Thursday, February 20, 2014

මහින්ද අල්ගම චන්ද්‍ර මඩුළු ගීතය ලිව්වේ මගේ දුවටත් එක්ක

මහින්ද අල්ගම චන්ද්‍ර මඩුළු ගීතය ලිව්වේ මගේ දුවටත් එක්ක

ගීත රචනා කලාව, ගුවන් විදුලිය පෝෂණය කොට වෙන්ව ගිය මහින්ද අල්ගම පිළිබඳ විශාරද නන්දා මාලිනියගේ මතක සටහන්
මෙරට ළමා ගීත ක්ෂේත්‍රයේ සුවිශාල මෙහෙවරක යෙදුණු සුවිශේෂ පුද්ගලයෙකු ලෙස මහින්ද අල්ගම නම් කලා සහෘදයාගේ නම අමරණීය වේ. බොහොමයක් දෙනා අල්ගමයන් හඳුනන්නේ ගීත රචකයෙකු ලෙසිනි. ‘රුක් අත්තන මල මුදුනේ’, ‘චන්ද්‍ර මඩුළු යට’, ‘ස්වර්ණ ප්‍රදීපාය මාන’, ‘මල් සූටික්කෝ’, ‘රාං කුරුල්ලා රූං කියාගෙන’, ‘බාලොලියා මලක් වගේ’, ‘මන්දාරම් නිල් අහස වසනවා’ වැනි ඔහු අතින් රචිත ගීතයන් අදටත් කා අතරත් නොමැකෙන ලෙසින් සනිටුහන් වී අවසන්ය.
එහෙත් ඒ සොඳුරු සිහිවටන ඉතිරි කර අද ඔහු අප අතැර ගොසිනි. මෙරට කලාවට ඔහු විසින් කරන්නට යෙදුණු මෙහෙවර අවසන් කළා දෝ අපි නොදනිමු. එය දන්නේ ඔහු පමණි. වසර 53 කට පමණ ඉහත දී අල්ගමයන් ගුවන් විදුලියේ ළමා පිටියේ ළමා ශිල්පියෙකු ලෙසින් ක්ෂේත්‍රයට පිවිසියේ ‘සමනළ කන්ද’ ගීතය රචනා කරමිනි.
එදා මෙදාතුර මහින්ද අල්ගම නම් වූ ඒ සොඳුරු කලා හිතවතා පිළිබඳව සිය මතක අද යළිත් ආවර්ජනය කළේ විශාරද නන්දා මාලිනියයි.
‘මමත් මහින්ද අල්ගමත් අතර වූ හඳුනා ගැනීම වසර හතළිස් පහකටත් වඩා පැරැණියි. ගුවන් විදුලියේ ළමා පිටියේදී ඔහු සමඟ කටයුතු කරන්න මටත් අවස්ථාව ලැබුණා. අල්ගම කියන්නේ මෙරට ළමා ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක නියැළුණු චරිතයක්. හැත්තෑව දශකයේදී තමයි ඔහු මට ‘රුක් අත්තන මල මුදුනේ’ ගීතය රචනාකර දුන්නේ.
‘රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අඳුර පියමන් කර
කවුරු ද එන්නේ
පුතුනි බලන්
යොමා නුවන්’
එදා ඔහු මෙම ගීතය රචනා කළේ මම මගේ ලොකු දුව සුරතල් කරන අයුරු දැකලා. ඇත්තටම ඔහු සුවිශේෂ ගීත රචකයෙක්. අපි පුංචි ළමයි නළවන්න නොයෙකුත් බොරු කතා කියනවානේ. ඒ වුණත් ඔහු මේ කතා බොරුයි කියලා පුංචි දරුවන්ට ඇත්තම කියනවා.
‘චන්ද්‍ර මඩුළු යට සුරංගනාවක්
දූ සනසන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ ගීත අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ’
ඔහු එය රචනා කළේ මේ අයුරින්. ඒ වගේම ළමා ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ මෙහෙවර මේ තරම් යැයි අපට කවදාවත්ම කියන්න බැහැ. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර ගෙන් පසුවට ගුවන් විදුලියේ ‘ළමා පිටියට’ ආලෝකයක් රැගෙන ආවේ අල්ගමයන් විසින්. එය අපි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම එදා ඔහුගේ ‘සංගීත සන්ධ්‍යාව’ වැඩ සටහන මට පැවරුවා. මේ මොහොතේ මම එය ගෞරව පූර්වකව සිහිපත් කරනවා. උසස් රස වින්දනයකින් යුතු හරවත් දෙයක් ඉදිරිපත් කිරීමේ උවමනාව තමයි අල්ගමට හැමදාම තිබුණේ.
එදා මහින්ද අල්ගමයන් විසින් ‘දැනුම වැඩුම’, ‘ළමා ගී’, ‘ළමා සංගීත සැන්දෑව’ වැනි ළමා වැඩසටහන් මෙන්ම ‘ගුවන් විදුලි රග මඬල’, ‘දැති මෝරා’, ‘මුවන්පැළැස්ස’, ‘බෝදිලිමා’ වැනි කොටස් වශයෙන් පළ වූ නාට්‍ය සහ ‘සේසතයි කුමරියයි’, ‘සාර භූමි’, ‘චාරිකා’ වැනි වැඩ සටහන් ද රාශියක් ක්ෂේත්‍රයට තිළිණ කෙරිණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයකු ද ලෙසින් කටයුතු කළ ඒ මහතා දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට කුසලතා පූර්ණ ළමා ශිල්පීන් රැසක් බිහිකළ ගුරුවරයෙකු ද වේ.
‘අල්ගම හැමදාමත් ඇත්ත කතා කළ නිහතමානි පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණ තුළිනුත් මා එය දකිනවා. ඒ වගේම සොබා සෞන්දර්යයට ඔහුගේ නිර්මාණවල තිබුණේ ඉහළ තැනක්. එය මා අල්ගම තුළින් දුටු සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේමයි ඔහු ඉතා නිශ්ශබ්ද චරිතයක්. දුක සතුට එක ලෙස විඳ දරා ගැනීමේ හැකියාවත් අල්ගම සතු වූ විශේෂ චරිත ලක්ෂණ අතර නොඅඩුව පිහිටා තිබුණා.
මෙරට ළමා ගීත ක්ෂේත්‍රය රැක ගන්නට ඔහුට විශාල උනන්දුවක් තිබුණා. එදා ළමා පිටියට නව පණක් ලබා දෙමින් ඔහු එම කර්තව්‍ය අපූරුවට ඉෂ්ඨ සිද්ධ කළා. පනස් පහක මගේ සංගීත චාරිකාවේත් ඔහුගේ ගීත අමරණීයව රැඳී තිබීම මට විශාල සතුටක්. ඒ වගේම මගේ සංගීත චාරිකාවට එය විශාල ශක්තියක්. අද ඔහු නිහඬවම අපෙන් වෙන් වී ගියත් ඒ සොඳුරු අතීත මතකය හැමදාම අමරණීයයි.”
සංගීත ක්ෂේත්‍රයට පමණක් නොව පුවත්පත් සංස්කාරකවරයෙකු ලෙස මෙන්ම පරිවර්තකයෙකු ලෙසින් ද හෙතෙම මාධ්‍ය මෙහෙවරක නියැළුණු මාධ්‍යවේදියකු ද වූයේය. එසේම ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් උණ්ඩා සම්මානයෙන්, හොඳම ළමා ගී පද රචනා වෙනුවෙන් රාජ්‍ය සම්මානයත්, රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ මහගමසේකර අනුස්මරණ සම්මානයත් ඇතුළුව සම්මාන රැසකින් පුද ලබන්නත් ඔහු වාසනාවන්තයෙකු විය. නමුත් අද ඔහු සිය මෙහෙය අවසන් කොට නික්ම ගොස් ඇත්තේය. එහෙත් අප ඔහුගෙන් ලද නිර්මාණ සැමදා ජීවමානය. මහින්ද අල්ගම සොඳුරු හිතවතාණෙනි ඔබට නිවන් සුව!

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි