Monday, October 12, 2015

සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන්නා


සචිනි කවින්දා
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු ස්ථානයට පත් අනෙක් පුංචි හපනිය බිහිවුණේ ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයෙනි. ඒ සචිනි කවින්දා උනන්තැන්නය. මේ පුංචි හපනියට ශිෂ්‍යත්ව විභාගය කිසිදාක බරක් නොවිණ. නිදහසින් සැහැල්ලුවෙන් ගතකළ පුංචි සචිනි කිසිදාක මෙවන් ජයග්‍රහණයක් ලබාවියැයි ඇයගේ මවුපියන් සිතා සිටි‍යේ නැත.
“මගේ දුව පුංචි කාලයේ ඉඳන්ම ඉතා හොඳින් පාසල් වැඩ කටයුතුවලට යොමු වූ දරුවෙක්. පාසල වගේම අතිරේක පන්තිවල දෙන පැවැරුම් ඉතා හොඳින් කළා. ගුරුවරුන් එදිනෙදා දෙන වැඩ එදිනෙදාම නිම කිරීම දුවගේ පුරුද්දක් වුණා.
ශිෂ්‍යත්ව විභාගය දුවට විශාල බරක් වුණේ නැහැ. එයා හැම වේලාවෙම සැහැල්ලුවෙන් දවස ගත කළා. හොඳට සෙල්ලම් කළා. ඒත් පන්ති වැඩ අතපසු කරගත්තේ නැහැ...” ඒ සචිනිගේ පියා ප්‍රියංකර නීල කුමාර මහතායි.
අඩු පහසුකම් යටතේ තිබූ පාසලකට මෙවන් ජයග්‍රහණයක් ලැබීම ගැන අද සචිනි මෙන්ම ඒ පාසලේ විදුහල්පති ඩබ්ලිව්. ජී. බී. එස්. ලක්ෂ්මන් මහතා මෙන්ම පන්ති භාර ගුරුතුමිය වන චින්තා කුමාරි දසනායක මහත්මියත් අපමණ ප්‍රීතියට පත්ව සිටිති.
“මම ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙනවා කියලා දැ‍නගෙන හිටියා. ඒත් මේ තරම් ඉහළ ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණේ නැහැ. පාන්දර 5.30 ට තමයි මේ සුබ ආරංචිය දැනගන්න ලැබුණේ. මට අදහාගන්න බැරිවුණා. මම හැම වෙලාවෙම සෙල්ලම් කළා.
මගේ අම්මා, අප්පච්චි, විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමිය නිතරම මගේ පිටුපස්සෙන් හිටියා. මගේ තිබුණු අඩුපාඩු කියලා දුන්නා. ප්‍රශ්න පත්‍ර කරන්න මට උදව් කළා. ඒ හැමෝටම ස්තුතියි...” ඒ පුංචි කාවින්දාය.


http://www.silumina.lk/2015/10/11/_art.asp?fn=af1510113

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි