Monday, October 12, 2015

ඇස් ඇර බලන්න


දෑස් නොපෙනෙන පුද්ගලයෙකු හඳුනා‍ගත හැකි ලාංඡනය වශයෙන් දක්වන්නේ හැරමිටිය හෝ සුදු සැරයටිය යි. එහි ඉතිහාසය පොත්පත්වල සඳහන් වන පරිදි ඈත අතීතයට දිවයින කතාවකි. දෑස් නොපෙනෙන ජනතාව තමන්ට හමුවන මාර්ග බාධකවලින් වැළකී ගමන් කිරීම පිණිස බට ලී ද, ගස් අතු ද ප්‍රයෝජනයට ගත් බව පොතපතේ සඳහන් වී තිබේ. මේ අනුව, අප දැනට භාවිතා කරන සුදුසැරයටිය දෑස් නොපෙනෙන පුද්ගලයෙකු හඳුනාගත හැකි ලාංඡනයක් පමණක් නොව එම තැනැත්තාට ස්වාධිනව ගමන් කිරීමට ආධාර කරන උපකරණයක් වශයෙන් ද යොදා ගත හැකි ය.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු සියරට පැමිණි අන්ධ ඇමරිකානු යුධ බටයින් පුනරුත්ථාපනය කිරීමේදී දැනට භාවිතා කරන සුදු සැරයටියේ හැඩය සහ භාවිතය නව මඟකට යොමු විය. ඈත අතීතයේදෑස් නොපෙනෙන ජනතාව පුරුදු පුහුණු වී සිටියේ සුදු සැරයටිය ඉදිරියට දික්කොට එකම එල්ලයක තබාගෙන ගමන් කිරීමට යි. නමුත්, යුද්ධය අවසන් වනවාත් සමඟම හූව(ර්) ක්‍රමය හෙවත් උස සැරයටි ක්‍රමය ඉතා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්විය.
ඔක්තෝම්බර් මස 15 වෙනි දින සුදුස සැරයටි දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වන ලින්ඩන් බී. ජොන්සන් මහතාට ය. මේ ඓතිහාසික දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1964 දී ය. එම ජනාධිපති ප්‍රකාශනය හේතුකොට ගෙන දෑස් නොපෙනෙන ජනතාවගේ ස්වාධිනත්වයත්, බාධාවකින් තොරව මහමඟ ගමන් කිරීමේ අයිතියත් ඔවුන්ට හිමිවූ අතර ප්‍රාන්ත වහයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් ගෙන ගිය ‘සුදු සැරයටිය නීති ගත කරනු’ යන උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථකව ජයග්‍රහණය කිරීමට ද ඔවුන්ට හැකි විය. මේ අනුව, අන්ධ ජන සංවිධාන ප්‍රශංසාවටත් පිළිගැනීමටත් ලක්විය. සුදු සැරයටි දිනයේ ඇති වැදගත්කමත් එම උපකරණය භාවිතා කරන පුද්ගලයා දකින විට ජනතාව තුළ ඇතිවිය යුතු හැඟීම් පිළිබඳවත් විස්තර කළ ජොන්සන් ජනාධිපතිතුමා මෙසේ ද කියා සිටියේය.
“දෑස් නොපෙනෙන පුද්ගලයාට සුදු සැරයටියක ආධාරයෙන් ස්වාධීනව මහමඟ ගන් කිරීමට හැකි බව අපේ සමාජය දැන් පිළිගෙන හමාරයි. අපේ මාවත්වල හා මහා මාර්ගවල ගෞරවයෙන් යුතුව ගමන් කිරීමට අවස්ථාව දැන් ඔවුන්ට සැලසී ඇත.”
ශ්‍රී ලංකාවේ දෑස් නොපෙනෙන ජනතාව විසින් ප්‍රථමවරට සුදු සැරයටි දිනය පත්වන ලද්දේ වර්ෂ 1969 දී ය. මේ අනුව, සුදු සැරයටිය දැන් ජාත්‍යන්තර පිළිගැනීමට පත්වී ඇත. ලෝකයේ විවිධ රටවල විවිධ තරාතිරම්වල අන්ධ ජනතාව මහා ඉහලින් සමරන සුදු සැරයටි දිනයේ දී විවිධ වැඩසහන්වලට සහභාගී වන අතර පා ගමන් යෑම, සුදු සැරයටි බෙදා දීම, සම්මන්ත්‍රණ, සාකච්ඡා ආදිය පැවැත්වීම සිදුකරයි. ඔවුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යථාවන් පමණක් නොව දුක් ගැනවිලි ද රජයේ සහ මහජනතාවගේ අවධානයට යොමු කිරීමට ද මෙම දිනය යොදා ගනු ලැබේ.

http://www.dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි