකා විදුහලට ඇතුළු වෙන්න. හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙලා රටට සේවය කරන්නත් ආසයි. මම කොහොමහරි ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නවා...” ඒ පුංචි හිතේ ඊළඟ බලාපොරොත්තුවයි.
ටියුෂන් ගියේ නෑ
මෙලනිගේ අසාමාන්‍ය දක්ෂතාව වඩාත්ම හොඳින් අවබෝධ කරගත්තේ ඇගේ පාසලේ විදුහල්පතිතුමා වන ටී. ඩබ්ලිව්. ඒ. කේ. ජයසිංහ මහතා හා පන්ති භාර ගුරුතුමිය වන රේණුකා මාරසිංහ මහත්මියයි. “මේ දරුවගේ විශේෂත්වය වුණේ කවදාවත් ශිෂ්‍යත්ව විභාගය කියා ටියුෂන් නොගිය එක. අපි කියලා දෙන දේ පමණයි මේ දරුවා ග්‍රහණය කරගත්තේ. ක්‍රීඩාවන්, සංගීතය, නැටුම් වගේම කරාතේ සඳහාත් මෙලනි හරිම දක්ෂයි.
එක දෙයක් එක වතාවෙන් ග්‍රහණය කරගන්න ඇය දක්ෂයි. මෙලනිගේ මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වුණේ ලංකාවේ පළමුවැනියා වන බවට ඇය තුළ වූ අධිෂ්ඨානයයි...” ඒ පුංචි මල් කැකුළ ගැන ගුරු විදුහල්පතිවරු කීවේ එහෙමය.
ළමයින් 1400 ක් සිටින උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලට අද නව ආලෝකයක් උදා වී ඇත්තේ ඒ මෙලනි විජේසිංහ නිසාය.
 


- මෙලනි විජේසිංහ

http://www.silumina.lk/2015/10/11

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි