Friday, February 14, 2014

පළමු වසරට ඇතුළත්වන යුද හමුදාවේ රණවිරු දරුවන්ට රු. 5000ක ගිණුමක්

පළමු වසරට ඇතුළත්වන යුද හමුදාවේ රණවිරු දරුවන්ට රු. 5000ක ගිණුමක්


Army

සා. පෙළ සමතුන්ට 10,000ක් - සරසවි වරම් ලැබූවන්ට රු. 20,000ක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන්ගේ පළමු වසරට ඇතුළත් වන දරුවන් හය දහසකට පමණ සෑම වසරකම රුපියල් පන්දහස බැගින් බැංකු ගිණුමක් විවෘත කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය පියවර ගෙන තිබේ.
ඊට අමතරව අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දරුවන් වෙනුවෙන් රුපියල් දස දහස බැගින් අඩංගු බැංකු ගිණුම් සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන දරුවන් වෙනුවෙන් රුපියල් විසිදහස බැගින් තැන්පත් කළ බැංකු ගිණුම් ද විවෘත කරදීමට තීරණය කර ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.
සෑම වසරකම රණවිරු පවුල්වල දරුවන් හය දහසක් පමණ පළමු ශ්‍රේණියට ඇතුළත් වෙති. ඇතැම් විට මේ ප්‍රමාණය අඩු වැඩි වීමට ඉඩ ඇත. කෙසේ වුවද එම සියලුම දරුවන්ට බැංකු ගිණුම් විවෘත කර දීම සිදු කෙරේ.
රණවිරු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය විවිධ ආකාරයේ වැඩසටහන් රැසක් දියත් කර ඇත. මේ වැඩපිළිවෙළද රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාම සඳහා කරනු ලබන පරිත්‍යාගයකි.
දැනටමත් එම වැඩපිළිවෙළ පෞද්ගලික අංශය හා සම්බන්ධ වී ආරම්භ කර ඇත. රජයට කිසිදු බරක් නොවී යුද්ධ හමුදාව සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව සොයා ගන්නා මුදල්වලින් එම ගිණුම් විවෘත කිරීම සිදු කෙරේ. මේ සඳහා එක් මසකට රුපියල් කෝටි තුනක් පමණ වියදම් වෙයි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට වැඩි වශයෙන් මේ සඳහා ආධාර ලබුණහොත් එම ගිණුම්වලට සෑම මසකම රුපියල් පන්දහස බැගින් තැන්පත් කිරීමටද අදහස් කර තිබේ.
මේ අනුව පළමු වසරට ඇතුළත් වන දරුවන් සඳහා පමණක් එක් අදියරකට රුපියල් කෝටි තුනක පමණ මුදලක් වැය වෙයි.
රණවිරු දරුවන් සියයකට ඊයේ රුපියල් පන්දහස බැගින් ඇතුළත් බැංකු පොත් ලබාදීම සිදු කෙරුණි.
මේ සඳහා මූලය පරිත්‍යාග ලැබී තිබුණේ සෙන්ට්‍රල් බෙයාරින් ආයතනයේ සුදත් තෙන්නකෝන් මහතා සහ ප්‍රයිම් ග්‍රාමින් ආයතනයේ සභාපති බී ප්‍රේමලාල් මහතාගෙනි. සෙන්ට්‍රල් බෙයාරින් සමාගමේ තෙන්නකෝන් මහතාගේ පුතාගේ උපන්දිනය වෙනුවෙන් මෙසේ රණවිරු පවුල් සියයක දරුවන්ට බැංකු ගිණුම් පොත් ලබාදීම සිදු විය.
.

http://www.dinamina.lk/2014/02/14/_art.asp?fn=n1402142

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි